November 29, 2021

Ada Rata

All news in one location

NMRA දත්ත වංචාව නිවැරදි කිරීමට පත්කළ විශේෂඥ කමිටුව අතකොළුවක් කරගෙන



ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදහන් වීම අපරධමය කාරණයක් වන බවත්, එය ඖෂධ මාෆියාවේ කොටසක් විය හැකි බවත් නීතිපතිවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, ඒ පිළිබදව සිදුකළ අපරධ පරීක්ෂණයෙන් චූදිතයින් පිළිබඳව තොරතුරු වාර්තා කරන්නට විය. එතෙක් එවැනි වරදක් සිදු නොවූ බවට හඬනගමින් සිටි රාජ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ප්‍රධානීන් කලබලයට පත්ව, විශේෂඥ කමිටුවක් පත් කරන්නේ ඒ අතර වාරයේදීය.

කෙසේ නමුත්  ඖෂධ මාෆියාව පිළිබදව චෝදනා ලබමින් සිටින රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් විසින්ම එම විශේෂඥ කමිටුව පත් කරන කිරීම මගින්, එම කමිටුව ස්වාධීන එකක් නොවන බව දිගින් දිගටම චෝදනා ලැබුවද, එහි වෙනසක් සිදු කිරීමට අදාල බලධාරීන් කටයුතු නොකළේය.

කෙසේ නමුත් එම තත්වය තහවුරු කරමින්, රාජ්‍ය අමාත්‍යවරයාගේ බලය තවදුරටත් තහවුරු කරමින්, කැබිනට් අමාත්‍යවරයා ඖෂධ නියාමන හා අනෙකුත් ඖෂධ පිළිබද කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට එම විශේෂඥ කමිටුව විසින් නිර්දේශ ලබා දී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තාවන්ට අනුව දත්ත වංචාව සහ ඖෂධ පිළිබද අක්‍රමිකතා සෙවීමට පත්කළ විශේෂඥ කමිටුව, සම්පූර්ණයෙන්ම ඖෂධ මාෆියාවේම අතකොළුවක් වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. 

ඖෂධ පිළිබද සියලු වංචා සිදු වන්නේ ඖෂධ ගෙන්වීමේදී, බෙදා හැරීමේදී හා නිෂ්පාදනයේදී වන බැවින් හා දත්ත වංචාවට මුල සිටම චෝදනා ලබන පාර්ශව අතට සියලු බලතල ලබා දීම මගින් අපට සිදු වන්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීමටය.

එසේම මෙය අමාත්‍ය මණ්ඩල බලතල හෑල්ලු කිරීමක් වන අතර, කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාව රූකඩයක් බවට පත් කිරීමකි.

ස්වයං විවේචනයක් මගින් නිවැරදි වීමට අවශ්‍ය බව වටහාගෙන ඇති, ජනාධිපතිවරයාගේ කීර්තියට කැලැල්වන ප්‍රධාන ගැටලුවක් වී ඇති මෙලෙස අමාත්‍යාංශ තුළ බල සම්පන්නව ඇති කල්ලි ක්‍රියාකාරම්වලට ඉඩ නොතබමින්, මෙම තත්වය වහා නිවැරදි කරමින් අදාල විශේෂඥ කමිටුව වහා අහෝසිකොට, ජනාධිපතිවරයා යටතේ විමර්ශන කමිටුවක් පිහිටුවන ලෙසත්, ඖෂධ නියාමනය ඖෂධ ගෙන්වීම, බෙදා හැරීම හා නිෂ්පාදනය සදහා සම්බන්ධ වන පාර්ශවයේ අතකොලුවක් නොකරමින්, එය කැබිනට් ඇමතිවරයාගේ යටතට පත්කළ නොහැකි නම්, ජනාධිපතිවරයාගේ යටතට හෝ පත් කරමින් මහ ජනතාව ඖෂධ මාෆියාවෙන් ගලවා ගන්නා ලෙස අප ඉල්ලා සිටිමු.

රවී කුමුදේශ් – සභාපති 
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය 

UN




Source link