November 30, 2021

Ada Rata

All news in one location

LGBT+ ප්‍රජාවට අවමන් වන අන්දමේ පොලිස් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට අදාළව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණයෙන් අවසර!



එල්ජීබීටී+ ප්‍රජාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන පරිදි නුවර පොලිස් ශ්‍රවණාගාරයේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමේ චෝදනාව සම්බන්ධයෙන් මනෝඋපදේශිකාවයක් යැයි හඳුන්වාගත් අමා දිසානායක, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ නුවර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් යන අයට අදාළව නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය අවසර ලබා දී තිබේ.

ඒ මේ සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවුරුන්ගෙන් සමන්විත ද්වි-පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවීමෙන් අනතුරුව ය.

මෙම පෙත්සම ඉදිරිපත් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ එල්ජීබීටී+ ප්‍රජා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක් වන ඊක්වල් ග්‍රවුන්ඩ් නම් සංවිධානය ඇතුළු මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසිනි.

අදාළ පෙත්සම හරහා ඔවුන් ඉල්ලා සිටියේ එල්ජීබීටී+ ප්‍රජාව සම්බන්ධයෙන් ද්වේශසහගත, සාවද්‍ය සහ වෙනස්කොට සැලකීමේ ප්‍රකාශයන් සිදුකරන ලද මෙම පොලිස් පුහුණු වැඩසටහන පැවැත්වීම සඳහා ඉහත සඳහන් වගඋත්තරකරුවන්ට එරෙහිව තහනම් ආඥාවක් වැනි නියෝගයක් නිකුත් කරන මෙන් ය.

එමෙන්ම, එල්ජීබීටී+ පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අන්දමේ හෝ පුද්ගලයකු ගේ ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය හා ප්‍රකාශනය මත පදනම්ව වෙනස්කොට සැලකීම් සිදුවන ඕනෑම පුහුණු වැඩමුළුවක්, දේශනයක්, හෝ උපදේශන සැසියක් ආදී වැඩසටහනක් පැවැත්වීම ශ්‍රී ලංකා පොලීසියට තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර පාර්ශවය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ, 399 ආදී වගන්ති සහ පාදඩ ආඥා පනතේ 2,7,9 ආදී වගන්ති වල අන්තර්ගතය එල්ජීබීටී+ ප්‍රජාවට එරෙහිව අර්තනිරූපනය කරමින් නීතිය ක්‍රියාත්මක කරන අවස්ථා තවමත් ශ්‍රී ලංකාව තුළ සිදුවන අතර, පුද්ගලයකුට ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය හා ප්‍රකාශනය වැනි කරුණු මත වෙනස්කොට සැලකීම් සිදුනොවිය යුතු බවට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය හරහා සහතික කරන්නේද යන්න පිළිබඳව තවමත් පවතින්නේ අවිනිශ්චිත බවකි.

මීට හේතුව විවිධ අවස්ථාවන් වල මේ සම්බන්ධයෙන් රජය හා නීතිපති දෙපාර්තමේන්තුව ලබා දෙන ලද ප්‍රකාශ වල පවතින පරස්පරභාවය යි.

කෙසේවෙතත්, ඉහත නඩුකටයුත්ත සම්බන්ධයෙන් විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ රටේ එල්ජීබීටී+ ප්‍රජාවට වෙනස්කොට සැලකීම සම්බන්ධයෙන් ප්‍රජා ක්‍රියාකාරීන් විසින් නීතිය ක්‍රියාත්මක කිරීම අභියෝගයට ලක්කරමින් නඩුවක් ගොනුකළ පළමු අවස්ථාව මෙය වීමයි.

LGBTIQ සංස්කාරක




Source link