December 5, 2021

Ada Rata

All news in one location

2026 T20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට



2024 – 2031 කාලසීමාව තුළ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවල සත්කාරකයන් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම කාලසීමාව තුළ එක්දින ලෝක කුසලාන තරගාවලි 02 ක්, 20/20 ලෝක කුසලාන තරගාවලි 04 ක් හා ශූරයන්ගේ කුසලාන තරගාවලි 02 ක් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව සෑම වසරකදීම ප්‍රධාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වේ.

2026 වසරේ පැවැත්වීමට නියමිත 20/20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකයන් ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි. මෙතෙක් පැවති සියලුම 20/20 ලෝක කුසලාන තරගාවලිවල සත්කාරකයන් ලෙස එක් රටක් පමණක් කටයුතු කළ අතර 2024 වසරේ සිට රටවල් දෙකක් හෝ කිහිපයක් සඳහා අවස්ථාව ලබා දී තිබේ.

2024 20/20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකයන් ලෙස කටයුතු කරන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඇමරිකා එක්සත් ජනපදයයි. ලෝක මට්ටමේ තරගාවලියක සත්කාරකත්වය ඇමරිකාවට ලබා දී තිබෙන්නේ පළමුවරටයි.

2025 වසරේ ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකයන් ලෙස පකිස්තානය තෝරාගෙන තිබෙනවා. පකිස්තානයට ප්‍රධාන තරගාවලියක සත්කාරකත්වය හිමිව තිබෙන්නේ දශක තුනකට වැඩි කාලසීමාවකට පසුව වීමද විශේෂත්වයකි.

2027 එක්දින ලෝක කුසලාන තරගාවලිය අප්‍රිකානු කලාපයට හිමිව ඇති අතර දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ හා නැමීබියාව සත්කාරකයන් ලෙස කටයුතු කරයි. නැමීබියාවටද අවස්ථාව හිමිව තිබෙන්නේ පළමුවරටයි.

2028 20/20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකයන් ලෙස ඔ්ස්ට්‍රේලියාව සහ නවසීලන්තය කටයුතු කරයි. ලබන වසරේ පැවැත්වෙන 20/20 ලෝක කුසලානයේ සත්කාරකයන් ලෙස කටයුතු කරන්නේද ඔ්ස්ට්‍රේලියාවයි.

2029 වසරේ ශූරයන්ගේ කුසලාන තරගාවලිය ඉන්දියාවට ලබා දී තිබෙනවා.

2030 20/20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය යන රටවල්වල සත්කාරකත්වයෙනි.

2031 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකයන් ලෙස ඉන්දියාව සහ බංග්ලාදේශය කටයුතු කරයි. විශේෂත්වය වන්නේ මෙම වසර 08 තුළ පැවත්වෙන ලෝක මට්ටමේ තරගාවලි 03 ක සත්කාරකත්වය ඉන්දියාවට ලබා දී තිබීමයි.

UN




Source link