November 29, 2021

Ada Rata

All news in one location

‍කාබනික වගාව තියෙන්නෙ නිළධාරීන්ගේ සංඛ්‍යා ලේඛනවල විතරයි, ඇත්ත තත්වය හරිම භයානකයි



අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වාර්ෂිකව අක්කර එක්ලක්ෂ විසිපන් දහසක බඩඉරිඟු වගා කරන නමුත් මෙවර අක්කර විසිපන් දහසක්වත් වගා කිරීමට හැකිවේදැයි සැක සහිත බව සූර්ය බල, සුලං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසනවා. පොහොර පිළිබඳව තිබෙන අවිනිශ්චිත තත්වය හේතුවෙන් දිනෙන් දිනම ගොවීන් ගොවිතැන් අත්හරිමින් සිටින බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

දුමින්ද දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ, ඉපලෝගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

කොළඹ රාජ්‍ය ආයතනවල ප්‍රධාන කාර්යාලවල ලිපිගොනුවල සටහන්ව තිබෙන සංඛ්‍යා ලේඛනවලට වඩා මහපොළවේ සැබෑ තත්වය අතිශය භයානක බවත්, එම තත්වය තේරුම් නොගෙන, නිළධාරීන් තීන්දු තීරණ ගැනීම නිසා ගොවි ජනතාව අන්ත අසරණ තත්වයට පත්ව ඇති බවත් දුමින්ද දිසානායක මහතා පවසනවා.

සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා,

කොම්පෝස්ට් කියන්නේ දැන් ජනප්‍රිය වචනයක් විතරයි. සැබෑ ප්‍රශ්නයට උත්තරයක් නෙමෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු අක්කර 125,000 ක් විතර වගා කරනවා, හැබැයි මේ පාර අක්කර විසි පන්දහසක්වත් වගා කරයි කියලා මම හිතන්නේ නෑ. පොහොර පිළිබඳව තියෙන අවිනිශ්චිතතාවය නිසා මිනිස්සු වගා කරන්නේ නෑ. හැබැයි කොළඹ කාර්යාලවල තියෙන ලිපි ලේඛනවල තියෙන්නේ නිළධාරීන් කියන සංඛ්‍යා ලේඛන ටික. ඔයගොල්ල කියනවා අමතර භෝග මෙච්චරක් වගා කරනවා කියලා. හැබැයි ඇත්තම කථාව ගොවි බිම්වල ජනතාව මේකට සූදානම් නෑ. ඒ නිසා මම නිළධාරීන්ට යෝජනා කරන්නේ, කොළඹට මේ තොරතුරු දෙන ගමන්ම වගා කරන ගොවි මහත්වරුන්ගේ වගා බිම් ප්‍රමාණය හරියට බලලා, ආණ්ඩුව කාබනික පොහොර ප්‍රචලිත කරනවා වගේම, අවශ්‍ය කාබනික පොහොර ටිකත් අනුරාධපුරයට ගේනවා නේ, ඒවා වැඩි ප්‍රමාණයක් අනුරාධපුරයට ගෙනාවොත් තමයි අපේ ගොවීන්ගේ ප්‍රශ්නයට උත්තරයක් වෙන්නේ, එහෙම නැතිව අපි ගණන් හදාගෙන පොහොර ගෙන්වා ගත්තේ නැත්නම් අපි අමාරුවේ වැටෙනවා.

මේ දවස්වල කාබනික පොහොර බොහෝම ජනප්‍රියව හදාගෙන යනවා. මේ හදන ප්‍රමාණය අපිටවත් මදිනේ, මේක හැදුවා කියලා කිව්වට අවශ්‍ය ප්‍රමාණය නැත්නම් ඒක බලපාන්නේ අස්වැන්නට නේ, ඒ නිසා නිළධාරීන් මේ තොරතුරු අනුරාධපුර කාර්යාලයට, කොළඹට දෙනකොට හරියටම ඒ තොරතුරු ටික දෙන්න, එදා ඉඳන් එන සංඛ්‍යා ලේඛන ටික නැතිව. තිරප්පනේදීත් කිව්වේ නිළධාරීන් බඩ ඉරිඟුවලට ඉඩම් ටික සුද්ද කරනවා කියලා. හැබැයි ඇත්ත කථාව ඒක නෙමෙයි ඒක බොරුවක්නේ. සමහරු සුද්ද කරනවා ඇති හැබැයි සමස්තය මේකට බැහැලා නෑ. ඒ ගැන නිළධාරීන්ට විතරක් තීන්දු තීරණ ගන්න බෑ, දේශපාලන අධිකාරිය හා ආණ්ඩුව මැදිහත් වෙලා කරන්න ඕන දෙයක්. හැබැයි ඒ සඳහා මේ තොරතුරු ටික හරියටම දෙන්න ඕන.

මොකද දැන් හදන කොම්පෝස්ට්වලත්, දැන් කොම්පෝස්ට් එකේ 1% ක් විතර තමයි නයිට්‍රජන් තියෙන්නේ, සමහර තැන් වල 1% ක් වත් නෑ, කොම්පෝස්ට් කියන්නේ දැන් ජනප්‍රිය වචනයක් විතරයි. වගාවට උත්තරයක් නෙමෙයි. හැබැයි අපි මේක කොහොම හරි ගොඩ දාන්නත් එපැයි. මේක ගොඩ දාන්න නම් මේ තියන ප්‍රශ්න මැද්දේම යන්න වෙනවා. දැන් ආපහු හැරෙන්න බෑ. ඒ නිසා අපි බඩ ඉරිඟු අක්කර ලක්ෂයකට ලෑස්ති වෙනවා නම් පොහොර තියෙන්න ඕන, නයිට්‍රජන් ඕන, ඒ නිසා අපි දැන් ලෑස්ති වෙන්න ඕන අමතර භෝග වලට අවශ්‍යය පළමුවැනි පොහොර මුරයට ගහන්න නයිට්‍රජන් ටික ගෙන්වා ගන්න, ඒක කොච්චර ප්‍රමාණයක්ද කියලා තීරණය කරන්න ඕන, නිළධාරීන් ප්‍රමිතියක් දන්නේ නැතිව ප්‍රමාණයක් හදා ගන්න දන්නෙත් නෑනේ. රටින් ගෙන්වන එවායේ ප්‍රමිතිය, ප්‍රතිශතය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රතිශත නොදැන නිර්ණායක දෙන්න බෑ, හැබැයි මේ හැම දේම කරන්න තියෙන්නේ මේ කෙටි කාලය විතරයි. මේ කාලයේ නිළධාරීන්ගේ පැත්තෙන් මේ දත්ත ටික, ගම්වල තියෙන ප්‍රශ්න ටික ගොවිජනතාව මේවා අවිශ්වාස කරලා වගාව අතාරියි, ඒකට මොකද අපි කරන්නේ කියලා ඉහලට විස්තර දෙන්න.

UN




Source link