November 30, 2021

Ada Rata

All news in one location

‌වැඩිම සී ප්ලේන් ගමන්වාර ඇති ලාංකික ගායකයා, ගාමිණී සුසිරිවර්ධන!



“මල්ලි වෙලාවක එන්න අළුත්ගම බෙන්තොට පැත්තට. අපි හම්බවෙමු. ඔයාට කියන්න ගොඩක් කතා තියෙනව මල්ලි.”
අන්තිමට අපට කවදාවත් සෙට් වෙන්න බැරි වුනා.

ඔහු මගෙ දුරකතන අංකයත් හොයාගෙන මට දුර ඇමතුමක් දෙන්න තරම් නිහතමානී වුනේ පහත ලිපිය දැකලා. එහි නැති ගොඩක් දේවලුත් ඔහු එදා කිව්වා. අන්තිමට ඔහු කිව්වෙ අපි හම්බවෙමු කියල. ඒත් ඒ දවස නෑවිත්ම ගාමිණී සුසිරිවර්ධන කියන “මනුස්සයා” මෙලොවින් සමුගෙන. ඒ තමයි මිනිස්සු. මහපොළොවේ ජීවත් වුණු මිනිස්සු.

ඔහුට ආයුබෝවන්!

ඔහු ගැන වසර කිහිපයකට පෙර ලියූ ලිපිය මේ හා අමුණනන්නෙ ‘ජීවත්ව ඉන්න කාලෙ ඔහු ගැන කතා කරානෙ’ කියන හිතේ සතුටින්.

මූණ මතක ඇති. සමහරුන්ට නම් ගම් එහෙමත් මතක ඇති. සමහරුන්ට හඩ මතක ඇති. සමහරු දන්නෙවත් නැතුව ඇති. වැඩිම සී ප්ලේන් ගමන්වාර ඇති ලාංකික ගායකයා, ගාමිණී සුසිරිවර්ධන!

ගායකයෝ, නළු නිළියෝ, දේශපාලකයෝ වගේ අය ගැන ඕපදූප හොයන එක නැගලා යන ප්‍රවණතාවක් වුනාට, ඔවුන්ගෙ ජීවිත කතා ඇතුළේ තියෙන සමහර අත්දැකීම් ගැන සමාජයක් හැටියට නැවත නැවත කියවාගත්තොත් ඒවා අපටත් පෙළඹුම්කාරක (motivational) වෙයි කියන එකයි මගේ හැගීම. මේක ඉතින් එහෙම කතාවක්. රුපියල් ලක්ෂ දෙකක් විතර වටින “රුපියල් දෙකක කතාවක්”.

මට මුලින්ම ගාමිණී සුසිරිවර්ධන කියන කෙනාව මතක මොහු සිරස සුපර්ස්ටාර් සීසන් 2 පළමු වටයට සහභාගී වුණු විදිහ නිසා. ඔව්, දැන් තියෙන බාල පන්නයේ රියැලිටි තරග බොහොමයක් ප්‍රතික්ෂේප කරාට අපි ඒ දවස්වල රියැලිටි තරග බැලුවා. අන්තිම සියදෙනාට යවන වටයේදී මිල්ටන් මල්ලවආරච්චි මහත්තයගෙ “ඔබෙ නිල් නුවන් තලාවේ” තමයි ඔහු ගැයුවේ. ඔහු හොඳට ගැයුවා. ඒත් හරි අමුතු වැඩක් වුනා.

ජගත් වික්‍රමසිංහ මහත්තයා එතකොට හිටියෙ විනිසුරු අසුනේ. “ඔබ අවසන් සියදෙනාගෙ වටයට යාමට වරම් නොලබන්නෙ නෑ” ඔහු කිව්වා.

“ආ..” කියලා හිනාවක් දාපු ගාමිණී තමන්ට ලැබුණු තීරණය ගැන පුදුම වුනා වගේ දෙයක් දකින්න තිබුනා. ජීවිත කාලෙදී අනේක වරක් ප්‍රතික්ෂේප කිරීම් වලට ලක්වුනහම තමයි මිනිස්සුන්ට ඒ වගේ දැනෙන්නෙ. නමුත් මේ සිද්ධියේ ඉදිරිය වෙනස්ම එකක්. ඒක අපි රූපවලින් දැක්කෙ මෙහෙමයි.

තීරණය අහලා ගාමිණී පොඩි එකෙක් වගේ අඩන්න පටන් ගන්නවා. ඔහුගේ අතීතය ගැන මුමුණ මුමුණ. මේක හරි තාත්වික වැඩක්. රියැලිටියකට හොඳටම ගැළපෙන. ඔය නිසාම මම නම් හිතුවෙ “ඕවා මුන්ගෙ රගපෑම්” කියලා. එතකොට මම උසස් පෙළ කරන ශිෂ්‍යයෙක්. ඒ ඉතින් මම දැනගෙන හිටපු තරම තමයි.

අද, ඊට අවුරුදු 13කට පස්සේ…

මං හිතන්නෙ ඔහුට ඔහුගෙ අතීතය මතක් වෙන්න ඇති. අළුත්ගම, කලුතර, බෙන්තොට පැත්තෙ සංචාරක හෝටල්වල කැලිප්සෝ සංගීත ශිල්පියෙක් හැටියට ජීවිතේ ගැටගහගත්තු ඔහුට ඒකෙන් විතරක්ම ජීවත් වෙන්න ආර්ථික හයියක් ලැබුනෙ නෑ. ඒක ඔහුගෙ නිවස, ඔහුගෙ විදිහ දකිනකොටම අපිට තේරෙන දෙයක්. එච්චර ආර්ථික ප්‍රශ්න නොතිබුනත්, ඔහුගෙ අත්දැකීම් මටත් තව ලංවෙන්න ගන්නෙ මමත් යම් කාලෙකට සංචාරක හෝටල් වල සංගීත කණ්ඩායම් කිහිපයක් එක්ක සම්බන්ධ වීමෙන් පස්සෙ.

ඒවායෙදී මුහුණ දෙන්න වෙන ප්‍රශ්න, ලංකාවෙ ප්‍රේක්ෂකයො ඔවුන්ට සලකන හැටි, සමාජය ඔවුන්ට සලකන හැටි ඇතැම් වෙලාවල්වලදී හරිම පිළිකුල් සහගතයි. ජපන්, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියානු, කැනේඩියානු, කොරියානු ප්‍රේක්ෂකයන් අපේ ළගින් යන්නෙත් “හායි” කියලා ගෞරව කරලා. ඒ තමයි ඒ රටවල්වල සංගීත ශිල්පියෙකුට ගරු කරන විදිහ. කොටින්ම ජපන් ප්‍රේක්ෂකයො බෑන්ඩ් එකටම වැඳලා තමයි ආහාර ගන්න යන්නෙත්. හැබැයි අපේ රටේ කොහොමද? මතකනෙ එක්තරා දවසකදි බැංකුවක මහත්තුරුම අපේ රටින් ජාත්‍යන්තරයට ගියපු චිත්‍රාල් සෝමපාල වගේ ගායකයෙකුට සලකපු හැටි?

ගොඩක් ලංකාවෙ ප්‍රේක්ෂකයො මුලින් එන්නෙ, “ඔයාලා මෙන්න මේ සින්දුව ප්ලේ කරනවද?” කියාගෙන. ඊළඟට “මල්ලි/අයියෙ මේක ගහන්න”. ඊළඟට “ඒ මචං මේක ගහපන් ආ”, ඊළඟට “අඩෝ ගහපන් ඩෝ සින්දුව!”, ඕක තවත් අදියර කිහිපයකට යන අවස්ථා තියෙනවා. එතකොට ඉතින් ගිටාර් එක උස්සලා ඔලුවට දෙන්න තමයි හිතෙන්නේ.

ඔය නිසයි සංගීත ශිල්පීන්ට ටිකක් තරහ යනවා කියලා ප්‍රසිද්ධ. “පොදු ගෞරවය”(mutual respect) කියන දේ ගැන අහලවත් නැති මිනිස්සු ඉන්න රටකදී කලාකරුවො, සංගීත ශිල්පියො යම් වේදනාවකින්, ඉක්මන් කෝපය ඇතිවෙමින් ජීවත් වෙන එක පුදුමයක් නෙමෙයි. ඒත් ගාමිණී වගේ හැමදෙයක්ම විඳදරාගෙන ජීවිතේ ගැටගහන මිනිස්සුත් නැතුව නෙමෙයි. මං හිතන්නෙ අර ඇඩිල්ල අස්සෙන් එළියට පැන්නෙ ඒ හිරකරගෙන හිටපු වේදනාව.

ප්‍රතික්ෂේප වීම කියන දේ ගාමිණීගෙ කුඩා කාලෙ ඉඳන්ම ඔහු අත්විඳපු දෙයක්. ඔහු කුඩා කාලෙ එක දවසක් පන්තියෙ ශිෂ්‍යයො පාසැල් අධ්‍යාපන චාරිකාවට සූදානම් වෙලා තියෙනවා. ඕකට කෙනෙකුගෙන් රුපියල් දෙකක් අයකරලා තියෙනවා.

“1974 අවුරුද්දේ මම ගියා කීණදෙණිය මහා විද්‍යාලයට අඹේපුස්සේ. හත්වෙනි පන්තියේ A, B, C, D කියලා පන්ති 4ක් තියෙනවා. ඔන්න ටීච ආවා.”* ගාමිණී TNL නාලිකාවට ඇවිත් ඔහුගේම වචනවලින් කතාව කියන්න පටන්ගත්තෙ එහෙමයි.

“අධ්‍යාපන චාරිකාවක් යනවා, කවුද යන්නේ? ඉතින් ළමයි අත් උස්සගෙන ඉන්නවා. රුපියල් දෙකක් ගන්නවා. මං ඉතින් අන්තිම පේළිවල තමයි ඉන්නෙ.”

“සුසිරිවර්ධන!” ටීචර් නෝනා එහෙම කිව්වහම ගාමිණී පුටුවෙන් නැගිටලා බිම බලාගෙන හිටියලු. සල්ලි නැති නිසා.

“ආ ඉඳගන්න” කිව්වහම ඉඳගත්තලු. දැන් ඉතින් ගාමිණී මේ චාරිකාව යන දවසක්වත් දන්නෙ නෑ. දවසක් උදේ ඉස්කෝලෙ යනකොට ලොකු බස් දෙකක් ඇවිල්ලා තියෙනවලු. එදා තමයි චාරිකාව යන දවස.

“ඇයි ආවෙ?”* කියලත් ටීචර් නෝනා ඇහුවලු.

“අන්න අතන විද්‍යාගාරෙ ළග තියෙනවා සැන්ඩ්විච් හදලා. ඒක අරන් බස් එකෙන් තියන්න”* ටීචර් නෝනා එහෙම කිව්වහම ගාමිණී ඒ වැඩෙත් කරාලු.

ලංකාවෙ ඉස්කෝලෙකට ගියා නම් ඔබ හැමෝම දන්නවා ඇතිනෙ. වැඩක් කරන්න ගියහම හැමදාම ඕන වෙන්නෙ පිටිපස්සෙ පේළිවල ළමයි.

කොහොමහරි සැන්ඩ්විච් පෙට්ටි දෙකත් බස් එකට දැම්මට පස්සේ බස් දෙක චාරිකාව යන්න පටන් අරන් තියෙන්නේ ගාමිණී එළියේ හිටගෙන බලාගෙන ඉද්දි. බස් දෙක ඈතට යනකංම ගාමිණී දුකෙන් බලාගෙන හිටියලු.

මේ ඉතින් එක කතාවයි. ඔයිට වඩා ලොකු ප්‍රතික්ෂේප කිරීම් වලටත් ගාමිණී ලක්වෙන්න ඇති. නමුත් වයස අවුරුදු 35ත් පැනලා සිරස සුපර්ස්ටාර් වේදිකාවට නැගලා තරුණ කොල්ලො කෙල්ලො එක්කත් තරග කරපු ගාමිණී, හෙමින් හෙමින් තමන්ගෙ හීන සැබෑකරගන්න මට්ටමට ළගා වුනා. එතනයි මේ කතාවෙ වටිනම තැන.

මේ වෙනකොට යුරෝපා වරායන් වලින් ඔහු ගිහින් නැත්තෙ රොටර්ඩෑම් වලට විතරයි. ඒවගේම සින්දුත් කිය කිය ඔහු කෲස් ෂිප් වලත් (සංචාරක මගී නෞකා) මහමුහුද තරණය කරලා තියෙනවා. ඔහොම කෲස් ෂිප්ස් වල ගීත ගයමින් සංචාරය කරපු ලංකාවෙ තවත් ගායකයෙක් නම් කරොත් ඒ C.T. ප්‍රනාන්දු. ඒවා ලේසි වැඩ නෙමෙයි. නැවක් කියන්නෙ ලෝකයේ නියැදියක් වගේ එකක්නෙ. එතකොට භාෂා 4-5කින්වත් ගීත ගයන්න පුළුවන් වෙන්න ඕන. ගාමිණී සුසිරිවර්ධනට භාෂා 13ක විතර ගීත ගයන්න පුළුවන්.

මේකයි පණිවිඩය. ප්‍රතික්ෂේප වීම් ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ තියෙන්න පුළුවන්. ඇතැම් විට හද්දා අසාධාරණ විදියට තියෙන්න පුළුවන්. ඒත් සැලෙන්න එපා. කරන දේ අවංකව කරන්න.

ඔන්න ඔහොමයි පාසලේ අධ්‍යාපන චාරිකාව යන්න රුපියල් දෙකක් නොතිබුණු ගාමිණී සුසිරිවර්ධන මුළු යුරෝපයම තරණය කළේ.

– අසංක හදිරම්පෑල




Source link