October 28, 2021

Ada Rata

All news in one location

හේතුවත් ඵලයත් දෙකම වෙනස් ලංකාවේ සහ එංගලන්තයේ ඉන්ධන පෝලිම්



සිත නිවන කතා පසෙක තබා ඇත්ත කතාව දැන ගනිමු. වසංගතය නිසා ඉන්ධන හිඟයක් ඇති වී එංගලන්තයට ඇඬී ඇති බව ඊයේ දිනයේ ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළේය. මේ අතර, ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ට සම්බන්ධ ඇතැම් චරිත ඒ පුවත්වලට සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ජයග්‍රාහී ප්‍රචාරයක් ද ලබාදීමට උත්සාහ කළේ, ‘එංගලන්තෙත් මෙහෙම වෙනව නම් අපි ගැන කවර කතාද‘ වැනි අදහසකිනි.

එව්වා සහමුලින්ම පාහේ සිත නිවන කතා ය.

එංගලන්තයේ ඇති වී තිබෙන්නේ ඉන්ධන හිඟයක් නොව, ඉන්ධන රියැදුරන්ගේ හිඟයකි.

ලංකාවේ ඇති වී තිබෙන්නේ ඉන්ධන මිලදී ගන්නට ඩොලර් හිඟයකි. එනයින් එය කොහොම බැලුවත් ඉන්ධන හිඟයකි.

එංගලන්තයේ ඉන්ධන ප්‍රවාහනය කරන්නේ HGV ලොරි රථ වල ය. ඒවා දැවැන්ත වාහන ය. ලොරියක බර කිලෝ 3500 – 7000 අතර විය හැකිය. පහත දැක්වෙන්නේ එවැනි වාහනයකි. මේ වාහන පදවන්නට full UK driving licence උවමනා ය. එම රියැදුරු බලපත්‍රය ද ඉතා පරීක්ෂාවෙන් ලබා දෙන්නකි.

එංගලන්තය මේ මොහොතේ මුහුණ පා ඇති අර්බුදය මේ ලොරි රථ පැදවීමට බලපත්‍ර ලබාඇති රියැදුරන්ගේ හිඟයයි.

මේ වන විට එක්සත් රාජධානියේ HGV රියැදුරන් 90,000 සිට 100,000 කගේ හිඟයක් තිබේ. (මූලාශ්‍ර – Road Haulage Association, Trade body Logistics UK)

එසේ රියැදුරු හිඟයක් ඇති වී තිබෙන්නේ කෝවිඩ්-19 නිසා පමණක් නොවේ. බ්‍රෙක්සිට් සහ වාණිජ ක්‍රමවල පැවති ගැටළු ද එයට ක්‍රමානුකූල ලෙස බලපා තිබිණි.

වසංගතය සමය තුළ රියැදුරන් 70,000 ක් සිය රැකියාවෙන් ඉවත් වී ඇත්තේ හෝම් ඩිලිවරි වැනි වඩාත් ප්‍රායෝගික විකල්පවලට යොමුවෙමිනි. ඔවුන් අතරින් 12,500 දෙනෙක් පමණ යුරෝපා සංගම් වැසියන් ය (මූලාශ්‍රය-The Grocer).

බොරිස් ජොන්සන්ලා විසින් ඉල්ලාගෙන කෑ බ්‍රෙක්සිට් නිසා යුරෝපා සංගමයට අයත් රටවල රියැදුරන්ට නව දේශසීමා නීතිවලට යටත් වන්නට සිදුවිය.

ඒ අනුව මෙය ‘වසංගතේ තමයි ඔක්කොම කළේ‘ යන්න අදාළ වන තැනක් ද නොවේ.

එපමණක් නොව මේ සති අන්තය වන විට මේ හිඟය වළක්වාලීම සඳහා තිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන්නට ද දැනටම එංගලන්තය පියවර ගෙන තිබේ. ඒ, තාවකාලික වීසා ක්‍රමයක් යටතේ HGV රියැදුරන් එංගලන්තයට කැඳවන්නට ය.

අනික එංගලන්තය මේ හදන්නේ, නත්තලේදී ඉන්ධන හිඟයක් ඇති වීම වළක්වා ගන්නට ය. ලංකාව දත කන්නේ තව සතියකින් රට විවෘත කළ හැකි පරිදි 1 වැනිදා වනවිට පෙට්‍රල් ඩීසල් හොයාගන්නට ය.

නත්තලට සඳහා එංගලන්තයට තව මාස 3 ක් හරියටම තිබේ. ලංකාවට ඉලක්කගත කාලයට ඉන්ධන හිඟය වළක්වා ගන්නට තව තිබෙන්නේ දවස් කිහිපයකි.

ඊයේ දිනයේ පැවති International Chamber of Commerce හෙවත් අන්තර්ජාතික වාණිජ මණ්ඩලයේ සාකච්ඡාවේදී ද හෙළි වූ පරිදි, ඔක්තෝබර් 1 වැනිදා වන විට ඉන්ධන මිලදී ගැනීමට නොහැකි වුවහොත් රට ඔක්තෝබර් මැද දක්වාම ලොක්ඩවුන් කිරීමේ අවදානමක් ද තිබේ.

ලංකාවේ ඇත්ත කතාව ඕක ය.

එංගලන්තය HGV රියැදුරන් හිඟ වන විට රට කලබල වීම ස්වභාවික ය.

ඒ, එක්සත් රාජධානියේ නිෂ්පාදන සහ සිල්ලර ව්‍යාපාර ක්ෂේත්‍රයන් සහමුලින්ම රඳා පවතින්නේ ගොඩබිම් මාර්ග ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය කිරීම මත නිසා ය. (මූලාශ්‍රය – මෙට්‍රො)

ඒ අනුව එය එංගලන්ත වෙළඳපොළ තුළ භාණ්ඩ හිඟයක් ඇති වීමට බලපානු ඇත. ඒ අනුව මෙය නිකංම නිකං පෙට්‍රල් කතාවක් පමණක් නොවේ. නත්තල ඉලක්ක කර ගනිමින් එයට ඔවුන් දැන්මම පිළියම් සොයන්නේ එනිසා ය.

සරලව කියනවා නම් ලංකාවේ තෙල් හිඟය සහ එංගලන්තයේ පෙට්‍රල් හිඟය එකිනෙකට සපුරා වෙනස් ය.

මේ දෙකේම තිබූ එකම සමාන කම වන්නේ දෙරටේම සිටින මොළය සාක්කුවේ දමාගත් අභිමානවත් පුරවැසියන් කඩපිල්වලට සහ පෙට්‍රල් ෂෙඩ්වලට කඩා වැදී ‘පැනික් බයිං‘ හෙවත් ‘කුලප්පු මිලදී ගැනීම්‘වල නිරත වීමයි. තිබෙන පෙට්‍රල් ටිකත් හිඟවෙන්නට නම් එය ෂෝට් කට් කපා දෙයි.

මේ අතර, ලංකාවේ ප්‍රවාහන අමාත්‍යවරයාට සමාන බලතල ඇති එංගලන්තයේ ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂාප්ස් කියන්නේ HGV රියැදුරු හිඟයට පිළියම් ලෙස දේශීය රියැදුරන් යොදවන්නටත් තීරණය කර ඇති බව ය. එසේම HGV රියැදුරු බලපත්‍ර ලබාදීම වේගවත් කරන්නටත් ඔවුන් ළඟ සැලසුම් තිබේ.

ඕනෑ නම් මේ සිත නිවන කතා තව මාස ගණනක් වුවත් ඇදගෙන යන්නට ලංකාවට පුළුවන.

එයට හේතුව, HGV රියැදුරන්ගේ හිඟය පෝලන්තය සහ ජර්මනිය වැනි රටවලින් ද වාර්තා වෙමින් තිබීමයි. මේ වන විට පෝලන්තයේ HGV රියැදුරන් 123,000 ක් හිඟ අතර, ජර්මනියේදී මෙම හිඟය 76,000 ක් පමණ වේ. එවිට පෝලන්තෙ එහෙම වුණත්- එංගලන්තෙ එහෙම වුණත්- ජර්මනියෙ එහෙම වුණත් යනාදී වශයෙන් අපට දිගටම හිත හදාගත හැකි ය.

ඇයි දන්නෑ එහෙ හදිසි නීතිය දාන්නැත්තෙ!

ලංකාවේදී පෙට්‍රල් නෑ කියන්නේ එක්කෝ පෙට්‍රල් හංගා තිබෙන විට ය. නැතිනම් පෙට්‍රල් සංචිතත් හිඳී තිබෙන විට ය.

නමුත් එංගලන්තයේ එවැනි හිඟයක් නැත. සංචිතවල පෙට්‍රල් තිබේ.

ඒ බව එංගලන්තයේ අගමැති කාර්යාලයේ ප්‍රකාශක ද සහතික කරයි.

ඒ රටේ උසස් නිලධාරීන් ‘කියන කතා‘ ලංකාවේ කියවාරු කතා වගේ නොවේ. කියන කතාවලට ඔවුහු වගවෙති. තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලුවත් එවිට දැනගන්නට ලැබෙන්නේ ඒ කතා කියන්නේ, එසේ කතා කියන්නට පුළුවන් සාධක සහ කරුණු මත පදනම් වී බව ය.

ලංකාවේ සහල් හිඟයක් ඇති වූ විට කළේ හදිසි නීතිය දැමීමයි! ආහාර හදිසි තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා හදිසි නීතිය ලහි ලහියේ සම්මත කළ ලෝකයේ ප්‍රථම රට ලංකාව විය යුතුය.

ඒ අනුව පොළොන්නරුවේ සහල් මෝල් හිමියන් හාල් හංගන විට හදිසි නීතිය දැම්මා සේ, ලංකාවේ පෙට්‍රල් ෂෙඩ් හිමියන් පෙට්‍රල් හංගන්නේ නම් හදිසි නීතිය දමනු ඇත. ඒ අනුව ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් ණයට ඉල්ලීමට අපට සිදුවීමෙන් පෙනී යන්නේ හංගන්නටවත් ඉන්ධන නැති බව ය.

නමුත් එංගලන්තය ලංකාව වගෙ නොවේ. ඉන්ධන සංචිතවලින් ඉන්ධන ගෙන්වා ගැනීමට හදිසි නීතිය තබා, හමුදාවවත් ඔවුන් යොදවන්නේ නැත.

එංගලන්තය HGV රියැදුරු හිඟය වළක්වා ගැනීමට හමුදා සහාය නම් නොපතන බව කුමන හෝ හේතුවක් නිසා විදෙස් වාර්තාවල විශේෂයෙන් සඳහන් වේ!

https://outboundtoday.com රදිකා ගුණරත්න




Source link