October 18, 2021

Ada Rata

All news in one location

හබරකඩගේ ඇලෝෂියස් පෙරේරා නොහොත් අපේ කාලයේ පාවෙල් කොර්චාගින්



පෙරේදා (10) HAගේ උපන්දිනයයි. මේ ඔහු සිහිපත් කිරීමකි.

අප ජිවත් වන කෙටි කාලය තුළ බොහෝ මිනිසුන් හමුවේ. ඇතැමුන් කෙටි කලෙකින් අමතකව ගියද කිසිදා මතකයෙන් බැහැර නොවන මිනිසුන්ද අප අතර සිටියි. එවන් සොඳුරු මිනිසකු පිළිබඳ මගේ මතකයයි මේ.

හබරකඩගේ ඇලෝෂියස් පෙරේරා කී විට ඔබ ඔහු හඳුනන්නේ නැත. එහෙත් එච්.ඒ. පෙරේරා යැයි කී විගස ඔහු කවුරුන්දැයි ඔබේ මතකයට නැගෙනු නොඅනුමානය. මින් වසර එකොළහකට ඉහත නවම් මහක ඔහුව මරණය නම් චෞරයා පැහැරගෙන ගියේය. එහෙත් එච්ඒ නම් ඒ සොඳුරු මිතුරා පිළිබඳ මතකය සදානුස්මරණීය වෙයි.

මා එච්.ඒ. හඳුනාගත්තේ 1984 වසරේ ටෝනි රණසිංහ මහතාගේ ජූලියස් සීසර් නාට්‍යයෙනි. එහි ටෝනි අයියා ජූලියස් සීසර් විය. බෘෘටස් වූයේ ගාමිණී ෆොන්සේකාය. (ඔහු රඟපෑ එකම සිංහල වේදිකා නාට්‍යය) රවීන්ද්‍ර රන්දෙණිය මාක් ඇන්ටනි විය. මේ තිදෙනා සමග අති විශිෂ්ට රංගනයක නිරත වූ අනෙක් නඵවා එච්ඒය.  ඔහු එහි කැෂියස් විය. මම එම නාට්‍යයේ වේදිකා පරිපාලක වීමි.

ජූලියස් සීසර් කරන කාලය අතිශයින් සොඳුරු විය. නඵ නිළියන් 40 ක් පමණ එහි රඟපෑහ. නාට්‍යයේ  පුහුණුවීම් අතර මෙන්ම නාට්‍ය රග දක්වන කාලයේද එච්ඒ, වසන්ත විට්ටච්චි, මහේන්ද්‍ර පෙරේරා, නිමල් ඒකනායක, රවීන්ද්‍ර රන්දෙනිය, සඳුන් විජේසිරි, දිලිප් රෝහණ, ක්‍රිෂ්ණා හා මා අතර පැවතියේ සමීප මිතුරුකමකි. පුහුණුවීම්වලින් පසු බොහෝ විට මධුවිතක් තොල ගෑමට අප අමතක නොකෙළෙමු. ඇතැම් දිනවල ටෝනි අයියාද එයට එක් වෙයි.

ජූලියස් සීසර්ගෙන් පසු මම එච්ඒ සමග බෙල්ජියානු ජාතික මහාචාර්ය රූඩි කොරන්ස්ගේ කලිගියුලා නම් ඉංග්‍රීසි නාට්‍යයේ එක්ව කටයුතු කළෙමි. එච්ඒ එම නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ කලිගියුලාගේ චරිතය රඟ පෑ අතර මම එහි සහය අධ්‍යක්ෂ සහ වේදිකා පරිපාලක වීමි.

කලිගියුලාහී මෙරට ඉංග්‍රීසි වේදිකාවේ ප්‍රවීණයන් රැසක් රඟපෑහ. ඔවුන් සියල්ලෝ ඉංග්‍රීසියම වහරන පිරිසක් බැවින් ඉංග්‍රීසි නාට්‍යයක රගපෑම ඔවුනට අසීරු කාර්යයක් නොවීය. එහෙත් එය එච්ඒගේ පළමු ඉංග්‍රීසි නාට්‍ය විය. එච්ඒ තම කාර්යයට කොතරම් කැප වූවෙක්දැයි මා වටහා ගත්තේ එම නාට්‍යයෙනි.

සාමාන්‍යයෙන් නාට්‍යයක් රඟ දැක්වෙද්දී වේදිකාව දෙපස සිට පෙළ මතක් කර දීමක් සිදු වේ. ඉංග්‍රීසි නළු නිලියන්ට පවා පෙළ අමතක වෙද්දී එච්ඒ සමස්ත පිටපතම කටපාඩම් කොට කිසිදු පෙළ මතක් කිරීමකින් තොරව රඟපෑවේය. එහි ප්‍රධාන චරිතය බැවින් ඔහුට බොහෝ දෙබස් තිබිණි. ඒ සෑම දෙබසක්ම ඔහුට කිසිදු අඩුවකින් තොරව මතකයේ තිබිණි.

මහාචාර්ය රූඩි කොරෙන්ස් ශ්‍රී ලංකාවෙන් පිටව යද්දී අප සැමට කුඩා සමරු සටහනක් දුන්නේය. ඔහු එච්ඒගේ සමරු සටහනේ මෙලෙස සටහන් කර තිබිණි. ‘මා ලොව බොහෝ රටවල නාට්‍ය නිෂ්පාදනය කර තිබේ. ඒ සෑම රටකින්ම මට හමු වූ විශිෂ්ටතම නළුවා ඔබය.’

එච්ඒ කලාවට පිවිසියේ 1974 දීය. ඔහු රංගන ශිල්පියෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක්, නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, පරිවර්තකයෙක් යන භූමිකා රැසක් තිබූ සරල නිහතමානී මිනිසෙක් විය. ඔහු ගාමිණී හත්තොටුවේගමගේ රංග ශිල්ප ශාලිකාවට ගියේ සංගීතය හැදෑරීමටය. එහෙත් හත්තොටුවේගම ඔහුගේ රංගන කුසලතාව හඳුනා ගත්තේය. ඉන් ලද පරිචය ඔස්සේ සෝමරත්න දිසානායකගේ වෙඩික්කාරයෝ නාට්‍යෙයන් රංගනය පිවිසියේය.

ඔහු හත්තොටුවගමගේ වීදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයකුද විය. එහි සිටි තවත් දෙදෙනකු වූයේ පරාක්‍රම නිරිඇල්ල සහ දීපානී සිල්වාය. ඔහු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක විය. ස්පාටකස්, පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුව, විනිශ්චය, ගැලිලියෝ, සයිමන් නවගත්තේගමගේ පුස්ලෝඩං, ස්ත්‍රී, සුබ සහ යස, ඩග්ලස් සිරිවර්ධනගේ හිට්ලර්, ටෝනි රණසිංහගේ ජූලියස් සීසර් වැනි නාට්‍යවල රංගනයෙන් දායක විය. මේ බොහෝ නාට්‍යයන්හි ප්‍රධාන චරිතය රඟපෑවේ එච්ඒය. එමෙන්ම සුබ සැන්දෑවක්, නුඹ විතරක් තළඑලලුයි, හිට්ලර් වැනි නාට්‍යවල සංගීත අධ්‍යක්ෂවරයා වූයේද ඔහුය. රාජ්‍ය නාට්‍ය උළෙල රැසක හොඳම නළුවා, හොඳම නිෂ්පාදක, හොඳම අධ්‍යක්ෂ, හොඳම පරිවර්තක සහ හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙස රාජ්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබීය.

ඔහුගේ රංගන පෞර්ෂය වීදි නාට්‍යයට හා වේදිකාවට පමණක් සීමා නොවීය. ඔහු රඟපෑ පළමු කෙටි චිත්‍රපටය වූයේ 1987 පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ පළමුවැනියා සහ අන්තිමයාය. ඔහුගේ පළමු වෘත්තාන්ත සිනමා රංගනය එච්.ඩී. ප්‍රේමරත්නගේ සසරක පැතුමයි. පසුව හස්ති වියරුව, පාලම යට, සාගර ජලය, කෙළිමඩල වැනි චිත්‍රපටවල රඟ පෑ අතර සාගර ජලය සඳහා එවක පැවැති සෑම චිත්‍රපට සම්මාන උළෙලකින්ම හොඳම සහය නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ එච්ඒය.

එච්ඒගේ පළමු ටෙලිනාට්‍යය 1982 නිර්මාණය වූ ජනේලයෙන් ආ අමුත්තා ටෙලි නාට්‍යය විය. කඩඉම, යශෝරාවය, දූදරුවෝ වැනි ටෙලි නාට්‍ය තුළින් ඔහු මෙරට රසික හදවත් දිනා ගත්තේය.

එකළ එච්ඒ සේවය කළේ කොළඹ විදුලි සංදේශ කාර්යාලයේය. මා සේවය කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේය. මගේ කාර්යාලය තිබුණේ ඔහුගේ කාර්යාලයට අනිත් පැත්තේ පිහිටි ට්‍රාන්ස්වර්ක් මන්දිරයේය. ඇතැම් දිනවල ඔහු මට දුරකතන ඇමතුමක් දෙයි.

‘මචං උඹ අද රෑට මොකද කරන්නේ’

‘මුකුත් නැහැ බං’ මම කියමි.

‘එහෙනං බයිට් එකක් හදපං. මම රෑ වෙලා බාගෙකුත් අරන් එන්නම්’

එකළ මගේ බිරිඳ ගුවන් සමාගමක සේවය කළ බැවින් සිටියේ විදේශගතවය. ඒ නිසා නිවසේ සිටියේ මා පමණි. මා හොඳ කෝකියකු බැවින් මගේ අහාරපාන මා විසින්ම සකස් කර  ගතිමි. එච්ඒ මම හදන බයිට්වලට කැමතිය. සේවය අවසන් කරන මම ගෙදර ගොස් බයිට් එකක් සහ ඔහුටත් සමග රාත්‍රි අහාර පිළියෙළ කරමි.

ඔහු 7 පමණ විට තම මෝටර් සයිකලයෙන් මගේ නිවෙසට පැමිණේ. සඳුන් විජේසිරි සිටියේ මගේ නිවෙසට යාබද නිවෙසේ බැවින් ඔහුත් අප හා එක්වේ. සඳුන් ජුලියස් සීසර් නාට්‍යයේ කැස්කාය. කැස්කාත් කැශියසුත් සීසර් මරන්නට කුමන්ත්‍රණ කළ උන්ය. දැන් මේ කුමන්ත්‍රණකාරයන් දෙදෙනාම මගේ නිවසේය.

බාගයක් කීවාට ඔහු බොහෝ විට බෝතලයක්ම ගෙන එයි. අප අතර ශාස්ත්‍රීය සංවාද මෙන්ම විහිළු තහළුද අසභ්‍ය කතාද ඇතිවේ. ඉන්පසු ගීත දෙක තුනක්ද ගයමු.

එච්ඒ පැරණි ගීත ගයන්නට රුසියෙකි. සඳුන් හැමදාම ගැයුවේ ගෝවේ ගෑනු පරාදයිය. ඉන්පසු අපි නාට්‍ය ගීත ගයමු. ‘රාලේ බැඳපං අපේ පැඟිරා – රාලේ බැඳපං කිරි පුස්සා’ පරාගේ සෙක්කුව නාට්‍යයේ එම ගීතය නොවරදවාම ගැයුනක් විය. එච්ඒ රාත්‍රි 10 ට 10.30 ට පමණ අහාර ගෙන පිටත්ව යයි. මා සිටියේ නුගේගොඩය. ඔහු සිටියේ මෝදරය. එහෙයින් බොහෝ වේලා රැඳෙන්නට ආසා වුවද කළ නොහැකිය. පසු දින අප දෙදෙනාම සේවයට යා යුතුය. මිත්‍ර සංගමය සඳහා අඩියක් ගැහුවද එච්ඒ බේබද්දෙක් නොවීය. ඔහු හැමදිනකම පිටව ගියේ හොඳ සිහියෙනි.

මගේ ‘අවසන් විසඳුම’ පොත දොරට වැඩීම සිදුවූයේ ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේය. සවස 4 ට ආරම්භ වුවද එච්ඒට ඒ වේලාවට පැමිණිය නොහැකි විය. සවස 5 වනවිට මොර සූරන වැස්සක් ඇති විය. ඒ වනවිට එච්ඒ අතරමගය. ඔහු මහ වැස්සේ තෙමෙමින් කෙසේ හෝ පොත දොරට වැඩුමට පැමිණියේය. ඇතුළට පැමිණ වාඩි වෙන්නට වත් ඔහුට ඉඩක් නොලැබුණේ තෙත බේරෙමින් සිටි බැවිනි. එච්ඒ දොරටුව ළග සිට ගෙන දෙසුම්වලට සවන් දෙනු මට පෙනිනි. උත්සවය අවසන් වු පසු ‘ඇයි මචං තෙමි තෙමි ආවේ’ යැයි මම ඇසුවෙමි. ‘වැහි හතක් වැස්සත් යාළුවෙකුගෙ වැඩක් මං මග හරින්නේ නැතැ’යි යන්න එච්ඒගේ පිළිතුර විය. ඒ ඔහුගේ හැටිය.

එක්තරා චිත්‍රපටයක එච්ඒ රඟපෑවේ දේශපාලනඥයකුගේ චරිතයකි. ඔහු එහි තම පෙම්වතිය ලෙස රඟපෑ නිලිය සමග ආදර බස් දොඩන දර්ශනයක් වෙයි. දිනක් එච්ඒ හමු වූ විටෙක ‘මොකද බං උඹ අර ගෑනිත් එක්ක ගර් ගර් ගාලා කොටියෙක් වගේ ලව් කරන්නේ’ යැයි මම විහිඵවට ඇසුවෙමි. ඔහු මඳ වේලාවක් මා දෙස බලා සිට බක බක ගා මහ හඬින් සිනා සෙන්නට විය. ‘මට ලව් කරල පුරුදු නෑනේ මචං. ඒක වෙන්න ඇති’ කියා කීවේය.

එච්ඒ අවිවාහකයෙකි. ඔහු ජීවත් වූයේ තම මව සමගිනි. තම සොහොයුරියගේ දරුවන් වෙනුවෙන් ඔහු සිය ජීවිතය කැප කළේය. ජිවිතයේ අවසාන කාලයේ ඔහු පරාක්‍රම නිරිඇල්ල සමඟ එක්ව ජනකරළිය නාට්‍ය කණ්ඩායම නිර්මාණය කළේය. එය ප්‍රේක්ෂකයා තමන් ළගට කැඳවූවක් නොව වේදිකාව ප්‍රේක්ෂකයා වෙතට ගෙනගිය ව්‍යායාමයක් විය. නවකයන් සෙෳන්දර්යයෙන් පුරවාලන්නට අසනීප තත්ත්වයෙන් පසුවුවද ඔහු පසුබට වූයේ නැත.

1950 මැයි 10 දින මෙලොව එළිය දුටු එච්ඒ 2010 පෙබරවාරි 4 වැනිදා ජිවිතයෙන් සමු ගත්තේය. එවිට ඔහු 60 වැනි වියේ විය.

අද දවසේද කොටුවේ තරුණ ක්‍රිස්තියානි සංගමය දෙසට ඇවිද යන මට ටයිම්ස් මන්දිරය පැත්තේ සිට සිනාසෙමින් පැමිණෙන ඔහුගේ රුව මැවී පෙනේ. ඔහු හරියට ‘වානේ පන්නරය ලැබූ හැටි’ කෘතියේ පාවෙල් මෙනි. පාවෙල් පාදයක් අහිමිව ගියද රට වෙනුවෙන් යුද්ධයට ගියේ දැඩි ආත්ම ශක්‌තියක් ඔහු තුළ වූ බැවිනි. එච්ඒද දරුණු රෝගයක් හා සටන් වදිමින් සිටියද අවසන් මොහොත තෙක්ම දැඩි ආත්ම ශක්තියකින් හෙබි චරිතයක් විය.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා




Source link