December 4, 2021

Ada Rata

All news in one location

සුනන්ද දේශප්‍රියගේ 70 වෙනි උපන්දිනය



සුනන්ද දේශප්‍රිය ලංකාවේ දැන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ දේශද්‍රෝහියෙක් විදිහට. හැබැයි මම හොදින් දන්න විදිහට සුනන්ද මං තරම් දේශද්‍රෝහියෙක් නෙවෙයි. මම ඒක දන්නෙ මම සුනන්දත් එක්ක බොහොම කිට්ටුවෙන් වැඩ කරල තියෙන නිසා.

සුනන්ද කියනනෙ අතිශයින් විචිත්‍ර දේශපාලන ජීවන චරිතයක් හිමි කෙනෙක්.

මම සුනන්ද ගැන මුලින්ම දැනගත්තෙ ඒ සී අලස්ගෙ පොතෙන්. ඔහු 71 සන්නද්ධ කැරැල්ලේ ප්‍රධාන භූමිකාවක් කරනකොට ඔහුට වයස 20ක්වත් නැහැ. විශ්වවිද්‍යාලයට ආවට පස්සෙ සුනන්ද ගැන මට අහන්න ලැබුණෙ ජවිපෙන් ඉවත් වී පිහිටුවාගත් ජනතා සංගමයේ ප්‍රධාන භූමිකාවක් රගදැක්වූ කෙනෙක් විදිහට. 1986 අප්‍රේල් කැරැල්ලේ 15වන සංවත්සරය වෙනුවෙන් පළවූ රාවය සගරාවේ විශේෂ කලාපයට ඔහු ලියූ ලිපිය තමයි මම සුනන්දගේ මුලින්ම කියවූ ලිපිය. එය ඉතා මනරම් ලිපියක්. 71 තරුණ කැරළ කරුවාගේ මනස පිළිබද ඉතා අපූරු නියෝජනයක් ඒ ලිපියේ තියෙනව. ඒ කාලෙම මට ඔහු නිතර මුණ ගැසුන. මම ඔහු සමග කිට්ටුවෙන් වැඩ කරන්න පටන් ගත්තෙ 1988 දී ජවිපෙ විරෝධී වාමාංශිකයො එකතු වෙලා පිහිටුවාගත්ත “සමාජවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ ව්‍යාපාරය“ කියන දේශපාලන සංවිධානයේ ක්‍රියාකාරිත්වය තුළ. ඒ සංවිධානය පැවැතුනේ ඉතා කෙටිකලක් වුවත් ඒ තුළ ඉතා පොහොසත් දේශපාලන සංවාදයක් පැවැතුනා.

ඒ මගින් විශාල පිරිසක් සහභාගී වූ දේශපාලන සාකච්ඡා කදවුරු ගණනාවක් රටේ විවිධ තැන්වල පැවැත්වුවා. එහිදී මේ සාකච්ඡාව තුළ නිතරම මතු වූ දෙයක් තමයි බුද්ධිමය සාකච්ඡාව හා “ජනතාව සමග වැඩකිරීම“ අතර ගැටුම. මේ පාර්ශව දෙක දෙපැත්තට බෙදිල වගේ තමයි හිටියෙ. මම වැඩිපුර නැඹුරුවක් තිබුණෙ බුද්ධිමය සාකච්ඡාව පැත්තට. සුනිල් විජේසිරිවර්ධන දයාපාල තිරාණගම යසලාල් වන්නිආරච්චි ප්‍රගීත් එක්නැළිගොඩ වගේ අයට තමයි මම වැඩිය කැමති වුනේ. ඒත් මට උනන්දුවක් තිබුණ අනිත් පැත්ත එක්කත් වැඩ කරන්න. සුන්නද ගෙ ප්‍රෙව්ශය මට පෙනුනෙ මේ ප්‍රවණතා දෙක එකතු කරන්න දැරූ උත්සාහයක් ලෙසයි. ඒ නිසා මම සුනන්දට ගොඩක් කිට්ටු වුනා. සුනන්දගේ මෝටර් සයිකලයේ පිටිපස්සෙ වාඩිවී යාම මගේ නිරන්තර අත්දැකීමක් වුනා.

එවැනිම දේශපාලන කටයුත්තකට මෝටර් සයිකලයකින් යද්දී ඇද වැටීමෙන් තුවාල ලබා සිටියදී වරක් සුනන්ද ගේ මොටර් සයිකලයේ යද්දී නැවතත් අපි දෙදෙනා ම අනතුරට භාජනය වුනා.

අපි ඒ කාලෙ බොහොම අවධානම් සහගත දේවල් කලා. අපි ඒ කාලෙ රහසිගතව “පතුළ“ කියල ඉතා තදින් ජවිපෙ විරෝධී පුවත්පතක් පළ කලා. ඒව රට පුරා ලිපින වලට තැපැල් කලා. සුනන්දයි මමයි ඒවා සිය ගණනින් බෑග්වල දමාගෙන කොළඹ පුරා ලියුම් පෙට්ටිවලට ඒවා පුරවමින් ගියා.

මේ පුවත් පතට ලිවීම මගින් තමයි මගේ පුවත්පත් මාධ්‍ය හැකියාව වැඩි දියුණු වුනේ. ඊට කලින් “රණහඩ“ කියල ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ටැබ්ලොයිඩ් පුවත්පතට දීර්ඝ ලිපි ලියා පුරුද්දක් තිබුණත් පුවත්මය වාර්තා ඊට ඇතුළු වුනේ නැහැ. සුනන්දට හොද හැකියාවක් තිබුණ පුවත් වාර්තා ලියන්න. ඔහු ජාත්‍යන්තර පුවත්පත් සගරා කියවා ඒවා ආශ්‍රෙයන් වාර්තා ලිවීමට විශාල උනන්දුවක් දැක්වූවා. ඔහුගේ ඒ නැඹුරුව මටත් ඉංග්‍රීසි බසින් කියවීමට උත්සාහ කිරීමට උනන්දුවක් ඇති කලා.

මේ සම්බන්ධය වැඩි දියුණු වුනේ “ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සදහා වූ ව්‍යාපාරය“ නැතහොත් මර්ජ් කියන සංවිධානයේ කුඩා පුවත් සංග්‍රහය වූ “යුක්තිය“ ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත් පතක් කිරීමට තීරණය කිරීමත් සමගයි. එහි ආරම්භක කණ්ඩායමට මමත් අයත් වුනා. කණ්ඩායමේ අනිත් අය වුනේ සීතා රංජනී හා කුසල් පෙරේරා. කුසල් තමයි ලේ අවුට් වැඩ එහෙම කළෙ මුල් කලාප දෙකේ විතර.

මට බාරදුන්න ඒ කාලයේ මියන්මාරයේ දියත් වී තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය පිළිබදව වාර්තාවක් ලියන්න. අන්තර්ජාලය නොතිබුණු ඒ කාලෙ සුනන්ද මට කියවන්න කියල ඉංග්‍රීසි සගරා කීපයක් දුන්න. ලේසිවුනේ නැහැ. දවස් ගාණක් දිවා රෑ නැතුව මහන්සි වෙලා දිග ලිපියක් ලිව්ව. ඒක මං හිතන්නෙ විශ්වවිද්‍යාලෙ නිබන්ධනයක් වගේ වෙන්න ඇති. සුනන්ද ඒක සම්පූර්ණයෙන්ම නැවත ලියල පළ කලා. පළ වුනේ මගේ නමින් වුනත් ඇත්ත වශයෙන්ම ඒක සුනන්දගේ ලියවිල්ලක් ලෙසයි නම් කරන්න පුළුවන්. කොහොම වුනත් මට කලාප දෙක තුනක් යනකොට පුවත් පත් වාර්තා ලිවීමේ ක්‍රමය ටිකක් වැඩිදුයුණු කරගන්න පුළුවන් වුනා. ඒත් මම වැඩි පුර ලිව්වෙ දීර්ඝ ලිපි. සුනන්දට අවශ්‍ය වුනේ සාමාන්‍ය පුවත් පතක් කරනවට වඩා ප්‍රවෘත්තිමය අඩංගුව හා බුද්ධිමය අඩංගුව එකතු කරන එවකට දියත් වෙමින් තිබුණ ප්‍රජාතනත්‍රවාදී ව්‍යාපාරයේ ප්‍රචාරක හා බුද්ධිමය අවියක් විය හැකි, එලෙසම සම්ප්‍රදායික වාමාංශික ප්‍රචාරකවාදී පුවත් පත් කලාවෙන් ඔබ්බට ගිය පුවත් පතක් ලෙස යුක්තිය පුවත් පත ඉදිරියට ගෙනයන්න. ඒක තරමක් සාර්ථක වුන බව කියන්න පුළුවන්.

ඒ වගේම සුනන්දමත් උත්සාහ කළා දියත් වෙමින් තිබුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ක්‍රියාකාරී මැදිහත් කරුවෙක් වෙන්න.

විශේෂයෙන් සම්ප්‍රදායික වාමාංශික දේශපාලනයේ ඉතා වැදගත් අංග උකහාගෙන අළුතෙන් වර්ධනය වූ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පෝෂණය කිරීමට ඔහුට උනන්දුවක් තිබුණ. මං හිතන්නෙ ඒ ඉතිහාසය දිගට ලිවිය යුතු එකක්.

1971 සිට ලංකාවේ දේශපාලනය ලියනවානම් සුනන්දගේ චරිතාපදානය එය ලිවිය හැකි එක් වැදගත් ආකාරයක්.

– මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි 

RN




Source link