October 28, 2021

Ada Rata

All news in one location

සිය ජන්ම දිනය වෙනුවෙන් හිටපු ජනපතිනිය තැබූ ෆේස්බුක් සටහන


සිය 76වන ජන්ම දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කළ සියලුදෙනාට ස්තූතිය පිරිනමන බව ෆේස්බුක් සටහනක් තබමින් හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසනවා. හිටපු ජනාධිපතිනියගේ ජන්ම ඊයේ (29) දිනට යෙදී තිබුණා.

තමා මිය ගිය දිනක තමා විසින් කළ කී දෑ අනාගත පරපුරට ආදර්ශයක් කරගත හැකි නම් එය තම එකම සතුට වන බව ද හිටපු ජනාධිපතිනිය සිය සටහනේ සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

“මට දැන් අවුරුදු හැත්තෑ හයක්. මීට අවුරුදු හැත්තෑ හයකට කලින් මම මේ ලෝකයට ආවේ තනියම. හිස් අතින්. මම විතරක් නෙවෙයි අපි කවුරුත් එහෙමයි. කවදාහරි යන්නෙත් තනියම. හිස් අතින්. එහෙත් අපි ආපහු මේ ලෝකෙන් යන දවසට තව එක දෙයක් අරගෙන යනවා. ඒ තමයි අපේ ජීවිත කාලය පුරා අපි කල කී දෑ අනුව ඉතිරි වූ හොඳ නම හෝ නරක නම.

මේ යතාර්ථය මම කුඩා කාලේ ඉදන්ම තේරුම් ගත්තා. මේ ජීවිත කාලයේදී අපේ ජීවිත ආලෝකමත් කරගැනීමට මෙන්ම මේ ලෝකය වඩා හොඳ තත්ත්වයට පත්කිරීමටත් අපි බැඳී සිටිනවා. මම මගේ ජීවිත කාලය පුරා උත්සාහ කළේ ඒ යුතුකම හැකි උපරිමයෙන් ඉටු කරන්න. මගේ ජීවිත කාලයේදී මම මේ රට වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන්, වගේ ම ලෝකය වෙනුවෙන් යමක් කලා නම් ඒ සියල්ලක්ම කළේ මේ ලෝකය වඩා හොඳ තැනක් කරන්න. කවදා හරි මා මිය ගිය දවසක මා කළ කී දෑ අනාගත පරපුරට ආදර්ශයක් කරගත හැකිනම් මගේ සතුට එපමණයි.

උපන් දින සුබ පැතුම් පිරි නැමූ සැමට ස්තූතියි !”

-උපුටා ගැනීම අවසන් –

1945 ජූනි මස 29 දින උපත ලද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රි ලංකාවේ හතර වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර 2005 වර්ෂය අවසානය වන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කරනු ලැබුවා.

 



Source link