December 4, 2021

Ada Rata

All news in one location

සියළුම අධිවේගී මාර්ග වලට ETC ගෙවීමේ ක්‍රමය හඳුන්වාදීමට අවධානය


අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම සඳහා විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය ( ETC ) වෙනුවෙන් භාවිතා කරන පෙරගෙවුම් කාඩ් පත්, වාහන වායු විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථානවලින් ( Vehicle Emission Test Centre ) නිකුත් කිරීමට හැකියාව තිබේදැයි සොයා බලන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

දැනට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පමණක් විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය භාවිතා කරනු ලබන අතර ඒ සඳහා වන ETC පෙරගෙවුම් කාඩ් පත් දැනට නිකුත් කරනු ලබන්නේ සීදුව, ජා ඇල සහ කැලණිය තොරණ හංදියේ පිහිටි අධිවේගී මාර්ග කාර්යාල වලින් පමණයි.

ඉදිරියේ දී කෙරවලපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සහ අනෙකුත් අධිවේගී මාර්ගවල ඇති අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වලද විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය ( ETC ) ස්ථාපිත කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ජනතාවට පහසුවෙන් පෙරගෙවුම් කාඩ් පත් ලබා ගැනීමට හැකිවන පරිදි වාහන වායු විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථානවලින් මෙම ETC පෙරගෙවුම් කාඩ්පත නිකුත් කිරීමට අපේක්ෂා කරනවා.

දෛනිකව අධිවේගී මාර්ග භාවිතා කරන්නන් අතර මුදල් ගෙවීම සඳහා විද්‍යුත් මුදල් ගෙවීමේ ETC පෙරගෙවුම් කාඩ් පත් ක්‍රමය ප්‍රචලිත කිරීම තුළින් අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල පවතින මාර්ග තදබදය අවම කර ගැනීමට මෙමගින් බලාපොරොත්තු වනවා.

ඉදිරියේදී සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මගින්ද ETC ගිණුමට මුදල් බැර කිරිමට අවශ්‍ය කටයුතු සලසා ජනතාවට කඩිනම් සේවයක් ලබා දිමට කටයුතු කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
(colombotimes.lk)

Viber



Source link