October 18, 2021

Ada Rata

All news in one location

සිනා පිපෙනා මේ වසන්තේ



කරුණාරත්න සපුතන්ත්‍රි ලියූ “ගංගා සහ නිස්සංක” නවකතාව ඉස්සර සිළුමිණ පත්තරේ කොටස් වශයෙන් පළවුණා. සපුතන්ත්‍රි කාලයක් වැඩ කළෙත් ලේක්හවුසියෙ. මේ කතාව ටිකක් දේශපාලනික සිදුවීමවලට හැරෙද්දි ඒක පත්තරෙන් නතර වුණා. ඔය කාලෙ දකුණෙ කැරැල්ලත් එක්ක ඇතිවුණ ප්‍රශ්න, පත්තරවලටත් බලපාලයි තිබුණෙ. කොහොම හරි පස්සෙ කාලෙ නවකතා පොතක් හැටියට පාඨකයන්ට මුළු කතාවම කියවන්න අවස්ථාව සැලසුණා.

මේ කතුවරයා පසුකාලෙකදි ජීවිතක්ෂයට පත්වුණේ උතුරේ යුද වාර්තාකරණයට යාපනය බලා යන අවස්ථාවක පලාලිය අසලදි ඇන්ටනොව් ගුවන් යානය අනතුරට පත්වීමෙන්. ඒ 1995 අප්‍රේල් 29 වෙනිදා. එතකොට ඔහු සිළුමිණ සමකර්තෘ විදිහටයි කටයුතු කළේ.

“ගංගා සහ නිස්සංක” නවකතාව ඇසුරෙන් ටෙලි නාට්‍යයක් නිපදවන්නට බර්මින් ලයිලි ප්‍රනාන්දු තීරණය කරන්නෙ එහි ජනප්‍රියත්වය නිසා. ඔහු නිස්සංකගේ චරිතය නිරූපණය කරන්න මුලින්ම තෝරාගන්න හිතුවෙ කීර්ති පැස්කුවෙල්ව. ඒක කීර්ති දැනගත්තෙත් මේ ළඟකදි.

කොහොම වෙතත්  ගංගාටයි නිස්සංකටයි රෝහණ වීරසිංහ සහ චන්ද්‍රලේඛා පෙරේරා තෝරා ගත්තා. මේ යෝජනාව රෝහණට ඉදිරිපත් කළාම ඔහු තමයි කීවේ “මට වඩා ලක්‍ෂමන්  මේකට හරි යයි” කියල. අන්තිමට  “නිස්සංකට” ලක්‍ෂමන් විජේසේකර තෝරා ගැනුණා. ඒ වෙනකොට ලක්‍ෂමන් “රේඛා” ටෙලි නාට්‍යයෙත් රඟපාල ටෙලි නළුවෙකු විදිහට ජනප්‍රිය වෙලා හිටියෙ. “ගංඟා” වුණේ චම්පා ශ්‍රියාණි.

ජනප්‍රිය ගී පද රචක කුමාරදා​ස සපුතන්ත්‍රි කියන්නෙ කරුණාරත්​න සපුතන්ත්‍රිගේ ඥාති සොහොයුරා. මේ කතාවට පසුබිම වෙන්නෙත් ඔවුන්ගෙ ගම් පළාත වන බේරුවල ආශ්‍රිත ගමක්. බර්මින් මේ ටෙලි නාට්‍යයේ තේමා ගීතය ලියන්න ආරාධනා කරන්නෙ සපුට. ඒ කාලෙ වෙනකොට දකුණෙ භීෂණය උග්‍ර අතට පත්වෙලා. හමුදා සේවයෙ ඉන්න උදවියටත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් මරණ තර්ජන එල්ල වෙලා තිබ්බෙ. ඉතින් “රන්මලක් ලෙස” ගීය ලියපු සපුටත් හමුදාව උත්කර්ෂයට නංවනවා කියල වක්‍ර තර්ජන නොතිබුණා නෙමෙයි. ඒ වුණාට සපුත් පරණ ජවිපෙ සාමාජිකයෙක්. ඒක වෙනම කතාවක්. කොහොම හරි මේ ගීතය ලියවගන්න සපුව හමුවෙන්න බර්මින්ට යන්න වුණෙත් රහසිගතව. රාජගිරියෙ තැනකදි මේ වැඩේ සපූට පැවරෙනව. ඔහු මොන මරණ භය මැද්දෙ හිටියත් ගීතය අපූරුවට රචනා කළා.

“ගංගා සහ නිස්සංක” රංගනයට අමතරව එහි සංගීත අධ්‍යක්ෂණයටත් තෝරාගෙන තිබුණෙ ලක්‍ෂමන් විජේසේකරව. ඔහු ඉතා මධුර තනුවක් මෙහි තේමා ගීතයට නිර්මාණය කළා. බර්මින් ලකීට කියනවා මේ ගීය ගයන්න අලුත් ළමයෙක් ගමු කියල. ඒ කාලෙ සමිතා එරන්දතී මුදුන්කොටුව කියල අලුත් ළමයෙක් ගැයූ ගීයක් ගුවන් විදුලියෙන් බර්මින් අහල තිබුණ. ඒ අනුව තමයි ඇයට මේ අවස්ථාව හිමිවෙන්නෙ.

එතකොට සමිතා පාසල් යන බාලිකාවක් ඈ ගීය පටිගත කරන්නට මැදිරියට එන්නේ පාසල් නිල ඇඳුම පිටින්. මයික්‍රොෆෝනයටවත් උස නැහැ. පසුකාලෙ සමිතට මධුර ගී තනු රැසක් නිර්මාණය කළ රෝහණ වීරසිංහ සමිතව දකින්නෙත් එදා. දිනය හරියටම 1989 ජුනි 05. සමිතා මයික්‍රොෆෝනයට උස නැති නිසා බංකුවක් උඩ නැගල තමයි ගීය ගායනා කළේ. එදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මඟින් ලංකාවටම නොනිල ඇඳිරි නීතිය පනවල තිබුණු දවසක්. හැමෝම පටිගත කීරීම් වලට ආවෙ හොර පාරවලින්. නෙලූ ශබ්දාගාරයෙ එදා රෑ පටිගත කිරීම් කෙරුණෙත් හොරාට. අවදානමක් ඇතිව. ඒ සියල්ල මැද වැඩේ අකුරටම කෙරුණා. හැමෝම ඉහළින්ම තෘප්තිමත්. ඒ ගීය තමයි “සිනා පිපෙනා” නමින් අදටත් අපි ආසාවෙන් අහන්නෙ.

© නිලාර් එන්. කාසිම්




Source link