October 19, 2021

Ada Rata

All news in one location

සජබෙන් එළියට බැස්සාද ? කා එක්කද ඉදිරියට යන්නේ ? පක්ෂයේ නම මොකක්ද ?



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකත්වය සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති බැවින් ශ්‍රීලනිප පාක්ෂිකයින් සහ සියලුම වාමාංශික කොටස් එකතු කරගෙන දේශපාලන බලවේගයක් ගොඩනැඟීම සඳහා “අපි ශ්‍රී ලංකා” යන නමින් පෙරට එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. 

ප්‍රශ්නය – දැන් ඔබ මේ පක්ෂය පිහිටුවලා කා එක්කද මේ ගමන යන්න හදන්නෙ ? 

“මම හොඳ ඔරිජිනල් ශ්‍රී ලංකා කාරයෙක්. නමුත් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ගිහිල්ලා හේත්තු වෙලා තියෙන්නෙ පොහොට්ටුවත් එක්ක. දැන් පොහොට්ටුවේ වුවමනාවට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන්නෙ. ඉතිං කිසි කෙනෙකුට ශ්‍රීලනිපයේ ඉන්න ප්‍රධානීන් සම්බන්ධව කිසි විශ්වාසයක් නෑ. ඒ නිසා තමයි මම කල්පනා කළේ අවුරුදු 40ක් ශ්‍රීලනිපයේ ඉන්න කෙනෙක් හැටියට අපි පක්ෂයක් හදන්න ඕනෙ කියලා. අපි හැදුවා. ඒ එක්කම ශ්‍රීලනිපය ආණ්ඩුවට හේත්තු වුණාම මම ඡන්දය ඉල්ලුවේ මගේ පක්ෂය “නව ලංකා නිදහස් පක්ෂය” ගිහිල්ලා සමගි ජන බලවේගයත් එක්ක එක්කහුවෙලා සන්ධානගත ගිවිසුමක් ගහලා ඒ ඔස්සේ සජබෙන් ඡන්දෙ ඉල්ලලා මම පාර්ලිමේන්තුවට ගියෙ. ඒ සන්ධානගත වෙච්ච ගිවිසුම තවමත් වලංගුයි. තවමත් ඒක තියෙනවා. 

මම යන්නෙ දැන් තනියම, මොකද අපේ කට්ටියත් එක්ක වමේ බලවේගයක් ගොඩනගන්න – වම විතරක් නෙවෙයි වම දකුණ දෙකම – ගොඩනඟාගෙන යන්නෙ ඉදිරියේදී. නැත්නම් මේ මිනිස්සුන්ට යන්න තැනක් නෑනෙ. කොහාටද යන්නෙ ? ඉතිං මම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් හැටියට තමයි අදත් කටයුතු කරන්නෙ. මට සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි ඒ ඉල්ලන්න අවසරය දුන්නෙ ඒ වෙලාවෙ. අපි සන්ධානගත වෙලා වෝටර්ස් එජ් එකේ රැස්වීමක් තියලා ගිවිසුමක් අත්සන් කරලා තමයි අපි සජබෙන් ඉල්ලුවෙ. මං විතරක් නෙවෙයි මගෙ කණ්ඩායමෙන් 9 දෙනෙක් ඉල්ලුවා අපේ පක්ෂයෙන්. 

දැන් අපි අලුත් පක්ෂයක් හැටියට – අලුත් කියන්නෙ පරණ පක්ෂයම තමයි, අලුත් මුහුණුවරක් හැටියට අපි යනවා “අපි ශ්‍රී ලංකා” කියලා. මේ “අපි ශ්‍රී ලංකා” කියන පක්ෂය තමයි දැන් ඉදිරියට මගේ නායකත්වයෙන් ගෙනියන්නෙ”

ප්‍රශ්නය – ඒකෙ ඉන්න අය කවුද කියලා කියන්න පුළුවන්ද ? 

“ඒකෙ ඉන්න අය මං කියන්නම්. දැන් මේ වෙලාවෙ මට කියන්න බැහැ. මේ සංචරණ සීමා ඉවත් කළාට පස්සෙ අපි සම්පූර්ණ ගම්වලට යන්න බලාපොරොත්තු වෙනවා. ඒක සැලසුම් කරලා තියෙන්නෙ. දැනට අපි සූම් තාක්ෂණය මගින් සංවිධානය වෙනවා. සංචරණ සීමා ඉවත් කළාට පස්සෙ අපි එළියට බහිනවා, එතකොට බලාගන්න පුළුවන් වෙයි” 

ප්‍රශ්නය – මේ තුනෙන් දෙකක බලයක් තියෙන ප්‍රබල රජයක් ඉන්නෙ. ඔබතුමන්ලාට හැප්පෙන්න පුළුවන්ද ? 

“රජය ප්‍රබල වුණාට දැන් වැටිලානෙ තියෙන්නෙ බිමටම. රජය ප්‍රබල වුණාට වැඩක් නැහැ රජය අප්‍රසාදයට පත්වෙලා තියෙන්නෙ මුළු ලංකාවෙම. හොඳක් කියන එකෙක් හොයාගන්න ඉන්නවද ? 69 ලක්ෂයේ ඡන්දෙ දීපු එකෙක්වත් නෑ. එතකොට මේ රජය කොහොමද ප්‍රබල වෙන්නෙ ? මන්ත්‍රීවරු ඉන්න බව ඇත්ත. ඒ ඇතුළෙත් එක එකා කුළක් කාගන්නවානෙ. දැන් කණ්ඩායමක් ආණ්ඩුවට විරුද්ධව කතා කරනවා, තවත් කට්ටියක් පක්ෂව කතා කරනවා. ඉතිං කොහොමද ප්‍රබල වෙන්නෙ ? 145ක් ඉන්න එක ඇත්ත, නමුත් මතක තියාගන්න මේක ඇතුළෙ සන්ධානගත වෙලා ඉන්න පක්ෂවල මන්ත්‍රීවරු 30කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. හොඳට මතක තියාගන්න, මේක පිපිරෙන්න හුඟක් ළඟයි. ඒක නිසා මේක දුර්වල ආණ්ඩුවක් හැටියටයි මම නම් දකින්නෙ” 

ප්‍රශ්නය – මේ අලුත් පක්ෂයට නායකත්වය දෙන්නෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියද ? 

“මැතිණිය දැන් ඉන්නෙ එංගලන්තෙ. ඒ කියන්නෙ මුහුදෙන් එහා. ඒක හින්දා පොඩ්ඩක් ඉමු ආපහු එනකල්. දැනට මට කියන්න බැහැ. මුහුදෙනුත් එහා ඉන්න කෙනෙක් ගැන මට කියන්න බෑනෙ. නමුත් අපට අපි SWRD බණ්ඩාරනායක මහත්තයාගෙ ප්‍රතිපත්ති මත යන පක්ෂයක් හැටියට, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ආරක්ෂා කරපු ප්‍රතිපත්ති ඇති පක්ෂයක් හැටියට, චන්ද්‍රිකා නෝනාගෙත් එතුමියගෙ දෙමව්පියන් වගේම එතුමියටත් මං හිතන්නෙ ලොකු වගකීමක් තියෙනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න. ඉතිං අපි මේ එළියට බැහැලා තියෙන්නෙ එදා බණ්ඩාරනායක මහත්තයලා මැතිණියලා හදපු ඒ පක්ෂය දැන් මහජනතාවගෙන් ඈත්වෙලා යනවා. මොකද ඉන්න නායකයො ගත්ත මෝඩ තීන්දු නිසා. ඒ පක්ෂය නැවතත් ඉදිරියට ගෙනියන්න අපෙ හයිය දෙන්න තමයි මේ යන්නේ” 

ප්‍රශ්නය – එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාවත් එකතු කරගන්නවාද ?

“එයා ඉතිං … බලමු, ඔක්කොම එන්න වෙනවානෙ කොහොමත්. අපි මේ ගමන ආරම්භ කෙරුවායින් පස්සේ ඔක්කොම වමේ බලවේගය අපිත් එක්ක එනවා. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඇතුළු ඒගොල්ලන්ටත් එන්න සිද්ධ වෙයි”

ප්‍රශ්නය – ආරංචියක් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේකෙ සමනායකත්වයට එනවා කියලා ? 

“නෑ, නෑ, දැනට එහෙම නෑ. දැනට එහෙම මොකුත් නැහැ. ඉදිරියේදී අපි බලමු. මේ පක්ෂය හොඳට ඉස්සරහට යනවා. අර පොහොට්ටුව කොහොමද නැගිටලා ගියෙ ? පොහොට්ටුව නැගිට්ටෙව්වෙත් අපිනෙ ? ඒ වගේ තමයි මේ “අපි ශ්‍රී ලංකා” පක්ෂයත් ඉදිරියට හොඳට නැගලා ඉස්සරහට යනවායි කියන එක මම කියන්න ඕනෙ. 

සමගි ජන බලවේගය හොඳ පක්ෂයක්. සමගි ජන බලවේගයේ නායකයා බොහොම හොඳ කෙනෙක්. ඒවගේම සජබට මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉන්නවා. මං හිතන්නෙ සමගි ජන බලවේගයට අනාගතයක් තියෙයි. මොකද එක්සත් ජාතික පක්ෂයේ අයට යන්න තැනක් තියෙන්නෙ සමගි ජන බලවේගය නෙ. මම ශ්‍රී ලංකා කාරයෙක් හැටියට වමේ මිනිහෙක් හැටියට මම ශ්‍රීලනිපය ලොකුයි වගේම එක්සත් ජාතික පක්ෂයේ අයට මේ සමගි ජන බලවේගය ඉතාම වටිනා පක්ෂයක්” 

ප්‍රශ්නය – මේ අලුත් පක්ෂය ඊළඟ මැතිවරණයේදී සජබ එක්ක එකතු වෙනවාද ? 

“ඒක ඒ කාලෙට බලමු. දැන් නෙවෙයිනෙ, ඊළඟ ඡන්දෙ කවදද තියෙන්නෙ ? සාමාන්‍ය ආණ්ඩුව පෙරළුණෙ නැත්නම් 2024නෙ තියෙන්නෙ. දැන් මේ ඇවිල්ලා 2021. අපි එතකල් සංවිධානය වෙලා යං”

ප්‍රශ්නය – අතහරින්නෙ නෑ සමගි ජන බලවේගය ? 

“සමගි ජන බලවේගයේ මං මන්ත්‍රීවරයෙක් නෙ. ඒක කවුරුත් දන්නවානෙ. ඒක නිසා ප්‍රශ්නයක් නෑ” 

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ ඊයේ (30) දිනයේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි. 

RN




Source link