December 4, 2021

Ada Rata

All news in one location

ශලිනි එක්ක රඟපාන්න ලැබුණෙ වාසනාවට. ඒ ආදරේට ඇත්තටම මම ටිකක් බයයි.


ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණයෙන් සහ මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ රචනයෙන් සිරස tv ඔස්සේ පුංචි තිරයට එන කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ ඔබ ආදරය කරන ‘නිර්වාන්ගේ’ චරිතයට පණ පොවන සචින් ලියනගේ සමග කතාබහක් සතිඅන්ත පුවත්පතකට මේ විදිහට එකතු කරලා තිබුණා.

මේ දිනවල නිර්වාන්ගේ ආදර කතාව හරි ප්‍රසිද්ධයි. ඒ ආදරේ කොයි පැත්තට යයි ද?

නිර්වාන් දිගැසිව අතාරිවි ද ස්නේහට ආදරේ කරාවිද? කොහොමද ප්‍රේම කතාවේ තත්ත්වය කියලා නිර්වාන්ගෙන් අහන්න හිතුවා.

ඇත්තටම ප්‍රේමවන්තයෙක් විදිහට මාත් ලොකු අර්බුදයක තමයි ඉන්නේ. ස්නේහා එක පැත්තකින් දිගැසි එක පැත්තකින් මම අර්බුද ගොඩකට මැදිවෙලා ඉන්නේ.

ඇත්තටම ප්‍රේක්ෂකයෝ ගොඩක් ආසාවෙන් කුතුහලයෙන් මේ දවස්වල ටෙලි නාට්‍ය බලනවා. ලැබෙන ප්‍රතිචාර දුරකතන ඇමතුම්වලින් ඒක තේරෙනවා.

කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය එක තැනක දී අතරමග නතර වෙනවා. නැවත අලුත් ආරම්භයක් අරගෙන දින කිහිපයක් වුණත් ප්‍රතිචාරවල අඩුවක් දකින්න ලැබෙන්නේ නැහැ.

ඒ ප්‍රේක්ෂක ආදරේ ගැන මොක ද දැනෙන්නේ?

අපේ සාර්ථකත්වයේ මූලික දේ තමයි මේ නාට්‍යය කණ්ඩායමේ අධ්‍යක්ෂවරයාගේ සිට හැම කෙනෙක් තුළම තියෙන එකමුතුව.

එක පාරටම ටෙලි නාට්‍ය නතර වෙලා නැවත ආරම්භයක් ගනිද්දී ප්‍රේක්ෂක ප්‍රතිචාරය කොහොම වේවිද කලින් ලැබුණු ප්‍රතිචාරය ලැබේවි ද කියලා අභියෝගයක් තිබුණා. තව දෙයක් තමයි කතාව ගලාගෙන ගිහින් නතර වුණේ විශේෂ තැනක. ඒක තමයි දිගැසි ස්නේහා නිර්වාන්ගේ ආදර කතාව. මිනිස්සු තුළ කුතුහලයක් තිබුණා මේක බලන්න.

ටෙලි නාට්‍ය අතරමග නතර වුණත් අපි හරි තැනින් නැවත ආරම්භයක් ගත්තා කියලා ලැබෙන ප්‍රතිචාර වලින් දැනෙනවා.

මේ නාට්‍යයේ චරිත දෙකක් කරන එකම කෙනා ඔබ. නිර්වාන් සහ අනුන්තර නවකයෙක් විදිහට මේ චරිත දෙක අභියෝගයක් වුණේ නැද්ද?
මුලින්ම කියන්න ඕන මගේ පළමු රංගන දායකත්වය අහස් මාලිගා ටෙලි නාට්‍යය.

කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය මගේ දෙවැනි ටෙලි නාට්‍ය වගේම ප්‍රධාන චරිතයක් කරන පළමු අවස්ථාව.

රංගන කලාවේ අධුනිකයෙක් විදිහට ප්‍රධාන චරිතයක් කිව්වම මුලින් චකිතයක් බයක් දැනුණා. චරිත දෙකක් නිරූපණය කරන්න වුණාම ඒ අභියෝගය දෙගුණ තෙගුණ වුණා. ධනුෂ්ක අයියා මේකට මට කතා කරද්දීම මල්ලි චරිත දෙකක් කරන්න තියෙනවා කියලා කිව්වා.

නිර්වාන් අනුන්තර කියන්නේ එකිනෙකට වෙනස් චරිත දෙකක්. ඒකත් එක්ක චරිත දෙකට මට ගොඩක් මහන්සි වෙන්න වුණා. මම නවකයෙක් විදිහට මට එක එක දේවල් ඉගෙන් ගන්න හොඳ අභියෝගයක්. නවක නළුවෙකුට ප්‍රධාන චරිතයක් කියන්නේ හීනයක්. අද ඒ හීනය ඇතුළේ මම ජීවත් වෙනවා.

ඉතින් මේ චරිත දෙක ගත්තම වැඩිපුරම ආදරේ ලැබෙන්නේ, ප්‍රතිචාර ලැබෙන්නේ රෙදි මොලවත්තේ නිර්වාන්ට. අනුත්තරාට නම් බැනුම් තමයි ලැබෙන්නේ.

මේ නිර්වාන් හරහා සමින්ගේ ජීවිතේට ලැබුණු දේවල් තියෙනවාද?
මම වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ සහ ටෙලි නාට්‍යයක වැඩ කරලා තිබුණට මිනිස්සු මාව දැනගෙන හිටියේ නැහැ.

ඒ හරහා මිනිස්සු අතරට ගියාම රැඳෙන්න මට බැරිවුණා. මිනිස්සු අතර රැඳෙන්න ප්‍රේක්ෂක ආදරේ බලන්න මට වාසනාව දුන්නේ නිර්වාන්ගේ චරිතය. දැන් සචින් කියනවට වඩා හැමෝම දන්නේ කතාකරන්නේ නිර්වාන් කියලා.

මේ හැමදේටම මම ස්තුති කරන්න ඕන කියා. දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ධනුෂ්ක අයියා.

මහේෂ් අයියා, දුලිකා අක්කා, ප්‍රියන්ත අයියා කොඩිතුවක්කු සර්, මීනා අක්කා මේ අයට විශේෂයෙන් අලුත් කෙනෙක් ප්‍රධාන චරිතයක් කරන ටෙලි නාට්‍යයක. ඒ වගේ පුද්ගලයන් වගකීම ගන්න කියන්නේ ඒක මට මාර සතුටක්. මම ගොඩක් වාසනාවන්තයි. ශලිනි අක්කා වගේ කෙනෙක් එක්ක රඟපාන්න ලැබුණු එකට.

ශලිනි කියන්නේ මට ජීවිතේ මුණ ගැහුණු ඉතාම හොඳ මිතුරියක්. මේ චරිතය තුළ මට වැරදෙන දේවල් මම වරද්දන දේවල් හදාගත යුතු තැන් ගොඩක් දේවල් මට කියලා දෙන්නේ ශලිනි අක්කා. මේ චරිත දෙකේ මොන විදියකට හරි සාර්ථකත්වයක් තියෙනවා නම් ඒ ඇයගෙන් ලැබුණු සහයෝගය නිසාම තමයි.

සචින්ගේ ජීවිතේට නිර්වාන්ව දැනෙන්නේ කොහොම ද?
සමිනුත්, නිර්වාන් වගේම ජීවිතේ දුක් විඳලා කට්ට කාලා තමයි අද මෙතනට ඇවිත් තියෙන්නේ. ඒ නිසා සමහර ​දේවල්වල දී නිර්වාන් මගේ ජීවිතේට ගොඩක් සමීපයි.

සචින් කොහොම ද මෙතැනට එන්නේ කලාව තෝරගන්න විශේෂ හේතුවක් තිබුණ ද?
රංගනය මම තෝර ගත්තේ නැහැ. පාසල් කාලයේදිවත් මම නළුවෙක් වෙන්න හිතලාත් නැහැ. එහෙම දක්ෂතාවයක් මගේ තුළින් මම දැකලා තිබුණෙත් නැහැ.

රඟපාන්න මට අවස්ථාව ලැබෙන්නේ නොහිතපු විදිහට. මගේ හිතවත් අයියා කෙනෙක් ඉන්නවා රසාංග ඩී සිල්වා කියලා ඔහු ගායකයෙක්. එයත් එක්ක මම දවසක් ශ්‍රී ටීවී එකට යනවා ඒ අයියාගේ ගීතයක් බාර දෙන්න. එයාගේ ග්‍රෝගෑම් එක ඉවර වෙනකම් මම ඉඳගෙන ඉන්නකොට ඒ අතරේ දී ශ්‍රී ටී. වී. එකේ සුජිත් අයියා මගේ ළඟට ඇවිත් ඇහුවා මියුසික් වීඩියෝ එකකට ඉන්න පුළුවන් ද කියලා.

පස්සේ මම ඒ වැඩේට ගියා. ඔයා වගේ තව කෙනෙක්. කියන ගීතයේ මට තිබුණේ දුෂ්ඨයාගේ චරිතය කරන්න. ඒක තමයි මම කැමරාවක් ඉදිරියේ රඟපෑ පළමු අවස්ථාව.

නළුවෙක් නොවුනානම් සචින්ට මොකක්ද තිබුණු අරමුණ

පාසල් කාලේ ඉඳලා ක්‍රිකට් ක්‍රීඩාව තමයි මගේ ජීවිතේ වෙලා තිබුණේ. නළුවෙක් නොවුනානම් අනිවාර්යෙන්ම මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා.

අවාසනාවකට මට අවුරුදු 16දී තාත්තා නැති වීමත් එක්ක පවුලේ එකටම පිරිමි දරුවා විදිහට මට රැකියාවක් කරන්න වෙනවා. ඒ නිසා මට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වෙන්න වෙනවා. කොච්චර කරත් මට ක්‍රිකට් ජීවිතෙත් අතාරින්න බැහැ. දැනටත් මම ක්ලබ් එකක සෙල්ලම් කරනවා.

සචින්ගේ පවුලේ තොරතුරු ටිකකුත් කියමු
මගේ පදිංචිය වත්තල. පවුලේ අක්කලා තුන්දෙනයි මායි අම්මයි ඉන්නේ. මට අවුරුදු 16දී තාත්තාගේ අභාවයත් එක්ක ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා. පොඩි වයසක දී මට එකම පිරිමි දරුවා විදිහට ගෙදර වගකීම ගන්න වුණා. හැමදේම පැත්තකින් කියලා මම රැකියාවක් කරන්න ගියා.

මුලින්ම වැඩ කළේ චයිනා හාබර් එකේ ටලි ක්ලාක් විදිහට. එතැන ඉද්දී තමයි මියුසිස් විඩියෝවකින් මගේ දෛවය වෙනස් වුණේ. ජීවිතේ ගොඩක් ප්‍රශ්නවලට කඩා වැටීම්වලට මූණ දුන්නා. මගේ පොඩි අක්කාත් හදිසියේම නැතිවුණා. අනිත් අක්කලා දෙන්නා විවාහ වෙලා ඉන්නවා. දැන් මමයි අම්මයි පොඩි අක්කාගේ පුතයි තමයි මගේ පවුල.

සිනමාව පැත්තට යන්න සචින්ට අවස්ථාව ලැබිලා නැද්ද?
ඒක තමයි මට දැන් තියෙන ලොකුම ආසාව. නමුත් ඒ තැනට යන්න මම තව ඉගෙන ගත යුතු දේවල් අද්දැකීම් ලබාගත යුතු තැන් ටිකක් තියෙනවා. තවදුරටත් කලාව ගැන ඉගෙන ගන්න ආසයි. මට මේ වෙනකොට සිනමාවට ආරධනා ලැබිලා තියෙනවා.

ඒ අතර අලුත් ටෙලි නාට්‍යයකටත් ආරාධනා ලැබුණා. මේ දවස්වල ඒ අලුත් චරිතය වෙනුවෙන් මහන්සි වෙනවා. ඉදිරියේදී ටෙලි නාට්‍ය වැඩ ටිකක් අඩු වුණාම සිනමාව එක්ක එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇත්තටම මම සිනමා නළුවෙක් වෙන්න තමයි ගොඩක් කැමති.

සචින්ට ජීවිතේ ගැන අද මොකද හිතෙන්නේ
මගේ ජීවිතේ අභියෝග, ප්‍රතික්ෂේපවීම් ඕන තරම් තිබුණා. දැනුත් තියෙනවා ඉස්සරහටත් තියේවි. මම කාවවත් පාගාගෙන ඉස්සරහට යන්නේ නෑ. මේ තැනට ආවේ මගේ මහන්සියෙන්. මට කා එක්කත් තරගයක් නැහැ. කොහොමත් මම ජීවිතේ දේවල් ලොකුවට බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි.

මම කවදාවත් ලැබෙන්නේ නැති දේවල් ගැන පසුතැවෙන්නේ නැහැ. මට ලැබෙන දේවල් එක්ක සතුටින් ජීවත් වෙන කොල්ලෙක්. අභියෝගවලට මම හරි කැමතියි.

කකුල් පණ නැති වෙන අභියෝගයක් ළඟ දී සචින්ට ලැබුණා නේද?
අම්මෝ ඔව්නේ. සිරසේ The voice වැඩසටහනේ නිවේදක සුමිරාන් සහෝදරයාට කොවිඩ් පොසිට්ව් වුණ වේලාවේ එදා උදේ 9 විතර කතා කරලා කිව්වා අද හවස The voice වැඩසටහන ශලිනි එක්ක කරන්න ඕන කියලා. පැය 8ක් වගේ තිබුණේ පුහුණු වෙන්න.

මම කවදාවත් මයික් එකක් අතට අරගෙන තිබුණේ නැහැ. පළවෙනි වතාවට මම නිවේදකයෙක් විදිහට වේදිකාවට ගොඩ වුණේ. ඇත්තටම ශලිනිට මේ වෙලාවේ විශේෂයෙන් ස්තුති කරනවා. මට ගොඩක් උදව් කළා. The voice රියැලටි සජිවී වැඩසටහන මට ලැබුණු අමතක නොවුණම අභියෝගයක්. ඇත්තටම එදා ඒ වේදිකාව උඩට ගියාගැනම මගේ කකුල් වෙව්ලන්න ගත්තා. හැබැයි වැඩේ සාර්ථකව කළා.

සචින්ට ආදරේ මොකද හිතෙන්නේ?
ආදරේ ඇතුලේ සතුටම විතරක් නෙමෙයි දුකක් තියෙනවා. මේ ලෝකේ තියෙන භයානකම සහ වටිනාම හැඟීම තමයි ආදරේ කියන්නේ ඒ ආදරේට ඇත්තටම මම ටිකක් බයයි.

නදීශා අතුකෝරළ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

අවුල් වගේ !

0

හරි හිනා !

0

හම්මෝ !

0

මාර දුකයි !

0

මලපනිනව !

0

කුජීතයි !

0



Source link