January 22, 2022

Ada Rata

All news in one location

විනිමය අනුපාතය, නිෂ්පාදන පිරිවැය හා බඩු මිල



මේ ලියන්න යන්නේ මීට කලින් කිහිප වරක්ම පැහැදිලි කර තිබෙන කරුණු දෙකක් ගැන. මේ පැහැදිලි කිරීම් කළ තැන් දැන් මට හොයා ගන්න බැහැ. බොහෝ විට ප්‍රතිචාර කොටස් වල වෙන්න ඇති. නැවත නැවතත් මතු වන ප්‍රශ්න නිසා මේ පැහැදිලි කිරීම් පෝස්ට් එකක් විදිහට ලියා තබන එක හොඳයි කියා හිතුණා.

පළමු ප්‍රශ්නය විණිමය අනුපාතය ඉහළ යද්දී බඩුමිල වැඩි වන්නේ කොහොමද කියන එක. දෙවන ප්‍රශ්නය විණිමය අනුපාතය ඉහළ යද්දී නිෂ්පාදන පිරිවැය ඉහළ යන්නේ කොහොමද කියන එක. මේ දෙක එකිනෙකට සම්බන්ධ කරුණු දෙකක්.

අපි මුලින්ම A කියන සෛද්ධාන්තික භාණ්ඩය හෝ සේවාව ගනිමු. මෙය 100%ක් දේශීය නිෂ්පාදනයක්. ඒ කියන්නේ මේ භාණ්ඩය හෝ සේවාව නිපදවන්න ආනයනික යෙදවුම් කිසිවක්ම යොදා ගන්නේ නැහැ. දැන් මේ භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය සඳහා විණිමය අනුපාතයේ කිසිදු බලපෑමක් නැහැ. එය ඉතාම පැහැදිලියි.

දෙවනුව අපි E කියන සෛද්ධාන්තික භාණ්ඩය හෝ සේවාව ගනිමු. මෙය 100%ක් ආනයනික නිෂ්පාදනයක්. ඒ කියන්නේ මේ භාණ්ඩය හෝ සේවාව නිපදවන්න දේශීය යෙදවුම් කිසිවක්ම යොදා ගන්නේ නැහැ. දැන් මේ භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය සඳහා විණිමය අනුපාතයේ පූර්ණ බලපෑමක් තිබෙනවා. ඩොලරයේ මිල 10%කින් වැඩි වුනොත් භාණ්ඩයේ මිලත් හරියටම 10%කින් වැඩි වෙනවා. අඩුත් නැහැ. වැඩිත් නැහැ.

ප්‍රශ්නය තිබෙන්නේ ඔය A සහ E කාණ්ඩ වලට වැටෙන භාණ්ඩ හා සේවා ප්‍රායෝගිකව ඉතාම සීමිත වීමයි. දේශීය නිෂ්පාදන සේ සැලකෙන බොහෝ භාණ්ඩ හා සේවා නිපදවීමේදී කිසියම් ප්‍රමාණයකට ආනයනික යෙදවුම් අවශ්‍ය වෙනවා. ඒ වගේම, හැම විටම වාගේ ආනයනික භාණ්ඩයකට හෝ සේවාවකට රට ඇතුළේදී අගය එකතු වීමක් සිදු වෙනවා. ඒ නිසා, බොහෝ භාණ්ඩ හා සේවා හැදෙන්නේ ආනයනික හා දේශීය යෙදවුම් කිසියම් අනුපාතයකින් මිශ්‍ර වීමෙන්. ඒ තත්ත්වය යටතේ මුලින් ඉදිරිපත් කළ ප්‍රශ්න දෙක බොහෝ දෙනෙකුට මතුවන පැහැදිලි ප්‍රශ්න දෙකක්.

ප්‍රශ්නය විශ්ලේෂණය කිරීම සඳහා අපි B, C හා D නම් වූ තවත් භාණ්ඩ හෝ සේවා තුනක් උදාහරණ ලෙස ගනිමු.

B – දේශීය යෙදවුම් 80%යි. ආනයනික යෙදවුම් 20%යි.

C – දේශීය යෙදවුම් 50%යි. ආනයනික යෙදවුම් 50%යි.

D – දේශීය යෙදවුම් 20%යි. ආනයනික යෙදවුම් 80%යි.

ඉහත කී භාණ්ඩ පහේම, පාරිභෝගිකයා අතට එන තුරු සමස්ත නිෂ්පාදන පිරිවැය (හා මිල) රුපියල් 1000ක් සේ සලකමු. දැන් රුපියල් 200ට තිබෙන ඩොලරයක මිල රුපියල් 250 වුනොත් මේ භාණ්ඩ වල මිල වැඩි වෙන්නේ කොහොමද?

A – රුපියල් 1000මයි. මිල වැඩි වීමක් නැහැ.

B – ආනයනික යෙදවුම් කොටස රුපියල් 200 සිට රුපියල් 250 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,050 දක්වා වැඩි වෙනවා.

C – ආනයනික යෙදවුම් කොටස රුපියල් 500 සිට රුපියල් 625 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,125 දක්වා වැඩි වෙනවා.

D – ආනයනික යෙදවුම් කොටස රුපියල් 800 සිට රුපියල් 1000 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,200 දක්වා වැඩි වෙනවා.

E – රුපියල් 1,250 දක්වා වැඩි වෙනවා.

මට පැහැදිලි කරන්න අවශ්‍ය වූ ප්‍රධාන කරුණ මේකයි. ඩොලරයේ මිල වැඩි වෙද්දී භාණ්ඩයක හෝ සේවාවක මිල කිසිම විටෙක ඩොලරය වැඩි වූ අනුපාතයට වඩා වැඩියෙන් වැඩි වෙන්නේ නැහැ. ඩොලරය වැඩි වූ අනුපාතය භාණ්ඩයක හෝ සේවාවක මිල වැඩි විය හැකි උපරිම අනුපාතයයි. 

අපි හිතමු දේශීය යෙදවුම් 50%ක් හා ආනයනික යෙදවුම් 50%ක් යොදා හදන C+ කියා වෙනත් භාණ්ඩයක් ගැන. මේ භාණ්ඩය හදන්න ගන්න දේශීය යෙදවුම් දේශීය කියා කිවුවට ඇත්තටම දේශීය නෙමෙයි. ඒ දේශීය යෙදවුම් හදන්නෙත් 50%ක් ආනයනික යෙදවුම් උපයෝගී කරගෙන. ඔය වගේ අවස්ථා තිබෙනවානේ. ඉහත විශ්ලේෂණය කළේ ඔය වගේ අවස්ථාත් සැලකිල්ලට අරගෙනයි. ඒ කියන්නේ C+ කියන භාණ්ඩය හදන්න අවශ්‍ය ආනයනික යෙදවුම් ප්‍රමාණය ඇත්තටම 75% බවත්, දේශීය යෙදවුම් ප්‍රමාණය ඇත්තටම 25%ක් පමණක් බවත් සලකලා.

වෙනත් විදිහකින් කිවුවොත් ආනයනික යෙදවුම් යොදා ගැනෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ කොයි තරම් පහළ අදියරකදීද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. උදාහරණයක් විදිහට තේ කිලෝවක් නිපදවීමේදී යොදා ගන්නා පොහොර, කෘෂි රසායන ආදිය ආනයනික නිපැයුම් විය හැකියි. තේ කම්හලේ යන්ත්‍ර සූත්‍ර, තේ ප්‍රවාහනය කරන වාහන, ඒවාට යොදා ගන්නා ඉන්ධන ආදිය ආනයනික නිපැයුම් විය හැකියි. තේ දළු කඩන ශ්‍රමිකාව පෙරදා රෑට කාපු පාන් බාගය හදන්න ගත් තිරිඟු පිටි හා පරිප්පු ආනයනික භාණ්ඩ නිසා ඇයට ගෙවන වැටුප තුළත් ඩොලරයක මිලේ බලපෑම තියෙන්න පුළුවන්. ඔය ඔක්කොම එකතු කළත් ආනයනික යෙදවුම් ප්‍රමාණය කිසි විටෙකත් 100% ඉක්මවන්න බැහැ. ඒ නිසා, ඩොලරයේ මිල වැඩි වූ අනුපාතයට වඩා වැඩියෙන් නිෂ්පාදන පිරිවැය කෙසේවත් වැඩි වෙන්න බැහැ.

ඩොලරයේ මිල ඉහළ යද්දී දේශීය යෙදවුම් 1%ක් හෝ යොදා ගන්නා ඕනෑම නිෂ්පාදනයකට හැම විටෙකම A ලෙස අප හැඳින්වූ 100% ආනයනික භාණ්ඩයට හෝ සේවාවට සාපේක්ෂව වාසියකුයි සිදු වෙන්නේ. දේශීය යෙදවුම් ප්‍රතිශතය වැඩි වන තරමට වාසිය වැඩියි. ඒ නිසා, ඩොලරයේ මිල ඉහළ යද්දී මුලින්ම වෙළඳපොළෙන් හැලෙන්නේ ආනයනික යෙදවුම් වැඩිපුර යොදා ගැනෙන නිෂ්පාදන. අන්තිමට ඉතුරු වෙන්නේ දේශීය යෙදවුම් වැඩිපුර යොදා හදන නිෂ්පාදන. 

ඩොලරයේ මිල පහළ යද්දී වෙන්නේ ඕකෙම අනික් පැත්ත. නැවත අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැනේ!

ඩොලරයේ මිල පහළ යද්දී දේශීය නිෂ්පාදන එකින් එක හැලිලා ගිහින් ආනයනික නිෂ්පාදන ඉතිරි වෙනවා. අපි හිතමු ඩොලරය රුපියල් 200 සිට රුපියල් 150 දක්වා අඩු වුනා කියලා.

A – රුපියල් 1000මයි. මිල අඩු වීමක් නැහැ.

B – ආනයනික යෙදවුම් කොටස රුපියල් 200 සිට රුපියල් 150 දක්වා අඩු වන නිසා මිල රුපියල් 950 දක්වා අඩු වෙනවා.

C – ආනයනික යෙදවුම් කොටස රුපියල් 500 සිට රුපියල් 375 දක්වා අඩු වන නිසා මිල රුපියල් 875දක්වා අඩු වෙනවා.

D – ආනයනික යෙදවුම් කොටස රුපියල් 800 සිට රුපියල් 600 දක්වා අඩු වන නිසා මිල රුපියල් 800 දක්වා අඩු වෙනවා.

E – රුපියල් 750 දක්වා අඩු වෙනවා.

 

දැන් පැහැදිලියිනේ ඉස්සෙල්ලාම වෙළඳපොළෙන් ඉවත් වන්නේ කොයි නිෂ්පාදනයද, අන්තිමට ඉතිරි වන්නේ කොයි නිෂ්පාදනයද කියලා. 

හරි. දැන් ඔය වැඩේ වෙන්නේ ඩොලරයක මිල අඩු වුනහමනේ. එහෙමනං ඩොලරය එක තැන තියා ගන්න එකේ වැරැද්ද මොකක්ද?

සල්ලි අච්චු නොගහන තාක් ප්‍රශ්නයක් නැහැ. සුද්දා අවුරුදු එකසිය ගාණක් ඔය වැඩේ කළානේ. ඔය දැනුත් ඔය වැඩේ හරියට කරන රටවල් තියෙන්නේ. ප්‍රශ්නය ඩොලරය එක තැන තියා ගෙන සල්ලි අච්චු ගහන එකයි. අපි හිතමු සල්ලි අච්චු ගැහීම නිසා රට ඇතුළේ උද්ධමනය 25%කින් වැඩි වුනා කියලා. නමුත් විණිමය අනුපාතය එක තැන නිසා ආනයනික යෙදවුම් වල පිරිවැය වෙනස් වෙලා නැහැ. දැන් මොකද වෙන්නේ? 

A – රුපියල් 1,250 දක්වා වැඩි වෙනවා.

B – දේශීය යෙදවුම් කොටස රුපියල් 800 සිට රුපියල් 1000 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,200 දක්වා වැඩි වෙනවා.

C – දේශීය යෙදවුම් කොටස රුපියල් 500 සිට රුපියල් 625 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,125 දක්වා වැඩි වෙනවා.

D – දේශීය යෙදවුම් කොටස රුපියල් 200 සිට රුපියල් 250 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,050 දක්වා වැඩි වෙනවා.

E – රුපියල් 1000මයි. මිල වැඩි වීමක් නැහැ. 

 

පේනවනේ වැඩේ. ඩොලරයක මිල අඩු වූ විට ඇති වන තත්ත්වයමයි. දේශීය නිෂ්පාදන වෙළඳපොළෙන් ඉවත් වෙලා ආනයනික නිෂ්පාදන ඉතිරි වෙනවා. ඕක තමයි ලංකාවට වෙලා තියෙන්නේ. 

දැන් මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?

අවම වශයෙන් ඩොලරයක මිල උද්ධමනය වැඩි වූ ප්‍රමාණයට ඉහළ යන්න දුන්නා කියා කියමු. ඒ කියන්නේ ඩොලරයක මිලත් 25%කින් වැඩි වෙනවා.

A – තවදුරටත් රුපියල් 1,250 මට්ටමේමයි.

B – ආනයනික යෙදවුම් කොටස රුපියල් 200 සිට රුපියල් 250 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,250 දක්වා වැඩි වෙනවා.

C – ආනයනික යෙදවුම් කොටස රුපියල් 500 සිට රුපියල් 625 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,250 දක්වා වැඩි වෙනවා.

D – ආනයනික යෙදවුම් කොටස රුපියල් 800 සිට රුපියල් 1000 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,250 දක්වා වැඩි වෙනවා.

E – රුපියල් 1,250 දක්වා වැඩි වෙනවා.

 

දැන් දේශීය නිෂ්පාදකයාට විශේෂ වාසියක් නැතත් සමාන තරඟයකට මුහුණ දීමේ අවස්ථාව තවදුරටත් ඉතිරිව තිබෙනවා. එහෙමයි කියලා එක පාරටම දේශීය නිෂ්පාදනය ඉහළ යන්නේ නැහැ. මේ තත්ත්වය ව්‍යවසායකත්වය ඇති අයට නිරීක්ෂණය වී ඔවුන් නිෂ්පාදනයට පෙළඹෙන්න යම් කාලයක් යනවා. ආණ්ඩුව නැවතත් විණිමය අනුපාතය පාලනය කරයිද කියන බය තිබෙන තුරු ඔවුන් එසේ නොපෙළඹෙන්න ඉඩ තිබෙනවා. බය ඇරෙන්නත් යම් කාලයක් යනවා. කෙසේ වුවත් විණිමය අනුපාතය පාලනය කිරීම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් ඇත්නම් දිගුකාලීනව තරඟකාරිත්වය ඇති වී ප්‍රශ්නය විසඳෙනවා.

ප්‍රශ්නයට විසඳුමක් ලෙස ආනයන පාලනය කළ විට සිදු වන්නේ කුමක්ද? 

දැන් B, C, D හා E තව දුරටත් නිපදවන්න බැහැ. ඒ නිසා, A වලට අවස්ථාවක් ලැබෙනවා. මිල රුපියල් 1250යි. හැබැයි රටින් එළියේ මිල තවමත් රුපියල් 1000 නිසා මේ නිෂ්පාදනය කවදාවත් අපනයනය කරන්න බැහැ. ඒ නිසා, ආනයන අඩු වුනත් අපනයන වර්ධනය වෙන්නේ නැහැ. අනෙක් අතට ආනයන පාලනය ඉවත් කළ ගමන් තමන් අමාරුවේ වැටෙන බව නිෂ්පාදකයෝ දන්නවා. ඒ නිසා, ඔවුන් නිෂ්පාදනය පටන් ගන්නේ දිගින් දිගටම ආනයන පාලනය එලෙසම පවතිනු ඇති බවට විශ්වාසයක් ඇත්නම් පමණයි. මේ වැඩේටත් කාලයක් යනවා. ඒ නිසා පෙර අවස්ථාවේ වගේම දේශීය නිෂ්පාදනය ක්ෂණිකව ඉහළ යන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීමට සාපේක්ෂව මේ ක්‍රමයේ අවාසි ගණනාවක් ඇතත් කිසිම වාසියක් නැහැ. හැබැයි මිනිස්සු භාණ්ඩ හිඟය එක්ක ජීවත් වෙන්න කැමතිනම් මේ ක්‍රමයත් ඩොලර් හිඟයට තාවකාලික විසඳුමක්.

– ඉකොනොමැට්ටා




Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq