October 17, 2021

Ada Rata

All news in one location

විත අස පත 22 – හද රිදෙන කවියක් ගැන සටහනක් !



‘ළබැඳි මිතුරියක’ යන යෙදුම ඔබ අර්ථකථනය කරගන්නේ කෙසේද ? පිරිමියකුගේ ළය හෙවත් හදවත බැඳුණු ගැහැණුන් කොතෙක් වුව සිටින්නට පුළුවන. ඇතැම් විට පෙම්වතියක ලෙස ද තව විටෙක මිතුරියක ලෙස ද පිරිමි හදවත් ස්පර්ශ කරන ගැහැනු සිටිති. ප්‍රේමය සහ මිත්‍රත්වය අතර නමක් දිය නොහැකි සබඳකම් ද නැතුවා නොවේ. කෙසේ වුව පිරිමි සිතක ඇත්ත කම්පනයක් ඇති කිරීම ගැහැනියක සිතන තරම් පහසු කටයුත්තක් නොවේ. මන්ද, ඇත්ත කම්පනය සහ මවා පා පෙන්වනු ලබන කම්පනය යනු සෑම විටෙක ම එකක් නොව දෙකක් වන බැවිනි. එනිසා ‘ළබැඳි මිතුරියක’ යන යෙදුම කැමති ලෙසකට අර්ථකථනය කර ගැනීමට ඔබට අයිතිය තිබේ.

මා අත පොවන මානයේ කවි පොතකි. පොතේ පිටු පනස් හයකි. සෑහෙන්න තරම් බර පොතකි. පිටු දහස් ගණනක ප්‍රකාශන පනස් හයකට කැටි කළ පසු එය හදවතට ‘බර පොතක්’ ලෙස නම් කිරීම කිසි ලෙසකින්වත් අතාර්කික නිගමනයක් නොවේ. එය තාර්කිකව පැහැදිලි කිරීම උදෙසා පොතෙන් පිටුවක් දෙකක් පමණක් උපුටමි. මේ ටිම්රාන් කීර්ති ගේ ‘පෙම්බරියගෙන් වෙන්වුණ ලූලෙක් හැරෙයි ඇළකට’ නම් තෙවැනි කවි ප්‍රදානයයි ! එහි 22-23 පත්හි ‘නා ලොවට වී නිදනවැති ඇය’ හිසින් යුතු කවියේ ‘නිමිත්ත’ ලෙස මෙබන්ඳක් සටහන් වී තිබේ.

“ළබැඳි මිතුරියක ව හුන් ‘සුජා’ නාගයෙකු දෂ්ඨ කිරීමෙන් මිය ගිය පුවත සැලවිණ.” නිමිත්ත පහළින් කවිය මෙසේ ඇරඹෙයි.

ඇය මතක සානුවේ කඳු තුඩක්
අමතක ම නොවුණට
ඈ ගැන ම හිතන්නට
නොවුණි ඉස්පාසුවක්

ගමට ඈතින් තිබුණ
නිමි ඇඳුම් ෆැක්ට්‍රියක
බිල්ඩිමේ වාටියේ
සුජා මා ළඟින්මයි හිටියේ
ඇපල් මුහුණකි ඇයට තිබුණේ

මෙකවියේ කතා නායකයා ටිම්රාන් නොවේ. ඔහු නොවන්නේ ද නොවේ. ඇතැම් විට ඒ ‘අප’ වන්නට ඉඩ තිබේ. ‘බිල්ඩිමේ වාටියේ’ යැයි කියන විටම ඔවුන් දෙදෙනා කර්මාන්ත ශාලාව තුළ නිරත වන පරිධියේ රැකියාවක් ගැන අපට ඉඟි සැපයෙයි. නමුත් සුජාට ඇත්තේ ඇපල් මුහුණකි. ඇගේ ඒ ඇපල් මුහුණ සමහර විටෙක වාටියේ රැකියාවට නොගැලපෙනවා වන්නට පුළුවන. මන්ද, යුරෝපා හෝ ඔස්ට්‍රේලියා මහද්වීපික ඇපල් මෙන් දූපතේ ඇපල්වලට නිසි වටිනාකමක් නොලැබෙන බැවිනි. ටිම්රාන්ගේ ‘යන්නං චන්දරේ’ කවි පොතේ එන ‘කොටුවෙ ඇපල් ලාබායි…’ යන ප්‍රකාශනය ද නිරායාසයෙන් ම මතකයට නැඟෙයි.

දැන් මතක් වෙනවා
හිනාවෙන කොට දෙළුම් රතකුයි
කොපුළෙ ඉහුණේ
අඬන විට මොන වගේදැයි
කියන්නට බැරි
කිසිම දවසක ඇඩුවෙ නෑනේ

දෙළුම් රත සිහිගන්වන දුලබ සිනාවක හිමිකාරිය කිසි දිනෙක නොහඬා සිටියේ ඇයට අඬන්නට හේතු නොතිබුණ නිසා නොවන වග අප නිශ්චිතව ම වටහා ගත යුතුය. ඇතැම් තැන අඬන්නට හේතු වැසි වසිද්දී නොහඬා සිටීම සැනසිල්ලට හේතු වන්නට බැරි නැත.

ෆැක්ට්‍රියේ වසර අග සාදයේ
ගීත රිද්මෙක වෙළුණ
ඇගේ නර්තන සොබා
සම කළෙන් නයි නැටුමකට මා
දෂ්ඨ කෙරුවා රැවුමකින් ඇය
කට්ට ඉඟියක් තබා රැය මත

ළබැඳි මිතුරිය ගැන ඔබේ අර්ථකථනය දැන් සිහියට නඟා ගන්න. ඔහුට ඇය හුදු මිතුරියක් පමණක්ද? ඇගේ නර්තනය නයි නැටුමකට උපමා කිරීමෙන් ඔහු කරන්නේ අහිංසක විහිළුවක්ද? නැතිනම් ඔහුට ද නොදැනීම ඒ එළියට පතිත වන්නේ පොදු පිරිමි ලිංගික ඉරිසියාව වන්නට බැරිද? මේ කිසිවක් නිශ්චිත පිළිතුරු නැති ප්‍රශ්න බව සැබැවි. නමුත් ‘දෂ්ඨ කෙරුවා රැවුමකින් ඇය – කට්ට ඉඟියක් තබා රැය මත’ යන වදන් කීපය තුළින් කවියා අපව මතු පිටින් පෙනෙන අර්ථයට එහා ගිය කියැවීමක් කරා රැගෙන යයි.

ඉතා උණුසුම් සාද සිරි ගත්
දිග් දිගට ඇදි විරාමෙන් පසු
පළමු වැඩ වාරයේ පෙර මඟ
බලා සිටියත් සුජා එන තුරු
ඈ නොවෙයි කිසි දිනෙක ආවේ

කාලෙකදි වැඩ පොළත් වැහුණා
ඔහොම යද්දී මාත් බැන්දා
වැඩත් වැවුණා

බොහෝ ජීවිත කරණම් මැද ඉරණම් තීන්දු වන්නේ එහෙම ය. අප බලාපොරොත්තුවෙන් සිටින අය පෙරළා නොපැමිණෙයි. ඉතින් අපට ද නාඳුනන හෝ වෙනත් මඟක් තෝරා ගැනීමට සිදුවෙයි. අර අප කලින් කියූ ප්‍රේමය සහ මිත්‍රත්වය අතර නමක් දිය නොහැකි පුද්ගලික හැගීමට ද ඒ ධර්මතාව පොදු ය. නමුත් කාලයා ගේ ඇවෑමෙන් අනාගතයේදී අහඹු හමුවීම් සිදුවන්නට බැරි කමක් නැත.

ඉරණමේ සිතියමේ තැනකදි
ජීවිතේ වට රවුම් පාරෙදි
දෙළුම් රත ගත් කොපුල් තල ඇති
ළපටි කෙල්ලක්
එක් ඇසිල්ලක හමුවුණා
ළා හිනාවක් දැල්වුණා

‘දුවේ අම්මගෙ නම කියන්නකො’
තව තවත් මං ලං වුණා
‘නයෙක් ගහලා අම්ම මැරුණා’
ඇපල් මුහුණක් සැණින් මැවුණා

හුරුපුරුදු දෙළුම් රත් පැහැ කොපුල් තල සහිත සුජා ගේ ලේ ධාතුවේ හිමිකාරියගෙන් ඔහුට ඇගේ අතරමඟ නතර වුණ ඉරණම හෙළිදරව් වෙයි. ඔහු අතීතයේ දවසක ඇගේ නර්තනය සමාන කළේ නයි නැටුමකට ය. ඒ නැටුමේ හිමිකාර ගැහැනිය ම පසු කලෙක නයෙක් ගසා මරණයට පත්වීම ඔහු තුළ කුමන ආකාරයේ හැගීමක් සහ කම්පනයක් ඇති කරන්නට ඇද්ද?

නාග දළ වැද මියෙන මොහොතෙත්
නා මිණක් ඇය ලොවට දී ඇත
ගල් නොවී දිවි අරුත් දල්වන
පැන් පොදක් ඇය තබා ගොස් ඇත
දෑත් බැඳ සන්සුන් ව සුදුවට
නා ලොවට වී නිදනවැති ඇය
සාද රැය මත ඈත දවසක
තැබූ ඉඟි මත හිම මිදී නැත

සමස්ථ කවියේ සාරය ම ‘සාද රැය මත ඈත දවසක – තැබූ ඉඟි මත හිම මිදී නැත’ යන අවසන් පද පේළි දෙක තුළ කැටි කරමින් කවිය අවසන් කෙරෙයි. ලියන්නාට පමණක් නොව කියවන්නාට ද ‘ළබැඳි මිතුරිය’ අරභයා දැනෙන පසු කම්පනය ප්‍රබල ය. එක් තැනක නොරඳවා දෙපය පමණක් නොව හදවත ද තැනින් තැන ඇවිදවන සුළු ය.

ටිම්රාම් කීර්ති ගේ කවි පොතෙහි පිටු දෙකක බර එබඳු ය. ඉතිරි පත් පනස් හතර ගැන තීන්දුව ඔබ සතු ය. පොතෙහි එන ටිම්රාම් ගේ පෙරවදනෙහි කොටසක් අද තීරුවේ පසුවදන ලෙස උපුටා දක්වමින් මම නතර වෙමි !

“හරි සනීපයි කියා හිතෙන ආදරය පවා වේදනාවක උල්පතක් වේ. මහා කතන්දර වුව ද පුංචි තිතකින් නිමා වේ. ඇරඹුමේ නැති කොමා කතා මැද මුණ ගැහේ.”

– කසුන් සමරතුංග




Source link