October 19, 2021

Ada Rata

All news in one location

වාරකන් කියා අමතක කර දැමිය හැකිද ?



ලංකාවේ මුහුදේ නැවක් ගිනිගෙන තෙල් හා විෂ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් නිසා මේ දින කිහිපයේ ම මුහුදු වෙරළවල් වලට මියගිය කැස්බෑවුන් ගොඩගසා ඇති ඡායාරූප ඔබ දුටු බවට සැක නැත. දැනට ගණනය කර ඇති කැස්බෑ මරණ සංඛ්‍යාව හැටකට අධිකයි. ලංකාවේ සමහර විද්වත් යැයි කියා ගන්නා විද්දත් ඇමතිලා නම් කියන්නේ මේ වාරකන් කාලේ නිසා මෙය සාමාන්‍ය දෙයක් ලෙසයි.

නමුත් මෙහි බරපතලකම කැස්බෑවුන් පිළිබඳ ගණිත පාඩමකින් මම ඔබට කියා දෙන්නම්. කැස්බෑවෙක් පිං පොං බෝලයක් තරම් වූ බිත්තර දමන්න වසරකට දෙතුන් වතාවක් මුහුදු වෙරළට පැමිණෙයි. එක් වතාවක දී උන් බිත්තර 50 -200 අතර ප්‍රමාණයක් දමයි.

එම බිත්තර වලින් 20%කින් පමණ පැටවුන් බිහිවන්නේ නෑ. මාස එකහමාරකින් පමණ ඉතිරි පැටවුන් ටික බිත්තර වලින් එළියට එයි. ඉන් පසු අත්ලක් පමණ වන එම කුඩා පැටව් මුහුදු වෙරළ දිගේ මුහුද වෙත යා යුතුයි. මෙය පහසු කටයුත්තක් නොවේ. වෙරලේ සිටින කකුළුවෝ වැනි සතුන් හා විවිධ පක්ෂීන් නිසා ඉතිරි වූ කැස්බෑ පැටවුන්ගෙන් 50%ක් පමණ මියයනවා.

ඉන්පසු මුහුද වෙත යන ඉතිරි පැටව් ඉදිරි දින කිහිපයේ දී ඉදිරියට ඇදී යයි. මුහුදු ලිහිණියෝ වැනි පක්ෂීන් හා ඩොල්ෆින්, මෝරු ආදී මත්ස්‍යයින් මේ කැස්බෑ පැටවුන්ගේ ඊළඟ බාධකය යි. එම බාධක නිසා ඉතිරි පැටවුන්ගෙන් තවත් 50%ක් මියයයි. ඉන් වසර විස්සකට පමණ පසු බිත්තර දැමිය හැකි කැබෑවෙක් බිහි වේ. එසේ බිහිවන්නේ ඉතිරි කැස්බෑවුන්ගෙන් 10%ක් වැනි සුළු ප්‍රමාණයකි.

නමුත් මේ 10% බිහිවන්නේ මිනිස් ක්‍රියාකාරකම් වල බලපෑම් නොසලකා හැරිය විටයි. මුහුදුට ප්ලාස්ටික්, තෙල් හා රසායනික ද්‍රව්‍ය එකතු වීම ආදී ක්‍රියාකාරකම් නිසා උක්ත සදහන් කල 10%, 1% දක්වා අඩු වේ.

මම නැවතත් මෙම සටහනේ මුලට යන්නම්. කැබෑවෙක් වසරකට කිහිප වතාවක් බිත්තර දමන්නට වෙරළට පැමිණෙන නිසා වසරකට කැස්බෑවෙක් බිත්තර 1000ක් දමනවා යැයි සිතමු. එම බිත්තර වලින් එලියට එන්නේ පැටව් 800කි. වෙරළේ ඇති බාධක නිසා මුහුද වෙත යන්නේ පැටව් 400කි. මුල් දින කිහිපයේ මුහුදේ මත්ස්‍යයින්ගේ බලපෑම නිසා ඉතිරි වන්නේ පැටව් 200කි.

වසර විස්සක් ගිය තැන බිත්තර දැමිය හැකි කැස්බෑවුන් ගනන ඉන් 10% ක් වන 20කි. ඒ මිනිස් ක්‍රියාකාරකම් නොසලකා හැරිය විටයි. නමුත් මිනිස් ක්‍රියාකාරකම් සමග මුලදී වෙරළේ තිබූ බිත්තර 1000න් බිත්තර දැමිය හැකි වයසක් දක්වා ජීවත්වන්නේ කැස්බෑවුන් දෙදෙනෙක් පමණයි.

ඔබ රූපවාහිනියේ හෝ සමාජ ජාලා තුල දුටු ඒ මියගිය කැස්බෑවුන්, පැටවුන් නොව ඉහත බාධක වසර ගණනාවක් මුලුල්ලේ ජයගැනීමට සමත් වූ ඉතා සුළුතරයක් වූ කැස්බෑවුන්ගෙන් කොටසකි. ඒ නිසා මෙය වාරකන් කියා අමතක කල හැකිද ?

 – ඩියෝන් මිතිල ප්‍රනාන්දු

UN




Source link