October 18, 2021

Ada Rata

All news in one location

වස විස කා නැසෙමුද?



දේශීය කෘෂිකර්මාන්තයේ හැරවුම් ලක්ෂ්‍ය බවට කාබනික පොහොර භාවිතය ඉවහල් වන බව තහවුරුවීමට කෙටි කාලයක් ගත වනු ඇත. දීර්ඝ කාලයක් මහ පොළොවට හෙළූ රසායනික පොහොර නිසා පස දූෂ්‍ය වී ඇති අතර, කෘමිනාශක නිසා වාතය මෙන්ම ජලයද දූෂණය වන බව පර්යේෂකයන් පෙන්වා දී ඇත. භූගත ජලයට රසායනික සංඝටක මුසු වීම හේතුවෙන් ගැටලු රාශියක් පැන නැඟී ඇති බවද තහවුරු වී තිබෙන කාල පරාසයක වත්මන් රජය කාබනික පොහොර වගාවට ජනතාව හුරු කරවීමට ප්‍රබල උත්සාහයක් ගනිමින් සිටී. එකී උත්සාහය ආපස්සට හරවන්නට වෑයම් කිරීම ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන ව්‍යාපාරවල ප්‍රමුඛ අරමුණ බවට පත්ව ඇති බව ද දක්නට ලැබේ. එය අවාසනාවන්ත සිදුවීමකි.

ජනතාවගේ අනාගත ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජාතියක් දැයට උරුමකරදීමට ගන්නා උත්සාහය සාර්ථක කරගැනීමට සියල්ලෝම සහය දිය යුතුය. රසායනික පොහොර භාවිතයෙන් සිදුවන හානිය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම් සහ දැනුම්වත් කිරීම් අවශ්‍ය වන්නේ ගොවිජනතාව ඊට දක්වන ප්‍රතිචාර අනුවය. රසායනික භාවිතය නිසා පසේ ඇති ස්වභාවික ජීව ගුණය විනාශ වී යන්නේය. පසෙහි ඇති සාරවත් බව අහිමි වීමත්, පස දැඩිවීමත්, ජලය රඳවා ගැනීමේ හැකියාව අඩුවීමත් සිදු වන්නේ කාලයක් පුරා පසට රසායනික එකතු කිරීම නිසාවෙනි. එපමණක් ද නොව භෝගවලට අවශ්‍ය පෝෂ්‍ය කොටස් රඳවා ගැනීමත්, ක්ෂුද්‍ර කොටස් අහිමි වීමත් මෙමඟින් සිදු වේ. එය පසේ ඇති ස්වභාවික සමතුලිත බව අහිමි කරන්නක් ද වේ. කාබනික පොහොර ප්‍රවර්ධනය යහපත්ය.

එමඟින් පසේ සරු බව ආරක්ෂා කරමින් ස්වභාවික ජීව ගුණය ආරක්ෂා කරනු ඇත. එසේම පසේ සමතුලිත බව ද ආරක්ෂා වනු ඇත. කාබනික පොහොර භාවිත කළේ නම් පස වියළි බවට පත් නොවී නිසරු පසක් බවට පත් නොවී රැක ගැනීමට හැකියාව ලැබෙන්නේය. අප විසින්ම ගොවිබිම් නිසරු බිම් කරගෙන ඇති නිසාම රසායනික පොහොරවල අවශ්‍යතාවය වැඩි වැඩියෙන් දැනෙන්නට පටන් ගෙන ඇත. එය ද අවාසනාවකි. පසේ ඇති පෝෂ්‍ය කොටස් ස්වභාවිකව සපයාගැනීම අතහැරුණු විට දිනෙන් දින පසට රසායනික එක් කළ යුතුව ඇත. මෙකී ව්‍යවසනයේ බලපෑම් නූපන් පරපුරට ද බලපා ඇති බව ඉතිහාසය පිරික්සීමේදී අවබෝධ කර ගත හැකිය.

වකුගඩු රෝග

රජරට සෑම ගොවි පවුලකම පාහේ නිදන්ගත වකුගඩු රෝගීන් වාර්තා වන්නේ ඇයි දැයි නිරීක්ෂණය කරන්නේ නම් ඊට ප්‍රමුඛ සාධකය වී තිබෙන්නේ ද අධික රසායනික පොහොර භාවිතය බව පැහැදිලිය. රජරට භූගත ජලයේ ආසනික් අඩංගු බවට පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා පළ විය. එය සිදුවී ඇත්තේ පසට එක් කළ රසායනික හේතුවෙන් බව කවුරුත් දන්නා කරුණකි. ජාතියක් සුවෙන් තබන්නට ගන්නා උත්සාහයකදී ඊට හේතු ද විමසා බැලිය යුතුය. රසායනික පොහොර භාවිතයෙන් අප අත්කරගෙන ඇති ප්‍රගතිය කවරක්ද යන්න ද සොයා බැලිය යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව නිදන්ගත වකුගඩු රෝගය පැතිරයාමට හේතුව වී තිබෙන්නේ ජලයේ ආම්ලිකතාවය සහ බැර ලෝහ අඩංගුවීම නිසාය. ජලයට එසේ වූයේ ඇයි දැයි විමසිය යුතුය. ඊට විකල්ප කවරක්ද යන්න විපරම් කළ යුතුය. මේ වන විටත් කෘෂි විද්‍යාඥයින් වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ සිදුකරමින් සිටී. කෙසේ වෙතත් ප්‍රධාන හේතුව ලෙස මේ වන විටත් හඳුනාගෙන තිබෙන්නේ රසායනික පොහොර භාවිතය ඊට බලපා ඇති බවය. මෙය කොතෙක් සත්‍ය ද යන්න පසක් වන්නේ රජරට ගොවි පවුල්වලින් 50%ක් පමණ මේ වන විටත් වකුගඩු රෝගයට ගොදුරු වී තිබීම නිසාය.

රජරට ජනතාව පමණක් නොව නිෂ්පාදිත ආහාර පරිභෝජනය කරන සමස්ත රට වැසියාම අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙමින් සිටී. ආහාරවල තිබෙන රසායනික ‍ප්‍රමාණය ඉහළ යාම රටම ලෙඩ කරවීමට බලපා තිබේ. තරුණ පරපුර ද අවාසනාවන්ත වකුගඩු රෝගයට ගොදුරුවෙමින් සිටී. මෙකී තත්ත්වය සෞඛ්‍ය සම්පන්න ජාතියකට යහපත් කරුණක් නොවන අතර 1979 සිට මෙරටට ආනයනය කළ ග්ලයිපොසෙට් මෙරට ජීවිත ගොදුරු කර ගත් තවත් ප්‍රබල සාධකයකි. මෙහි දැඩි බලපෑමට ලක්ව ඇත්තේ ගොවි පවුල්ය. ඔවුන් බේරා ගැනීමට වරෙක ග්ලයිපොසෙට් තහනම් කරන්නට ද ලක් රජය පියවරගෙන තිබුණි. එහෙත් ගොවි ජනතාවගේ දැඩි ඉල්ලීම්වලට අනුව තහනම ලිහිල් කරන්නටත් සිදුවිය. මෙහි දීර්ඝ කාලීන අහිතකර බලපෑමට වඩා ජනතාවට අවශ්‍ය වන්නේ කෙටිකාලීන ආදායම් මාර්ග යහපත්ව තබා ගැනීමටය. එහෙත් සමස්ත ජාතියම ව්‍යවසනයකට ඇද දමන මෙවැනි විපත් සම්බන්ධයෙන් පවතින රජයක් ගන්නා ඕනෑම යහපත් ක්‍රියාවලියකට අප සහය පළ කළ යුතුව ඇත.

මධ්‍යම කඳුකරයේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් දෛනිකව යොදා ගන්නා රසායනික පොහොර ඉහළයාම යනු සියලු රටවැසියන් අවදානමකට ලක් කිරීමය. රසායනික පොහොරවල ඇති අහිතකර රසායනික ජලයට මුසු වී ඇළ වේලි ඔස්සේ ගලා බසින්නේ රජරට ගොවිබිම් වලටය. අද වන විට මහවැලි ගඟට ආසනික්, කැඩ්මියම්, ලෙඩ් නැමති ලෝහ ද මුසු වී ඇති බවට අනාවරණය කරගෙන ඇත. මෙම ජලය වැඩි වශයෙන් භාවිත කරන්නේ රජරට වී වගාවලටය. රජරට වී නිෂ්පාදනය රට පුරා බෙදාහරින විට එය පරිභෝජනය කරන්නේ මේ රටේම ජනතාව බව නොදන්නේ කවරහුද?. මෙහි ව්‍යවසනය තේරුම් ගෙන ඇත්තේ කීයෙන් කී දෙනාද? මේ ප්‍රශ්නවලට උත්තර සොයන්නේ නොමැතිව ගොවි ජනතාවට අවැසි පරිදි ක්‍රියාත්මක වන්නේ නම් නූපන් දරුවන් මෙලොව එළිය දකින්නේ ද රෝගීන් බවට පත් වෙමිනි.

එනිසා කෙසේ හෝ මේ ව්‍යවසනයෙන් රටවැසියා බේරා ගත යුතුය. ඊට කදිම විසඳුම වෙත වත්මන් රජය ගමන් කරමින් සිටී.

වස විස නැති හෙටක්

හරිත රටක් වස විෂ නැති හෙටක් යන මැයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් දියත් කරන කාබනික පොහොර නිෂ්පාදකයන් ලියාපදිංචිය පසුගියදා ආරම්භ විය. එය මෙරට ජනතාවගේ සිරුරු තුළට රසායනික දෑ ඇතුළු වීම වැළැක්වීමට ගත් යහපත් පියවරක්ය. රසායනික පොහොර ආනයන වියදම් පාලනය කර ගැනීමට ද මෙකී ව්‍යාපෘතිය ඉවහල් වන්නේය. එපමණක් ද නොව කාබනික පොහොර භාවිතය නිසා පසේ සාරවත් බව ඉහළ යනු ඇත. සාර්ථක ‍භෝග වර්ධනයත්, අස්වැන්න වැඩිවීමත් සිදු වනු ඇත. දිගුකාලයක් පුරා පසට පෝෂ්‍ය පදාර්ථ ලබාදීමේ හැකියාව ද කාබනික පොහොරවලට ඇත. ශාක පෝෂක සමතුලිතතාව රැක ගැනීමට ද හැකියාව ඇත. මේ අනුව බලන කල කාබනික පොහොර භාවිතයෙන් ලක්වැසියනට හිමි වන වාසි රැසකි. අකාලයේ රෝගී වී මිය යාම වළක්වා ගැනීම ඉන් ප්‍රධානය. පස ආරක්ෂා වීම ඊළඟ කරුණය. මෙකී කාරණා සියල්ල යථාර්ථයක් බවට පත් කරගැනීමට නම් අප සියල්ලෝම ඊට උරදිය යුතුය.

ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝගවල ඉහළ යාමක් පෙන්නුම් කර ඇත්තේ ද ආහාර සංස්කෘතියේ ඇති ගැටලුවක් නිසාය. වස විසෙන් තොර ආහාර ගැනීමට හැකි වන්නේ කීයෙන් කී දෙනාට ද යන්න ප්‍රශ්නාර්ථයකි. එක් පැත්තකින් රටක් ලෙස ආනයනික ආහාරවලට සිදු කරන වියදම් කොපමණක් දැයි ගණනය කළ යුතුය. ඒවායේ අඩංගු රසායනික සංඝටක කොපමණක් දැයි නිරීක්ෂණය කළ යුතුය.

ඉන් සිදු වන්නේ කවරක් ද යන්න පිළිබඳ සොයා බැලිය යුතුය. දේශීය ආහාර සංස්කෘතිය වළ දමා ආනයනික ආහාර සංස්කෘතියක් බිහි කර ගැනීම කොතරම් අවදානම් ද යන්න පසක් වන්නේ වත්මන් කොරෝනා ව්‍යවසනය නිසාවෙනි. සෑම බිම් අඟලක්ම වගා කළ හැකි මහපොළොවක් මෙරටට උරුම වී ඇති බව ඉතිහාසය සාක්ෂි ඉතුරු කොට තිබේ. අහසින් වැටෙන එකදු එක දිය බිඳුවක් හෝ මුහුදට නොයවා වගා කළ යුතු යැයි කියමින් මහා වැව් නිර්මිත කොට තිබේ. යහපත් වාරි සංස්කෘතියක් අපට උරුම කරන්නට අතීත නායකකාරකාදීන් වෙහෙස මහන්සි වී ඇති.

දියුණු කෘෂි සංස්කෘතියක් තිබූ රටක නිර්භීත ජාතියක් අකාලයේ මියැදෙමින් සිටින්නේ ඇයි දැයි අප අපගෙන්ම විමසිය යුතුය. දේශීය කෘෂි ආර්ථිකයේ විප්ලවීය වෙනසක් අවැසිව තිබුණේ මීට දශක ගණනාවකට පෙරය. ඒ සඳහා ඇතැම් නායකයන් ආනයන සීමා පැනවීම් ද සිදු කරන්නට විය. එහෙත් ජනතාව ඊට දැක්වූ ප්‍රතිචාරය යහපත් නොවුණ තැන පිටරටවලට දත නියවන්නට අපට සිදු විය. සොබාදහම නිසි පිළිතුරු දෙමින් සිටින වත්මන ලෙස අප ඕනෑකමින් බැලිය යුතුය. ලෝකයේ බොහෝ රටවල් තමනට අනන්‍ය වූ දේශීය සංස්කෘතියන් තුළ තම රට ආරක්ෂා කරමින් සිටින්නේය. ඔවුන්ගේ කෘෂිකර්මාන්තය පරිසර හිතකාමී ලෙස හැඩගස්වා ගනිමින් සිටින්නේය. හරිත විප්ලවයට ඔවුන් දායකත්වය දෙමින් සිටින්නේ ය. ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයකට නැඹුරු කරන්නට වෑයම් ගත් රාජ්‍ය පාලනයන් පෙරලා දැමීම තමා විසින් තම ගෙල සිඳ ගැනීමක් වැනිය. වත්මනේ ලෝකයම මුහුණ පා සිටින්නේ මිනිසා විසින් සොබාදහම විකෘති කළ ක්‍රියාවලියක අතුරු ප්‍රතිඵලයකටය. කිසිවකුටත් ඊට එරෙහිව නැඟී සිටින්නට නොහැකි වන සේ ලෝකයම ආපස්සට හරවා ඇත. ශ්‍රී ලාංකික අප නූපන් පරපුර හෝ මේ ව්‍යවසනයට ගොදුරු නොවන්නට කටයුතු කළ යුතුව ඇත. එනිසා ලක් දෙරණේ සෑම බිම් අඟලක්ම ආරක්ෂා කර ගත යුතුය. සෑම ජල බිඳුවක්ම සංරක්ෂණය කළ යුතුය. එක්ව ගොඩනැඟෙන ලෝකය දිනන ජාතියක් ලෙස අප අපටම උරුම වූ සංස්කෘතියෙන් ලෝකය ජය ගත යුතුව ඇත.

UN 




Source link