October 19, 2021

Ada Rata

All news in one location

වව්නියාව නයිනමඩු රක්ෂිතයෙන් පුරාවිද්‍යා ස්මාරක කිහිපයක් සොයා ගනී



වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, නයිනමඩු 223C ග්‍රාම සේවා වසමට අයත් නයිනමඩු රක්ෂිත ප්‍රදේශයෙන් පුරාවිද්‍යාත්මක ස්මාරක කිහිපයක් සොයා ගත්බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කරයි.

මෙම පුරාවිද්‍යා ස්ථානය මීට පෙර අනාවරණය නොවූ පුරාවිද්‍යා ස්මාරක සහිත ස්ථානයක් වන අතර, වව්නියාව නෙදුන්කර්නි 17 වන විජයබා පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින්  සිදුකළ දැනුම්දීමකට අනුව වව්නියාව ප්‍රාදේශිය පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ස්ථානය පරීක්ෂා කර තිබේ.

ශිලා කුළුණු 8කින් පමණ යුතු ගොඩනැගිලි ව්‍යුහයක්,ශිලාමය කණු පාදම් සහිත ගොඩනැගිලි ව්‍යුහයක්,විශ්කම්භය මීටර් 8ක් පමණ උස මීටර් 5ක් පමණ වන ස්තූප ගොඩැල්ලක් දැකගත හැකි අතර මෙම ස්තූප ගොඩැල්ල මධ්‍යයේ නිධන් හොරුන් හාරා විනාශ කර තිබේ. 

මෙම ස්ථානයේ පැරණි ගොඩනැගිලිවල ගඩොල්, පෙති උළු, දක්නට ලැබෙන අතර  නටබුන් වර්ග මීටර්100ක පමණ භූමි ප්‍රමාණයක විහිදී ඇත. වාස්තුවිද්‍යා රූපාකාරය අනුව මුල් ඓතිහාසික යුගයට (ක්‍රි .ව. 4-8 අතර සියවස්වලට) අයත් බව දැනට අනුමාන කළ හැකි යැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුලියන්කුලම සිට නෙඩුන්කර්නි මාර්ගයේ නයිනමඩු මංසන්දියෙන් වමට සින්නඅඩම්පන් හරහා නයිනමඩු රක්ෂිතය තුළට කි.මී. 9.5ක් පමණ ගමන් කර රක්ෂිතය මැද පිහිටි සින්නමරුතන්කුලම්වැවේ සිට නැගෙනහිර දෙසට රක්ෂිතයට කි.මී.1ක් පමණ ගමන් ගත් විට මෙම ස්ථානය පිහිටා තිබේ.

මෙම පුරාවිද්‍යා ස්ථානය ඉදිරියේදී මැනුම්ගත කර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙන්කර මායිම් කණු යොදා, කැණීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට යෝජිත බව ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය අනුර මනතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

17 (සෙවි) විජයබා පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරීන්, වව්නියාව ප්‍රාදේශිය පුරාවිද්‍යා කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් මෙම පුරාවිද්‍යා ස්ථානය සොයාගැනීම සඳහා විශේෂ දායකත්වයක් ලබා දී ඇත. 




Source link