November 29, 2021

Ada Rata

All news in one location

වර්ණපුර ඝාතනය



ඊයේ පෙරේදා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි චරිතයක් දැයෙන් සමු ගත්තේය. ඔහු ස්වාභාවිකව මිය ගියේ පසුගිය දා උනත් ඔහුව ඝාතනය කලේ මීට වසර ගනනාවකට පෙරය !

ඕනෑම අවුලක් ලිහා ගැනීමට අප භාවිතා කරණ විකිපීඩියාවේ පමණක් නොව ඔහු උගෙන ගත් නාලන්දාවේ පොත් පත්වල; කොටින්ම උප්පැන්නයේ පවා ඔහුගේ උපන් දිනය ලෙස දාක්වා ඇත්තේ 1953 මාර්තු  1 වනදා ලෙස උවද සත්‍ය වශයෙන්ම ඔහු ඉපැදුනේ 1953 ජනවාරි 14 වෙනිදාය ! මේ කොහෙවත් නැති මාර්තු 1 වැනිදාවක් මේ සියළු ලිපි ලේඛන තුල රිංගෙන්නේ ඔහුගේ නම ලියාපදිංචි කල දිනය එදිනට යෙදී ඇති බැවිනි.

මීට කලකට පෙර මා ලියා ඇති  126.  පළමු ටෙස්ට් නායකයා බිහි වූ හැටි . . .!  පෝස්ටුවේ දැක්වෙන පරිදි බන්ධුල; වර්ණවත් වන්නේ පාසැල් ක්‍රිකට් ඇරඹීමත් සමගය.  

ඔහු නාලන්දයට ඇතුළුවන්නේ 1961 දී වන අතර ඔහු ක්‍රිකට් ක්‍රීඩා පුහුණුවීම් ඇරඹෙන්නේ 1962 වසරේ සිටය. දිගු කාලයක් 12න් පහල කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සිටින ඔහු හට මුල්වරට 14න් පහල කණ්ඩයම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ 1965 වසරෙදීය.

වයස අවුරුදු 14 ඉක්මවා මාස ගනනාවක් යන්නට මත්තෙන් ඔහු 19න් පහළ කණ්ඩායම  වෙනුවෙන් ක්‍රීඩා කලේය! ඔහු නාලන්දාවේ 19න් පහළ කන්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස වසර පහක් ක්‍රීඩා කලේය! 1972 වසරේදී ඔහු දිවයිනේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසට තේරුණි.  ඔහු දක්ෂ පන්දු යවන්නෙක්ද වූ බව; මහේළ ද පාසල් ක්‍රිකට් තුල පන්දු යැවූ බව මෙන්ම බොහෝ දෙනෙක් නොදන්නා තොරතුරකි. බන්ධුල දකුණත් පිතිකරුවෙකු වූ සේම දකුණතින් මද වේග පන්දු යැවූ ක්‍රීඩකයෙකි.

ඔහුගේ පාසැල් ක්‍රිකට් ජීවිතයේ  කූඨප්‍රාප්තිය ලෙස 1972 මාර්තු 25 වනදින පැවති 43 වැනි ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමයේදී ඊට වසර 43 කට පෙර පී එම් ජයතිලක විසින් තබන ලද ලකුණු 111 ක වාර්ථාව නොදැවී බිඳ හෙලීම දැකිය හැක.

1972 වසරේදීම මෙරටට පැමිණි මැලේසියානු කණ්ඩායම සමග පැවති එක් තරගයකදී ලකුණු 294 රැස් කලේය. එමෙන්ම එම තගයේදී නායක අනුර තෙන්නකෝන්  සමග දෙවන විකට්ටුව සඳහා ලකුණු 456 ක සබඳතාවයක් ගොඩනැංවීය. (අනුර – 221). එමෙන්ම 1973  පැමිණි පාකිස්ථාන වයස 25න් පහල කණ්ඩායම සමග පැවති නිල නොවන ටෙස්ට් තගයේදී පැය 8 කටත් වැඩි කාලයක් කඩුල්ල රැකගනිමින් සිට ලකුණු 158 ලබා ගනිමින් සුනිල් වෙත්තමුනි සමග ලකුණු 179 ක සබඳතාවයක් ගොඩ නැංවීය. (සුනිල් – 107) 1975 වසරේ එංගලන්තයේදී පැවති ප්‍රථම ලෝක කුසලාන තරඟාවලියේදීද ඔහු කැපී පෙනුනු ක්‍රීඩකයෙකු විය.

අනුර තෙන්නකෝන්ගේ ඉවත්වීමත් සමග  ක්‍රිකට් පිලේ නායකත්වයට පත් බන්දුල ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් නායකයා බවට පත්විය.  බන්දුල ක්‍රීඩා කලේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයටය. වසර තුනක් තිස්සේ  අන්තර් ක්‍රීඩා සමාජ අනුශූරතාවයෙන් සැනහී සිටි බ්ලූෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ශූරතාවේ ගුණ සුවඳ රස එක් කරණ්නේ බන්ධුය. ඒ 1981 වසරේදීය! ක්‍රිකට් ක්‍රීඩාව අප කෙතරම් වැළඳ ගත්තද එය සුද්දන්ගේ වැඩක් මිස අපේ දෙයක් නොවන බව අපට නොසිතුනාට සිතන හා සිතෙන පිරිසක් ඇත! ලංකාවේ ක්‍රීකට් ක්‍රීඩාවේ විවිධ වකවානු පැවතුනි! විදෙශිකයින්ගේ යුගය, රාජකීය ශාන්ත තෝමස්, ත්‍රිත්ව යුගය, ආනන්ද – නාලන්දා යුගය  හා පිට පලාත් යුගය ලෙස එය දැක් විය හැක. 

මයිකල් තිසේරා (මයිකල් හියු තිසේරා – ශාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස), අනුර තෙන්නකෝන් (අනුර පුංචිබංඩා තෙන්නකෝන් – අනුරාධපුරයේ ඉපිද වයස අවුරුදු 6 දී; ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලට ඇතුලත් විය.) වැනි  තෝමසුවන්ගෙන් පසුව ආනන්ද – නාලන්දා යුගයට සංක්‍රමණයේ කූඨප්‍රාප්තිය  බන්ධුල වර්ණපුර ලංකා කණඩායමයේ නායකත්වයේ දොර අභියස සිටීම විය. එය කෙළවර වූයේ ඔහු එහි හිඳුවමින්ය. එය එසේ නොකර සිටීමට බැරි වීමක් ම විය. උදාහරනයක් ලෙස; ඩී ඇස්, ඩඩ්ලි, කොතලාවල, ජේ. ආර් යන කොම්ප්‍රදෝරු ධනපති පන්තිය අතින් අත මාරුවූ යූ ඇන් පියේ නායකත්වය ප්‍රෙමදාස වෙත ලබා දුන්නේ එසේ නොකර සිටීමේ කුමන හෝ හේතුවක් නොමැති වූ  නිසාමය!

1974 ඉංදීය සංචාරයේදී  බන්ධුල ඇතුළු පිරිස දිල්ලි නගරයේ සිට අහමලාබාද් නගරය වෙත පැය 20 ක පැය කිලෝමීටර 854 ක දුරක් දුම්රිය ගමනකට සහභාගී විය.  17 දෙනෙකුගෙන් සමන්විත් පිරිස සඳහා දුම්රිය සයන  Berth (Sleeping) කොට තිබුනේ 14 දෙනෙකු සඳහා පමණි. මේ නිසාම බන්ධුල ඇතුළු තවත් තිදෙනෙකු හට ඇඳන් නොසයන හෙවත් ඇඳන් නොමැතිවිය! ඒ වන විටත් තම තමන්ගේ ඇඳන් වෙන්කරගෙන සිටි කණ්ඩායමේ කළමණකරු, නියොජ්‍ය කළමණාකරු හා නායකයාහට මේ පිළිබඳව දැන්වූ විට ඔවුන්ගේ සෘජු පිළිතුර වී ඇත්තේ “කලින් ඇවිත් වෙන්කර නොගත්තාට අපි මොනවා කරණ්නද?” යන්නයි. මේ නිසාම නාලන්දයේ බන්ධුල වර්ණපුරටත්, එම පාසලේ අනුර රණසිංහටත්, ආනන්දයේ අජිත් ද සිල්වාටත් මුළු ගමන පුරාවටම නිදිවර්ජිතව සීතලේ ගැහෙමින් ගමන් කිරීමට සිදුවිය.

තමන් යම් දිනෙක කණ්ඩායමේ නායකත්වයට පත්වූ දිනෙක මෙවන් අකටයුතු කම් සිදු නොවීමට වග බලා ගන්නා බව එදා ඔහු සිතූ බව; පසු කලෙක මාධ්‍ය සමග කල පිළිසඳරකදී බන්ධු පවසා සිටියේය. 

සෑම ආයතනයක වාගේම තිබෙනා කල්ලි වාදය හා එය ඉදිරියට පවත්වාගෙන යන්නවුන්, එයට ආවඩන උන්, ඊට උල්පන්දම් දෙන උන් මෙන්ම නායකත්වය සපයන උන් ද සිටී. පංසලක් ගත්තද, පාසැලක් ගත්තද, රටක් ගත්තද මේ තත්වය අප රටේ සාමාන්‍ය තත්වයකි. (මීට “පල්ලියක්” යන වචනය එක් නොකලේ ඒ පිළිබඳව මා නොදන්නා බැවින්ය! තතු දත්තෝ කොමෙන්ටු සපයත්වා!)

ක්‍රිකට් ක්‍රීඩා පරි පාලනය පිළිබඳව තව කුමන කථාද? මේ ලෙසින්ම බන්ධුල නායකත්වයට පැමිනෙන විටම ඊට ප්‍රථිරෝධයක්ද පැන නැගී තිබුනි! එහි ප්‍රධාන එදිරිවාදියා  ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධරයෙකු වීම බන්ධුලගේ ක්‍රිකට් ජීවිතය මිලින කිරීමට සෘජු දායකත්වයක් සැපයීමට ප්‍රධාන කාරණාවක් විය! බන්ධුල නායකත්වයට පත්වී දින දෙකක්  ගතවන විට ඔහුව ඉන්  ඉවත් කිරීමට පිඹුරුපත් සකස් කිරීම ඇරඹිනි. ඔහු ඔබ්සර්වර් පත්‍රයේ එම්. කේ. සමාත් සහ ඒ. සී. සිල්වා වෙත ලබාදුන් ලිපියක් මීට ප්‍රධානහේතුව වන්නට ඇතැයි බන්ධුල සැක කරණ ලදී. “ලංකාවේ සුදුසු පුහුණු කරුවන් නැත්නම් විදෙස් පුහුණු කරුවන්ගේ හෝ සේවය ලබා ගත යුතුය!” යන ප්‍රකාශය ඊට ප්‍රධාන හේතුව උනා. එකල ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටි පුහුණු කරුවන් තිදෙනා ලබා තිබුනේ පාකිස්ථානයේ සති තුනක පුහුණුවක් පමණක් වීම මීට හේතු විය. ඉහත ප්‍රකාශයෙන් වඩාත්ම කලබලයට පත්වූයේ මෙම ත්‍රිත්වයයි. ඒ සමගම රන්ජිත් ප්‍රනාන්දුත් (එඩ්වර්ඩ් රන්ජිත් ප්‍රනාන්දු – ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය), අනුර තෙන්නකෝනුත්, නිසාල් සේනාරත්නත් (ප්‍රින්ස් ඔෆ් වේල්ස් – මොරටුව) බන්ධුට යෝජනා කොට ඇත්තේ ප්‍රාකශය ඉල්ලා අස්කරගෙන පුහුණු කරුවන්ගෙන් සමාව ඉල්ලන ලෙසය! ඊට බන්ධුල එක හෙලාම විරුද්ධ වූ අතර ඉන් වසර දෙකක් ගතවන්නට මත්තෙන් විදෙස් පුහුණුකරුවන් ගෙන්වීමට පාලක මණ්ඩලය පියවර ගත්තේය. ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ද ඒ අතර විය!

මෙම නිළධරයා වරෙක  බන්ධුගේ පියා දොස්තර ප්‍රනාන්දු හට පැවසූවේ “බන්ධුට නායකත්වය කරගෙන යාමට අවශ්‍යය වේනම් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයෙන් ඉවත් වෙන ලෙසය!

මෙම තත්වය උග්‍ර අතට හැරෙන්නේ ඔහුගේ අවසන් ටෙසට් සංචාරය වන 1982 සැප්තැම්බරයේ ඉංදියාවේදීය. ඉන්දියාවේ මදුරාසියේ පැවැත්වූ ටෙස්ට් තරගයේ තුන් වෙනි දින රාත්‍රී භෝජන සංග්‍රහයේදී සුනිල් ගවස්කාර් විසින් කල ප්‍රකාශයක් මීට හේතු විය. එම තරගයේදී දුලිප් මෙන්ඩිස් පිත්තෙන් ඉතා හොඳ දස්කම් දැක්වූ අතර “අද තරගයේදී පිතිකරණයෙන් දස්කම් පෑව දුලිප් මෙන්ඩිස් කිසිවිටෙකත් වර්ණපුර නොසිටින්න මෙම චාරිකාව කරන්නේ නෑ!” යන්න එම ප්‍රකාශයයි

මම ප්‍රකාශය සත්‍යක් උවත් එය සුනිල් දැන්ගෙන තිබුනේ තරගය නැරඹීමට ගිය වෙනත් පාලක මණ්ඩලයේ නිළධාරියෙකු වෙතිනි. එහෙත් පසු දිනම නායකත්වයෙන් පහකොට නැවත ලංකාවට ගෙන ඒමට මණඩලය සැරසුනද; ඒවකට ක්‍රිකට් අධිකාරියේ සභාපති චන්ද්‍රා ෂාෆ්ටර් මහතා (චන්ද්‍රා තෝමස් ඇඩොල්පස් ෂාෆ්ටර් – ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස.) වෙත බන්ධුල කල ඉලීම සලකා බලා එය නොකෙරුණි. ඒ පලමුව සුනිල් වෙතින් ඒගැන සොයා බලා දඬුවම් කරණ මෙන් බන්ධුල; ෂාෆ්ටර්ගෙන් කල ඉල්ලීමේ ප්‍රථිපලයකි.

සැප්තැම්බරය වන විට බන්ධුලගේ නායකත්වය වෙත එල්ල කෙරෙන පීඩනය බොහෝ සෙයින් දැඩි විය.

ඒ වන විය 1961 වසරේදී පටන් ජාත්‍යන්තර හුදෙකලා කරණය කිරීම තුල දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාව හෙම්බත්ව සිටි අවධියකි. ඒ නිසාම ජාත්‍යන්තර කණ්ඩායම් එරටට ගෙන්වා ගැනීමට ඔවුන් යන්ත දැරීය. 80 ව දශකයේ මෙවන් කැරළිකාර කණ්ඩාම් රැසක් එරටට සංචාරය කලෝය. ඉන් පලමු වැන්න ලෙස මතකයට එන්නේ  ක්‍රිකට් උපන් රටේ කණ්ඩායම 1981 – 82 කාලයෙදී කැරළිකාර සංචාරයකට සහභාගී වීමය. එම කණ්ඩායම සහභාගී වූ පිරිස එනම් කණ්ඩායම තුල ග්‍රැහැම් ගූච්, ජෙෆ් බෝයිකොට්, ඩෙරෙක් අන්ඩර්වුඩ්, බොබ් වුල්මර් ආදීන්ගෙන් සමන්විතවිය.

මෙම කාලය වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාලක මණ්ඩලය අතර විවිධ ඝට්ටන ඇතිවී කණ්ඩයමේ ශෝදරත්වය බිඳවැටෙමින් තිබුනු කාලයයි. මෙම අර්භූධ බොහොමයක ස්ව්‍යංක්‍රීයව හටගත් ඒවා නොව කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක මෙහෙයවීම මත බිහිවූ ඒවාය. මෙම තත්වය තේරුම් ගත් ක්‍රීඩක ටෝනි ඕපාත (ඇන්ටනි රැල්ෆ් මැරිනන් ඕපාත – ශාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය) දකුණු අප්‍රිකාවේ චාරිකාවක් පිළිබඳව සිතන්නට විය. මීට හේතු කාරණ ගනාවක් තිබිය හැක!  ඔහු 1975 සිට 1979 දක්වා ජාතික කණ්ඩායමට සිටියත් ටෙස්ට් කණ්ඩායමය්ට ඔහුට ඇතුලත් වීමට නොහැකිවිය.  ඒනිසාම ඔහුට තවදුරටත් රැකගත යුතු දෙයක් “ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තුල තිබුනා දැයි; මා හට මේ ලියන මොහොතේවත්  දැනෙන්නේ නැත! ඒ පිළිබඳව ඔහු පලමුව සාකච්ඡා කොට ඇත්තේ දුලිප් මෙන්ඩිස් (ලුයිස් රොහාන් ඩුලිප් මෙන්ඩිස් – ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව  සහ ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස) හා රෝයි ඩයස් (රෝයි ලූක් ඩයස් – ශාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය) යන අය සමගය! 1982 මාර්තු මැද වනවිට ටෝනි ඕපාත සිටියේ ඕලන්දයේ ය. එසේ ගතකරමින් සිටියදී; දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංගමයේ සභාපති ජෝ පැමෙන්ස්කි සමග ඇතිකර ගත් සබඳතාවය මත ඔහු ක්‍රියාන්විතය ඇරඹූබව පසුව මාධ්‍ය වෙත ටෝනි ඕපාත පවසා ඇත! 

ජෝ පැමෙන්ස්කි වෙත යැවූ ලිපියට පිළිතුරු ලෙස දින 5 ක් තුලදී ඔහු ඕලන්දයේ සිටි ටෝනි ඕපාත හට කතා කොට ඇති අතර ඔහු විපිලිසර වී ඇත්තේ කණ්ඩායම කුමක්දැයි කියාය! ඊළඟ ගැටළුව වූයේ කණ්ඩායමක් එකතු කර ගැනීමය. ටෝනි වහාම දුලිප් මෙන්ඩිස්ගේ නිවසට කථා කොට කණ්ඩායමේ විස්තර සකස් කර ගත්තේය. කණ්ඩායමේ නම් ලැයිස්තුව; පැමෙන්ස්කි වෙත දැනුම් දුන් සැණින් ඔහුගේ ප්‍රථම පැනය වී ඇත්තේ “කෝ නායකයා?” යන්නය! එසේම අසන්ත ද මෙල් (අසන්ත ලක්දාස ෆ්‍රැන්සිස් ද මැල් – ඉසිපතන විද්‍යාලය, තිඹිරිගස්යාය හා රාජකීය විද්‍යාලය, කොළඹ), රන්ජන් මඩුගල්ල (රන්ජන් සෙනරත් මඩුගල්ල – ට්‍රිනිටි විද්‍යාලය, මහනුවර සහ රාජකීය විද්‍යාලය, කොළඹ), සිදත් වෙත්තමුණි (ආනන්ද විද්‍යාලය, කොළඹ) යන ක්‍රීඩකයින් පිළිබඳවද ඔහු වඩාත් උනන්දුවූ අතර බන්ධුල වර්ණපුර හෙවත් නායකයා මෙම කණ්ඩායමට ඇතුළු කර ගෙන්නේ නම් ඉතිරි අය අමතක කර දැමිය හැකි බව දැන්වීය. 

සියළු අවසාන ගිවිසුම් පිළිබඳව සාකච්ඡා කිරීමට ඕලන්දයේ සිට දකුණු අප්‍රිකාව බලා යන ටෝනි නැවතත් ඕලන්දයට පැමිණෙන විට දුලීප් මෙන්ඩිස් ගෙන් ලිපියක් ලැබී තිබුනි. ඔහු ඉල්ලා සිටියේ ඔහුත් ඔහුගේ මිතුරු රෝයි ඩයසුත් ක්‍රීඩා කරණ වෙලඳ සේවා ක්‍රිකට් කුසලාන තරගාවලිය අවසන් වනතුරු දකුණු අප්‍රිකා චාරිකාව කල්දමන ලෙසය!

අගෝස්තු මැදදී ලංකාවට පැමිණෙන ටෝනි තම නිවසේදී කණ්ඩායමට ගිවිසුම් පත්‍ර කියවීමට ලබාදී වැල්ලවත්තේ වර්ණපුර ගේ නිවසේදී ඔහුව මුණගැසී චාරිකාව පිළිබඳව යෝජනාව ඉදිරිපත් කරණ ලදී. පසුදින දකුණු අප්‍රිකාවේ කොලින් රෂ්මෙයර් ලංකාවට පැමිණි අතර ටෝනිගේ නිවසේදී වර්ණපුර හැර කණ්ඩායමේ සියළු දෙනා ඔහු ඉදිරියේ ගිවිසුම් වලට අත්සන් කරණ ලදී. තම බිරිඳෑවරුණට පවා; මෙම රහස් මෙහෙයුම පිළිබඳව නොකියා සිටින්නට පරිස්සම් වෙන්නයැයි අප අතරේ එකඟතාවයක් තිබුනද දුලිප් මෙන්ඩිස් හා රෝයි ඩයස් ගිවිසුමට අත්සන් කරණ්නට පැමිණියේ තම බිරිඳෑවරුන් සමගින්මය! කොලින් රෂ්මෙයර් හා ටෝනි ඕපාත හැරුණු විට කිසිවෙක් මෙම චාරිකාව සඳහා වර්ණපුර සහභාගී වීමට එකඟ වීම පිළිබඳව දැනගෙන සිටියේ නැත! වර්ණපුර ගිවිසුමට අත්සන් කලේ රෂ්මෙයර් නැවතී සිටි ලංකා ඔබරෝයි හෝටල් කාමරයේදීය.

හරියටම ඊට දින තුනකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉංදියාව බලා පිටත්ව ගියේය.  කණ්ඩායම ඉංදියාවේ සිටිනාතරතුර මෙරට එක්තරා ඉංග්‍රීසි පුවත් පතක පලවූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කණ්ඩායමක් දකුණු අප්‍රිකාව බලා යෑමේ සැලසුම ඇතිබවය!

පුවත් පත වෙළෙඳ පොලට පැමිණ ස්වල්ප වේලාවකට පසුව දුලීප් මෙන්ඩිස්ගේ බිරිඳ  ටෝනි ඇමතුවාය.

එම සංචාරයේදී දුලීප් මෙන්ඩිස්; එක් තරඟයකදී  ඉතා වටිනා ශතක දෙකක්  ලබා ගත් අතර රෝයි ද සුපුරුදු දක්ෂතා පෙන්වන ලදී. වර්ණපුරට පිත්තෙන් සුවිසල් මෙහෙයක් ඉටු කරලීමට නොහැකි වුවත් ඔහුගේ ඥානාන්විත නායකත්වය ලොවටම පෙන්වීමට හැකිවිය.

ශ්‍රී ලංකා පිල; ඉංදියාවේ සිට මෙරටට සැපත් විය. එම රාත්‍රියේ කණ්ඩායම වෙනුවෙන් එක් ක්‍රීඩකයෙකුගේ නිවසක භෝජන සංග්‍රහයක් පැවැත්විය. එයට පාලක මණ්ඩලයේ නිළධාරීන්ද සහභාගී වී සිටි අතර එක් මොහොතක දුලිප් මෙන්ඩිස් නිළධරයින් දෙදෙනෙකු සමග එම නිවස පිහිටි වත්තේ එක් කොණක රහස් සාකච්ඡාවක් පවත්වනු ටෝනි ඕපාතගේ නිරීක්ෂණයට ලක්විය!  ඒ පිළිබඳව දුලිප් ගෙන් විමසූ විට “මා ගැන බය වෙන්න එපා! මම් ටෝනිත් එක්කයි!” දුලිප් පැවසූ බව ටෝනි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇත!

ඉන් පසුව දින දෙක ටෝනි විසින් දුලිප් මෙන්ඩිස්ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලද ඔහුට කථා කිරීමට නොහැකිවූ අතර ඊටත් දිනකට පසු නාවලදී හමුවී ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ ඔහුත් එනම් දුලිප් මෙන්ඩිස් හා ඔහුගේ මිතුරා වන රෝයි ඩයසුත් දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත්වන බවය!

කන්ඩායම හොර රහසේ 1982 ඔක්තෝබර් 18 වන දින දිවයිනෙන් පිටත්ව දකුණු අප්‍රිකාව බලා පිටත්වූ අතර නැවත 1982 දෙසැම්බර් 18 වන්දින මෙරටට පැමිණුනි. කැර්ළිකාර කණ්ඩායමට වසර 25ක ක්‍රීඩා තහනමක් පැනවුනි! එය දිග හැර දක්වනවා නම් ‘අවුරුදු 25ක් යනතුරු ජාත්‍යන්තර තරග වලදී ලංකා කණ්ඩායමට ඇතුලත් වීම තහනම්ය. පාලක මණ්ඩලයෙන් අනුමත කරන ලංකාවේ පැවැත්වෙන කිසිදු තරගයකට සහභාගී වන්නට නොහැක. පාලක මණ්ඩලයට සම්බන්ධ කිසිදු සමාජයක කිසිදු තනතුරක් දැරීමට නොහැක! කොටින්ම පාලක මණ්ඩලය හා එවකට ක්‍රීඩා ඇමති වරයා වන වින්සන්ට් පෙරෙරා විසින් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා ජීවිතය ඝාතනය කරණා ලදී!

 ක්‍රිකට් උපත ලද එංගලන්ත කණ්ඩායම මෙවැනිම අවස්ථාවකට මුහුණ දුන් පසු ඔවුනට පැනවූ දඬුවම වූයේ වසර 3 ක ක්‍රීඩා තනමක් පමණි. නමුත් එය පසුව ලිහිල් කොට වසර තුන ගෙවීයන්නට මත්තෙන් ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථා ලබා දුන් බව මාහට මතකය! 

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදි කරුණු දැක්වූ විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක (රාජකීය විදුහල) “තමුන්නාන්සෙලා දකුණු අප්‍රිකාව සමග වෙළෙඳ ගනු දෙනු කිරීමත් වැරදියි නේ!?” යනුවෙන් පැවසුවද  සිදුවූ වෙනසක් නොවීය. හලීම් ඉශාක් මන්ත්‍රී වරයා මෙම දඬුව ලිහිල් කර ගැනීමට බොහෝ සෙයින් උත්සාහ කලේය! මෙහිදී රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමති හරේන්ද්‍ර කොරයා (ශාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස.) කිසිදු බුරුලක් නොදැක්වූ බව හැන්සාඩ් වාර්ථාවල සඳහන් වේ.

මේ සියළු කුමන්ත්‍රණ හමුවේ ඉතාමත් උපක්‍රමශීලී නායකයකු වූ වර්ණපුර, වමත් දඟපන්දු යවන අජිත් ද සිල්වා, එකල සිටි දක්ෂතම කඩුළු රකින්නෙකුවූ ඕස්ට්‍රේලියාවේ රොඩ්නි මාෂ් සමග එක පෙලට තැබිය හැකිව සිටි මහේෂ් ගුණතිලක හා තුන් ඉරියව්වෙන්ම කැපී පෙණුනු නායකත්වයේ අංකුරයක්ව සිටි අනුර රණසිංහ ඇතුළු පිරිසකගේ ක්‍රීඩා ජීවිතය සදහටම නිහඬ කරණ ලදී. එම තහනම ඉවත් කලේ තවත් වසර 9 කට පසුවය! පසු ගියදා ස්වභාවිකව මිය ගියද බන්ධුල වර්ණපුර ඝාතනය කරණු ලැබූවේ එසේ කුමන්ත්‍රණයක් මගිනි!

කැරැල්ලේ විත්තිකරුවෝ:-
බන්ධුල වර්ණපුර        – නාලන්දා                       – බ්ලූම්ෆීල්ඩ්
ලලිත් කළුපෙරුම       – නාලන්දා                        – බ්ලූම්ෆීල්ඩ්
අනුර රනසිංහ             – නාලන්දා                        – බ්ලූම්ෆීල්ඩ්
හේමන්ත දේවප්‍රිය       – නාලන්දා                        – කොළඹ ක්‍රීඩා සමාජය
බන්දුලද සිල්වා           – නාලන්දා                         – මොරටුව ක්‍රීඩා සමාජය
අජිත් ද සිල්වා             – ආනන්ද                           – බ්ලූම්ෆීල්ඩ්
ෆ්ලේවිය අපෝන්සු    – ශාන්ත සෙබස්තියන්         – බ්ලූම්ෆීල්ඩ්
ලන්ත්‍රා ප්‍රනාන්දු          – ප්‍රින්ස් ඔෆ් වේල්ස්            – මොරටුව ක්‍රීඩා සමාජය
මහේෂ් ගුණතිලක       –  ශාන්ත අන්තෝනි          –  මහනුවර ක්‍රීඩා සමාජය
නිර්මාල් හෙට්ටිආරච්චි – කොළඹ රාජකීය           – කොළඹ ක්‍රීඩා සමාජය
ටෝනි ඕපාත                – ශාන්ත පීතර                  – එන් සී සී
බර්නාඩ් පෙරෙරා          – ශාන්ත අන්තෝනි          – මහනුවර ක්‍රීඩා සමාජය
ජෙරී වවුටර්ස්                – කේරි විදුහල                  – බී ආර් සී

දඩයම දෙස බලා දඩයක්කරු සොයාගන්න . . . . . . .!

තට්ටයාගේ කොලම




Source link