December 5, 2021

Ada Rata

All news in one location

ලෝක පරිසර දිනය 2021 වෙනුවෙන් විපක්ෂ නායකවරයාගේ විශේෂ පණිවුඩය



ලෝක පරිසර දිනය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කරන ලද විශේෂ පණිවිඩය පහතින් දැක්වේ. 

********************************

“පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම” තේමාකර ගෙන මෙවර ලෝක පරිසර දිනය සමරනුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ක්‍රියාත්මක කරන “පරිසර පද්ධති ප්‍රතිස්ථාපන 2021-2030 දශකය” ට සමගාමීව වීම මෙවර විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ප්‍රධාන ධාරාවේ හරිත දේශපාලන පක්ෂය වන සමගි ජනබලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ අපගේ වගකීම නොපිරිහෙළා පාර්ලිමේන්තුව තුල ඉටු කරන බව පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා ලෙස මම ඉතා වගකීමෙන් සදහන් කිරීමට කැමැත්තෙමි.

එසේම පර්ලිමේන්තුවෙන් පිටත ක්‍රියාත්මක කරන “ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම” විශේෂ වැඩසටහන හරහා අප පිහිටුවන ඉදිරි රජයක් තුළින් දශක ගණනාවක් තුල නොයෙකුත් රජයන් යටතේ සිදුවූ අඩුපාඩු ගැන අවධානය යොමු කර, ඉදිරි සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමේදී තිරසාර පරිසර සංරක්ෂණයට ප්‍රමුඛතාවය ලබාදීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ඒ සදහා අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය නියෝජිතයන් සියලු දෙනාටම අවශ්‍ය දැනුම ලබාදීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු ආරම්භ කර ඇත. 

එසේම, ඉදිරියේදී  පිහිටුවන අපගේ රජයක් තුළින් විද්‍යාත්මක පදනම මත අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබාදීමටත්, සංරක්ෂණ භූමි වලින් පිටත සිටින වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇති කොටි ඇතුලු අනෙකුත් සත්ව විශේෂ ආරක්ෂා කිරීමටත්, ඒ ප්‍රදේශවල ජීවත්වන ජනයා අරක්ෂා කිරීමටත්, ප්‍රජාමූල විශේෂ වැඩසටහන් ආදිය මනා අධ්‍යනයකින් පසු සකස් කිරීමට අවශ්‍ය  කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. මීට අමතරව තල්මසුන් ඇතුලු වෙනත් ආරක්ෂා කලයුතු සමුද්‍රීය සත්ව කොට්ඨාස ඇතුලත්වන තිරසාර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කිරීමට අප කටයුතු යොදනු ඇත. 

ඉදිරියේදී පිහිටුවන අප රජයක් යටතේ පරිසරය සහ වන සතුන් ආරක්ෂා කිරීමට සහ සංරක්ෂණය කිරීමට දැනට ස්ථාපිත කර ඇති වනජීවී, වන සංරක්ෂණ ඇතුලු අනෙකුත් දෙපාර්තමේන්තුවලට වඩාත් කාර්යක්ෂම සේවයක් අභිමානයෙන් කරගෙන යාමට අවශ්‍ය නවීන තාක්ෂණය යෙදාගැනීමටත්, මානව සම්පත් සංවර්ධන වැඩසටහන් ඇතුලු අනෙකුත් පහසුකම් සකසා දීමටත් අදහස් කෙරේ. 

ඒ සදහා අදාළ ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කර, එම වැඩසටහන් ඉදිරි වසර කිහිපය තුළ සැලසුම් කිරීමටත්, අපගේ රජයක් යටතේ ඉතා කාර්යක්ෂමව සහ යුහුසුලුව එම සැලසුම් ක්‍රියාත්මක කිරීම සදහා සහයෝගය ලබාදීමට අප සමග අත්වැල් බැඳ ගැනීමට විෂයානුබද්ධ, ප්‍රාමාණික දැනුමක් ඇති දෙස් විදෙස් විද්වතුන් සහ සංවිධාන රාශියක් දැනටමත් කැමැත්ත පල කර ඇති බව සතුටෙන් සදහන් කරනු කැමැත්තෙමි.

පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගෝලීය වශයෙන් ප්‍රමුඛතාවය දීම සිදුවන මෙවන් යුගයක, අවාසනාවන්ත ලෙස, අපේ රටේ ඉතිහාසයේ කවරදාටත් වඩා පරිසර සංරක්ෂණයට අවධානය යොමු නොවන පසුබිමික මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් මෙම පණිවුඩය නිකුකිරීමට සිදු වීම පිළිබඳව අවංකවම කණගාටු වෙමි. 

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ප්‍රධාන ධාරාවේ හරිත දේශපාලන පක්ෂය ලෙස සමගි ජනබලවේගය ඉතාමත්ම කැපවීමෙන් සහ වගකීමෙන් පරිසර සංරක්ෂණය උදෙසා ඉදිරියට කටයුතු කරන අතරම සෑම අංශයකම පරමාදර්ශී වෙනසක් සිදුකිරිමට පෙරමුණ ගන්නා බවද ඉතා වගකීමෙන් සඳහන් කරනු කැමැත්තෙමි.

– සජිත් ප්‍රේමදාස
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක




Source link