October 19, 2021

Ada Rata

All news in one location

ලොක්ඩවුන් කිරීම ගැන අදත් තීරණයක් නෑ ! එන්නත්කරණය කඩිනම් කරයි !



කොවිඩ් මර්දනයට අදාල විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේ විශේෂ රැස්වීමක් අද (10) සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

දෛනික කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 2500 ඉක්මවා ඇති බැවින් රටම වසා දැමීමට තීරණය කරනු ඇතැයි මත පළවුවද එවැනි තීරණයක් ගෙන නොමැත. කෙසේ නමුත් කොවිඩ් වසංගතය පාලනය කිරීම සහ මර්දනය කිරීමට අදාල තීන්දු තීරණ කිහිපයක් මෙම රැස්වීමේදී ගෙන තිබෙනවා.

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාවය ලබාදෙමින් රටපුරා ව්‍යාප්ත කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මේ වනවිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සිදු කරන අතර ඊට අමතරව චීන සිනොෆාම් එන්නත සහ රුසියානු ස්පුට්නික් එන්නත ලබාදීමද ආරම්භ කර තිබේ.

ප්‍රාදේශීය වශයෙන් පිහිටුවා ඇති එන්නත්කරණ මධ්‍යස්ථාන ප්‍රමාණය දෙගුණයක් දක්වා වර්ධනය කිරීමටද තීරණය කෙරිණි.

ආසාදිතයන් ප්‍රමාණය වැඩිවීම හමුවේ දෛනිකව සිදු කරන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය ඉහළ දැමීමට තීරණය කර ඇති අතර ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් රසායනාගාර ප්‍රමාණය වැඩි කිරීමටද අපේක්ෂිතය. මීට අමතරව ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණද වැඩි කිරීමට තීරණය කර තිබේ.

ඉදිකරමින් පවතින අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ඔක්සිජන් ඇතුළු සියලු පහසුකම් කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඊට අවශ්‍ය උපකරණ ඉතා ඉක්මනින් මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා.

පීසීආර් රසායනාගාර ප්‍රමාණය වැඩි කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කොවිඩ් මර්දන අරමුදලින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා තිබෙනවා.

UN




Source link