November 29, 2021

Ada Rata

All news in one location

ලබන වසරේ සිට දිවයින පුරා වැලි බෙදාහැරීමේ වෙනසක්


දිවයින පුරා වැලි බෙදාහැරීම් කටයුතු ලබන වසරේ සිට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ සිදු කිරීමට අවධානය යොමු වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

වැලි බෙදාහැරීමේ දී අතරමැදියන් විසින් වැලි මිල දී ගන්නන්ගෙන් ඉහළ මිලක් අයකිරීම වැළැක්වීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වැලි බෙදාහැරීමේ කටයුතු විධිමත් කිරීම සඳහා වැලි තොටුපොළ හිමිකරුවන් හා ටිපර් රථ රියදුරන් සමග පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ වැලි බෙදාහැරීමේ කටයුතු කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද තමන්ට උපදෙස් දුන් බවත්, වැලි බෙදාහැරීමේ දී අතරමැදියන් විසින් පාරිභෝගිකයින් ගසා කෑම වැළැක්වීම සඳහාත්, ගුණාත්මක බවින් ඉහළ වැලි මහජනතාවට ලබාදීමත් අරමුණු කර ගනිමින් මෙම පියවර ගන්නා බවත් පැවසුවා.

දැනට වෙළෙඳපොළේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ මනම්පිටිය වැලිවලට වුවත් ඇතැම් අතරමැදියන් මනම්පිටිය වැලිවලට වෙනත් වැලි මිශ්‍ර කර වැඩි මිලකට අලෙවි කරන බවත්, මේ වනවිට මනම්පිටියෙන් රුපියල් 4,830කට මිල දී ගන්නා වැලි කියුබ් එකක් වෙළෙඳපොලට එනවිට රුපියල් 6,550ක් දක්වා ඉහළ යන්නේ ද අතරමැදියන් සිදු කරන ගසා කෑම නිසා බවයි වැඩිදුරටත් පැවසුවේ.
(colombotimes.lk)

Viber



Source link