October 28, 2021

Ada Rata

All news in one location

රෝහණ විජේවීර එකඟ වූ කාබනික පොහොර තීන්දුවට ජවිපෙ අකමැත්ත සාදාරණද


ඈත අතීතයේ සිට අපේ රට සහලින් ස්වයංපෝෂිත වූවා සේම ජාතියක් ලෙස නීරෝගි පරපුරකට උරුමකම් කියූ බව නොරහසකි. සොබාදහමේ ආශිර්වාදය නොඅඩුව හිමි වූ රටක් වශයෙන් විවිධ තාඩන පීඩන හමුවේ අකම්පිතව ඉදිරියට ආවේ නීරෝගිමත් ජවසම්පන්න ජාතියක් වශයෙනි. ලෝකය තුළ පවතින රටවල් අතර, වැවෙන රටවල් සහ ‍වවන රටවල් වශයෙන් දෙකොටසකට බෙදා දැක්වීමට පුළුවන. ඒ අනුව කොස් ගසක් පාමුල බැලුව හොත් විවිධ සතුන් කා දැමූ වරකා වැල ගෙඩිවල ඇති කොස් ඇට පැළ වී ඇත්තේ කිසිදු ආයාසයකින් හෝ කිසිවෙකුගේ සාත්තු කිරීමකින් තොරවයි. මේ අයුරින් බොහෝ ගස්වල ඇට වර්ග පැළ වී විශාල ගස් බවට පත් වූයේ මේ භූමියේ ඇති සාරවත් බව නිසාය. අනෙක ජීවවිද්‍යාත්මක බලන කල ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය ඉතා සාර්ථක අයුරින් සිදු වන්නේ ජලය ඇතුළු පෝෂ්‍ය පදාර්ථ ඉතා ඉහළ අන්දමින් පවතින නිසාය. කුරුල්ලන් කා දමන පලතුරු වල වසුරු පිඩකින් පවා තුරුලතා උපදින්නේ මේ භූමිය සාරවත් පින්බිමක් බව පසක් කරමිනි.

අපේ රටේ ගෙවත්තක් හෝ වගාබිමක් දින 60ක් වැනි කෙටි කාලයක් තුළ කිසිදු මිනිස් ක්‍රියාකාරකමක් නොකොට සිටියත් මුළු වගා බිමත් නිවසත් යටකරගෙන ගස් වැල්වලින් වසා ගෙන කැලයක් බවට පත් වෙයි. මෙය ‘වල් බිහි වීම’ ලෙස අපි හඳුන්වමු. මෙම වල් බිහි වීම ද මේ පුණ්‍ය භූමියේ ඇති තවත් ගුණාංගයකි. ඉතා ශුෂ්ක පරිසර කලාපයක් වන හම්බන්තොට දිස්ත්‍රික්කය ද මෙම ගුණයෙන් පිරිපුන් වෙයි. ‘බැද්දේගම’ නවකථාවේ අවසාන පරිච්ඡේදයේ ‘පුංචි මැණිකාගේ පැල් කොටය කැලේ විසින් වසා ගන්නා ලදී’ යනුවෙන් දක්වා ඇත්තේ මේ වල් බිහි වීමේ ගුණාංගයයි. මෙම වල් බිහි වීමට අදාළ වන ශ්‍රී ලාංකීය භූමිය සුවිශේෂී ව්‍යුහාත්මක කරුණු අටකින් සමන්විත වේ. ශ්‍රී ලංකාව පැය 12ක දහවල් කාලයක් සහ පැය 12ක රාත්‍රී කාලයක් ඇති රටක් වීම, ජෛව ජීර්ණ ක්‍රියාවලියට වඩාත් ප්‍රශස්ත පාරිසරික උෂ්ණත්වයක් පැවතීම, වායුගෝලයේ ආර්ද්‍රතාවය මෙම ජීරණ ක්‍රියාවලියට මහඟු පිටිවහලක් වීම, ක්ෂුද්‍ර ජීවී ලෝකය, ශාක ලෝකය සහ සත්ත්ව ලෝකය තුළ අපේ රටේදී පුදුම එලවන සුලු ජෛව විවිධත්වයක් පැවතීම, මධ්‍ය කඳුකරයක් සහ ගංගා 108ක් සහිත අරීය ජල වහන පද්ධතියක් සහ අතු ගංගා 53ක් සහිත විස්මිත හෘදය සහ රුධිර වාහිනී පද්ධතියක් ලෙස පිහිටීම, නිරිත දිග මෝසම් වැසි සහ ඊසාන දිග මෝසම් වැසිවලින් ක්‍රමානුකූලව දෙකන්නයට වර්ෂාව ඇදහැළීම, අන්තර් මෝසම් වැසිවලින් ජෛව ජනක ක්‍රියාවලිය ප්‍රබෝධවත් වීම සහ කන්න දෙක නයිට්‍රිකරණය කරලීම, සූර්ය වර්ණාවලියේ විමෝචන වර්ණයන් මාසයෙන් මාසයට විවිධත්වයෙන් සැපයීම, ඉතාම තිරසාරවත්ව මිනිස් ක්‍රියාකාරකම් මඟින් ගොඩනැඟුණු වැව් පද්ධතියක්, ජල පෝෂක ප්‍රදේශ වැව් තාවුල්ල සහ එල්ලන්ගා පද්ධතියක් ක්‍රියාත්මක වීම, සෑම ශාකයකම පවතින පාරිසරික ගුණාත්මකභාවය, පෝෂණ ගුණාත්මකභාවය හා ඖෂධීය ගුණාත්මකභාවය පිළිබඳව තුලනාත්මක අදහස් සෑම ගොවියෙකුටමත්, කෘෂි පාරිභෝගිකයෙකුටමත් පාරම්පරික ඥානයක් පැවතීම, ලොව පවතින උෂ්ණාධික මෙන්ම ශීතාධික රටවල් බොහෝමයක් මෙම වල් බිහි වීමේ ගුණයෙන් තොරය. එබැවින් ඉහත අවශ්‍යතා කෘත්‍රිමව සපයාගෙන වගා කළ යුතුය. එම රටවල් වවන රටවල් ලෙස හඳුන්වනු ලැබේ.

අපේ කෘෂි ආර්ථික ක්‍රමයේ දියුණු වාරි ශිෂ්ටාචාරය සමඟ දිනෙන් දින ස්වයංපෝෂිත රටක් බවට පත් කළේය. බුදුදහමින් පෝෂණය වූ ජනයා සොබාදහමට මුල්තැන දෙමින් ක්‍රියාත්මක විය.

අපේ රටේ ජීවත් වූ පෙර රජ දරුවන්ගේ යුගයේ සිට කාබනික පොහොර භාවිතා කළේය. කුඹුරු අසල මීගස් වැවීම ආරම්භ වූයේ එහි ඇති ජීව විද්‍යාත්මක වටිනාකම මැනවින් හඳුනාගත් නිසාය. ඒ අනුව මී ගසේ මී මල්වලට බඹරු මී මැස්සෝ ශාක පරාගනය කිරීමට පැමිණෙති. ඔවුන් ආහාරයට ගැනීමට කුරුල්ලන් ඇතුළු සත්ත්ව විශේෂ පැමිණෙන අතර, ඒ මඟින් ගොවිතැනේ කෘමි උවදුර අවසන් වීමත් මීගසේ ගෙඩි හට ගැනීමත් ක්‍රමානුකූලව සිදු විය. රාත්‍රී කාලයේ මී ගෙඩි කෑමට ලොල් වූ වවුලන්ගෙන් මීගස් පිරී ඉතිරී ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස වවුලන්ගේ වසුරු කුඹුරට ලැබුණු දිව ඔසුවකි. එමනිසා සරු අස්වැන්නක් නිරන්තරයෙන්ම අපේ ඉපැරණි ගොවීහු ලැබූහ. මේ තත්ත්වය ඉතා අවාසනාවන්ත අයුරින් වෙනස් කළේ බ්‍රිතාන්‍ය පාලකයන් බව ද සිහිපත් කළ යුතුව ඇත. කෝල්බෲක් යෝජනා මඟින් මීගස් කැපීම ආරම්භ කළේය. එය අපේ සහල් සභ්‍යත්වයට සිදු කළ දරුණුතම ඛේදවාචකය බව අමතක නොකළ යුතුය. වතු වගාව ආරම්භ කළ බ්‍රිතාන්‍ය පාලකයන් මධ්‍ය කඳුකරයේ උස් කඳු බෑවුම් තැනිතලා සියල්ල සුද්ධ කරමින් කෝපි වගාවත් පසුව තේ වගාවත් ආරම්භ කළේය. සාරවත් පස සෝදාපාළුවට ලක් විය. මහවැලි, කැලණි, කළු, වලවේ ආදී ගංගා වැසි දිනවලට බොර පැහැය ගත්තේ පසේ ඇති පෝෂ්‍ය පදාර්ථවලිනි. තේ වගාව ආරම්භයේදී කාබනික පොහොර හරහා අස්වැන්න සරු විය. ගිනිසීරියා යනුවෙන් හඳුන්වන ශාකය සහ එහි පත්‍ර පවා තේ ගසට පොහොර බව අදටත් වතු කම්කරුවෝ පවසති. එහෙත් අපේ මධ්‍ය කඳුකරයේ සාරවත් පස සෝදායෑම තුළින් සිදු වන ඛේදවාචකය එදා දුටු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ‍දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ මහතා සිය ‘ඉදිරිමග’ යන කෘතියෙන් නිදසුන් සහිතව ඒ බව මනාව පැහැදිලි කොට ඇත. වික්‍රමසිංහ මහතාගේ ඉදිරි මග කෘතිය ඇසුරෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සිය දේශපාලනයේ පන්ති පහට ‘සෝදාපාළුව’ ගැන ඉතා ළගන්නා සුළු දේශපාලන දැක්මක් ඉදිරිපත් කළ බව ද සිහිපත් කළ යුතුව ඇත. ඇස්.ඒ. වික්‍රමසිංහයන් කඳු නාය යෑමේ අවදානම ද එහි සඳහන් කිරීමට අමතක නොකළේය. ඒ බව වසර කීපයකට පෙර සාමසර කන්ද ආදී වතු ආශ්‍රිත ප්‍රදේශ නායයෑමෙන් මනාව පැහැදිලි විය. පසු කාලීනව රසායනික පොහොර මෙන්ම කෘෂි රසායනික ද්‍රව්‍ය තේ වගාවට යොදාගැනීම නිසා ගංගා සියල්ලම වස විසෙන් පිරුණු බව ද සිහිපත් වේ. රසායනික පොහොර භාවිතයට ගොවි ජනතාව වැඩිපුරම හුරුවූයේ 1977න් පසුව ඇති වූ වෙනස්වීම් සමඟය. පොහොර සංස්ථාව විධිමත්කොට සපුගස්කන්ද ආසන්නයේ බටලන්ද ප්‍රදේශයේ පොහොර සංස්ථා නිවාස සංකීර්ණයක් ද ඇති කළේය. එය ඇති කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේදී බව මතකයේ ඇත. එවකට කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ යුගයේ බටලන්ද පොහොර සංස්ථා ගොඩනැඟිල්ලෙහි 1988/1989 වධකාගාරයක් තිබූ බව ද බොහෝදෙනා දනිති. නීතිඥවරයෙකු වු විජේදාස ලියනාරච්චි මහතා එසේ දස වද දී බටලන්ද වධකාගාරයෙන් ජීවිතයට සමුදුන් නීතීඥවරයෙකි.

මහ පොළොව සමඟ පොර බදා සිය අස්වැන්න වැඩි කර ගැනීමට සෑම ගොවියෙකු තුළම ඇත්තේ බලවත් ආශාවකි. ඒ සඳහා මිතුරු වෙසින් පැමිණි මාරයාගේ ගොදුරක් බවට පත් වූයේ ද අසරණ ගොවි මහතාමය. ඒ අනුව ආසනික්, ග්ලයිපොසේට්, පැරකොට් ආදී රසායනික ද්‍රව්‍ය මුළු මහත් සත්ත්ව සංහතියටම වින කළේ මිතුරු වෙසින් පැමිණි සතුරෙකු ලෙසිනි. අනුරාධපුර, පොලොන්නරුව, පදවිය හා කුරුණෑගල දක්වා ගොවි පවුල් සිය ගණනින් වකුගඩු රෝගීන් බවට පත් කළේ රසායනික පොහොර සහ කෘමිනාශක මාරයා බව අමතක නොකළ යුතුය. වාර්ෂිකව මෙට්‍රික්ටොන් අටලක්ෂයත් දොළොස්ලක්ෂයත් අතර තෙල් පොහොර ගෙන්වීමෙන් පොළොවට එක්වන ආසනික් ප්‍රමාණය කිලෝ තිස්දාහකි.

උග්‍ර විෂ සහිත තෙල් පොහොර භාවිතයෙන් මාසයකට අද වන විට වකුගඩු රෝගීන් 100ක් අලුතින් හඳුනා ගැනෙති. තව ද අන්ධ දරුවන් 30ක් උපදින බවත් අනාවරණය වේ. මෙහි ඇති වඩාත්ම ඛේදනීය සිදුවීම වන්නේ සෑම සතියකම පාහේ වයස මාසයට අඩු බිලිඳුන් 30කගේ පමණ ඇස් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කිරීමයි. අපේ රටට ආදරය කරන ජනතාවට ආදරය කරන සැබෑ නායකයෙකුට මේ ව්‍යසනය දෙස ඇස් කන් පියාගෙන බලා සිටිය නොහැක. ඒ අනුව සැබෑ මානවහිතවාදී නායකයෙකු වශයෙන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් සෘජු තීන්දුව ජනතාවාදී තීන්දුවකි. උතුරේ මානුෂික මෙහෙයුම ආරම්භ කරද්දී කොටි හිතවාදී එන්ජීඕ සංවිධානවලින් යැපෙන්නන් පැවසුවේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම වන එල්ටීටීඊ සංවිධානය සමඟ සටන් කිරීම ශ්‍රී ලංකා රජයට අවාසිසහගත වන බවයි. එහෙත් ඉදිරියට තැබූ පය ආපස්සට නොගත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ තීරණාත්මක මොහොතේ ගත් සෘජු තීරණය ජයග්‍රහණය කළ බව සිහිපත් වේ. අවශ්‍ය මොහොතේ අවශ්‍ය තීරණය ගැනීම දක්ෂ පාලකයෙකු සතු උතුම් ගුණාංගයකි.

දියුණු ලෝකයේ කාබනික පොහොර භාවිතය පෙරට පැමිණ ඇත. අපේ ර‍ටේ කාබනික පොහොර භාවිතා කොට සරු අස්වැන්නක් ගත් ගොවීහු අදහස් දක්වති. එහෙත් බහුජාතික පොහොර, තෙල් සමාගම්කරුවන් පරාජයෙන් වියරු වැටී සිදු කරන කුමන්ත්‍රණකාරී ක්‍රියාවලට බුද්ධිමත් ගොවි ජනතාව මුළා කිරීමට නොහැක. තෙල් පොහොර බීජ දක්වා ගොවි ජනතාවගේ ගෙල සිරකර ගෙන සිටින මාෆියාවෙන් ගොවියා ගලවා ගැනීමට හැක්කේ කාබනික පොහොර භාවිතයේ ඇති විද්‍යාත්මක ක්‍රමවේදයන් ප්‍රායෝගිකව දැනුම්වත් කිරීම තුළිනි. දෙමුහුන් පැළවලට කාබනික පොහොර නොගැළපෙන බව පවසමින් ගෙන යන බොරුව පරාජය කළ යුතුයි. දශක ගණනාවක සිට කාබනික පොහොරවල ඇති අදට ගැළපෙන විද්‍යාත්මක තත්ත්වය පිළිබඳ මනාව පර්යේෂණ සිදු කළ කණ්ඩායමක් ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තය ගැන නිරන්තරයෙන්ම අවදියෙන් සිටිති. කාබනික පොහොර අපේ රටේ නිෂ්පාදනය කළ හැකි බවත් ඔවුන් එකහෙළා පවසති. අපේ රටේ දේශීය පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය අපේ රටේම ඇත. නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම පිරි මානව සම්පතක් ද ගොඩනැඟී ඇත. දේශපාලන දෘෂ්ටි කෝණයෙන් නොව මානව හිතවාදීත්වයෙන් අපේ රටේ වකුගඩු රෝගය ගැන මෙන්ම අපේ රටේ ඇති පිළිකා රෝගය ගැන සිතන්න. පටු අදහස්වලින් මිදී නීරෝගිමත් ගොවි ජනතාවක් මෙන්ම නීරෝගිමත් ජාතියක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයෙන් සරු අස්වැන්නක් හෙට දිනයේ ලබා ගැනීමට හැකිය.

මහින්ද ආරියවංශ





Source link