November 27, 2021

Ada Rata

All news in one location

රංගන ශිල්පිනී නයෝමි තක්ෂිලා පෙම්වතා ගැන හෙළි කරයි


වේදිකාවෙන් පුංචි තිරයට ගොඩ වැදුණු නව පරපුරේ රංගන තරු අතර නයෝමි තක්‍ෂිලා කියන්නේ සිය දක්‍ෂතාව තුළින් වසර ගණනාවක් පුරාවට ප්‍රේක්‍ෂක ආදරය නොවෙනස්ව දිනාගත් ආදරණීය ලෙංගතු රංගන ශිල්පිණියක්. ඉතින් මේ දිනවල නයෝමි පුංචිතිරයේ මුණ ගැහෙන නවතම ටෙලි සිත්තම අඳුන්ගිර ඇයගේ රංගන ජීවිතේ ඇයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්. ප්‍රේමය, උපහාසය, අපහාසය සහ බලය මතින් උපදින පීඩනයට එරෙහිව සටන් කරන ඉතිහාසයේ වර්තමාන කතාවේ පද්මාවතියට ජීවය දෙන නයෝමි තක්‍ෂිලා සමගයි මේ කතාබහ.

කොරෝනා කාලේ විවේකය ඉවරවේගෙන යනවා කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

ඇත්තටම කොරෝනා කියලා මට විවේකයක් ලැබුණේ නැහැ. අනුරාධපුර ගමේ ගිහිල්ලා අම්මල එක්ක ටික දවසක් ඉදලා නැවත වැඩ ආරම්භ කළා. නීලපබළු ටෙලි නාට්‍ය, ඇය ටෙලිනාට්‍යය රන්තිලිවැව මේ ඔක්කොම කළේ කොරෝනා කාලේ. කොරෝනා කියලා අපිට නිර්මාණ අතමග දාලා යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. රෝගයෙන් ආරක්‍ෂා වෙලා වැඩ කිරීම තමයි ඒ වෙලාවේ අපේ වගකීම වුණේ.

මේ දවස්වල රංගන කටයුතු සීමා වෙලා ද තියෙන්නේ?

නීල පබළු සහ අඳුන් හිර ටෙලි නාට්‍ය දෙක මේ දවස්වල විකාශනය වෙනවා.

ඊට අමතරව චන්දිම පෙරේරා මහත්මයාගේ ‘‘අපේ අම්මා’’ , සුනිල් පතිරණගේ ‘‘21’’ ආදි ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඒ නිර්මාණ ඉදිරියේ දී දැකගන්න ලැබේවි. තවත් අලුත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. වේදිකාව කොරෝනා නිසා වසර 2ක් පුරාවටම මඟ හැරුණා.

වේදිකා නාට්‍ය ප්‍රේක්‍ෂකාගාරයට ප්‍රේක්‍ෂකයෝ එන දවස සහ අපිට වේදිකාවට ගොඩ වෙන්න අවස්ථාව ඉක්මණින්ම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩක්ම ආසාවෙන් ඉන්නවා නැවත වේදිකාවට ගොඩ වෙන්න.

ගැමි චරිතවලට කොටුවෙලා හිටපු නයෝමිට නීලපබළු ටෙලි නාට්‍යයේ පූජා හරහා වෙනත් අත්දැකීමක් ලැබෙනවා. ඒ ගැනත් අපි කතා කරමු?

ඇත්තටම මට ගොඩක් වෙලාවට ලැබෙන්නේ සහ ලැබිලා තියෙන්නේ ගැමි අහිංසක චරිත. ඒවා වුණත් එකිනෙකට වෙනස් චරිත තමයි මට ලැබිලා තියෙන්නේ. නීලපබළු ටෙලි නාට්‍යයේ පූජා මට ලැබුණු විශේෂ චරිතයක්. මොකද හැමදාම අහිංසක චරිත කරපු මට නපුරු චරිතයක් ලැබුණු පළමු අවස්ථාව මේක. වැඩිපුරම පූජාට ඇත්තටම පූජාට නම් මිනිස්සු ගොඩක් බනිනවා.

පූජාට බනින ප්‍රේක්‍ෂකයෝම මේ දිනවල බොහොම ආදරයෙන් වැළඳගන්න අඳුන්ගිර පද්මාවතී ගැන කතාකරොත්

ඇත්තටම ඉන්දික ධර්මතිලක මහත්මාගේ අඳුන්ගිර ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරිය නුවනි වලිමුනි අක්කා තමයි පද්මාවතී කියන චරිතයට මට ආරාධනා කරන්නේ. ඇය සමඟ මම රන්තිලා ටෙලි නාට්‍යයෙන් වැඩ කරලා තිබුණු නිසා මේ චරිතයත් බොහොම ආසාවෙන් මම බාරගත්තා. පිටපත කියෙව්වාම හිතුනා. විශේෂ චරිතයත් කියලා. පද්මාවතී කියන්නෙත් මගේ රංගන ජීවිතේ ලැබුණු තවත් අභියෝගයක් විදිහට තමයි මට දැනෙන්නේ.

තාම කොටස් කිහිපයයි. අඳුන්ගිර විකාශය වෙලා තියෙන්නේ. ඒත් ප්‍රේක්‍ෂකයෝ හරිම ආදරණීය ලෙස සියලුම චරිත වගේම පද්මාවතී චරිතය වැළඳගෙන තියෙනවා කියලා ප්‍රතිචාර වලින් දැනෙනවා.

පද්මාවතිව ඔබට දැනෙන්නේ කොහොම ද?

රන්තිලි වැව ටෙලි නාට්‍යයේ මුතු මැණිකෙගේ චරිතයෙන් පස්සේ ලැබිච්ච මැනිකක් තමයි පද්මාවතී චරිතය.

රංගනය පැත්තෙන් මට ලොකු දෙයක් මේ චරිතය ඇතුළේ කරන්න තියෙනවා. පද්මාවති කියන්නේ ගොඩක් අභියෝගවලට මුහුණ දෙන, විවාහ වෙලා වැඩි කාලයක් යන්න කලින්. සැමියා නැතිවීමත් එක්ක වැන්දඹු කාන්තාවක විදිහට ජීවිතයට එන හැලහැප්පීම් එක්ක හරිම කටුක ජීවිතයක අද්දැකීම් විඳගනිමින් ගලාගෙන යන චරිතයක්.

අඳුන්ගිර කියන්නේ ශාන්ති දිසානායක අක්කාගේ පළමු ටෙලි පිටපත ඇය බොහොම අපූරුවට පද්මාවතීගේ චරිතය නිර්මාණය කරනවා. ඊට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරන්න තමයි මම උත්සාහ කරන්නේ.

අඳුන්ගිර කියන්නේ ගොඩක් මහන්සිවෙලා, අභියෝග රැසක් එක්ක කරන වැඩක්.

ඔබ කලාවට ඇවිත් බොහොම කෙටි කාලයක් තුළ සම්මානනීය නිලියක් බවට පත්වුණු රංගන ශිල්පිනියක්. ගුරුවරියක් වෙන්න කොළඹ ආපු නයෝමි නිලියක් වීම ගැන අද මොකද හිතෙන්නේ?

ඇත්තටම 2012-2013 කොළඹ ටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලට එන්නේ රංග කලාව උපාධිය හදාරලා ගුරු වෘත්තියට යන්න. ඒ අතරවාරයේ දී තමයි මට වේදිකා නාට්‍යවලට දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ. අවුරුදු 4ක් වේදිකා නාටය්‍යවල සහ රංගන පාසලෙන් ලැබුණු දැනුම අද්දැකීම් එක්ක පුංචි තිරයට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ මීදුම් අම්මා ටෙලි නාට්‍යයෙන්. එහි මගේ අම්මාට හිටියේ මාලනී ෆොන්සේකා මහත්මිය.

ඇය වැනි දැවැන්ත චරිතයක් සමඟ පළමු නාට්‍යයේම රඟපාන්න ලැබුණ එක මම ලබපු ලොකු වාසනාවක්. ඇත්තටම මේක නිලියක් වෙන්න ආපු ගමනක් නෙමෙයි. මුල දී අම්මායි තාත්තයි මම රඟපානවට කොහෙත්ම කැමති වුණේ නැහැ. එයාලගේ එකම හීනය වුණේ උපාධිය සම්පූර්ණ කරලා මම ගුරුවරියක් වෙනවා දකින්න.

දැන් මම උපාධිය අවසන් කරලා ඉදිරියේ දී ගුරු වෘත්තියට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ ගොඩාක් දුක් වින්දා. දුෂ්කරතා ගොඩකට මූණ දුන්නා. කවදාවත් හිතවත්කම්වලට මම චරිත අරගෙන නැහැ. සෑම දෙයක්ම දිනා ගන්නේ මගේ තනි මහන්සියෙන්. මම රංගනය ඉගෙන ගෙන ආපු නිසා ලැබුණු අවස්ථාවන්ගෙන් උපරිම සාධාරණය මම ඉෂ්ඨ කළා. මේ හැම දේකටම කැපවීම, දක්‍ෂතාවය වගේම වාසනා ගුණයත් උපරිමයෙන්ම තිබුණා.

කවදාවත් සීනිබෝල පෙම්වතියන්ගේ චරිත මට ලැබිලා නැහැ. ලැබුණු හැම චරිතයකම ඒ චරිතය ඇතුළේ මට කරන්න දෙයක් තිබුණා. ඒක වාසනාවක් විදිහට තමයි මම දකින්නේ. මේ තැනට එන්න විඳපු දුෂ්කරතාවන් මම කවදාවත් දුකක් විදිහට හිතුවේ නැහැ. දෙයක් ලබාගන්න කරපු උත්සාහයක් විඳිහට තමයි ඒක මට දැනුනේ. මම රඟපෑවේ නැත්නම් අනුරාධපුර ගමට වෙලා විවාහයක් කරගෙන ඉඳිවි.

කලා ක්ෂේත්‍රය තුළ නයෝමිට කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න වුණු අවස්ථා නැද්ද?

ඇත්තටම මම දැන් ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 9ක් විතර කිසිම දවසක කැපිලි කෙටිලි, හිත් රිදවිච්චි ප්‍රතික්‍ෂේප වීම් මට කවදාවත් වෙලා නැහැ. මාත් එක්ක වැඩ කරන ජ්‍යෙෂ්‍ඨයන්ට මම ගොඩක් ගරු කරනවා. සුදුස්සාට සුදුසු තැන දීලා වැඩ කරොත් ඉබේටම එයාලගෙන් ලැබෙන්න ඕන ගෞරවය අපිට ලැබෙනවා.

ඕනම වෘත්තියක ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරනවා නම් කැපිලි කෙටිලි අඩුයි. මම ක්ෂේත්‍රයට කොයිතරම් පරණ වුණත් අලුත් නාට්‍යයකට ගියහම මම නවකයෙක් කියලා හිතලා තමයි චරිතයට මූණ දෙන්නේ.

දැන් ස්ථිර වශයෙන්ම පදිංචිය කොළඹද?

අපෝ නැහැ. මගේ ස්ථිර වාසස්ථානය අනුරාධපුර නෙල්ලිකුලමේ ගම කලාව එක්ක තමයි මම කොළඹ ඉන්නේ. ගුරු වෘත්තියට පිවිසීමේ බලපොරොත්තු තමයි මගේ ඊළඟ හීනය. ඒත් කලාව අතහරින්නේ නැහැ. හැමදාමත් ඉතින් මෙහෙම ඉන්න බෑනේ. ලබන අවුරුද්දේ විවාහයටත් සූදානම් වෙනවා.

ඔහු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් ද?

නැහැ. ඔහු ව්‍යාපාරිකයෙක්. මගේ කලා ගමනට දෙමාපියන්ගෙන් වගේම ඔහුගෙනුත් ලොකු සහයක ලැබෙනවා.

නදීශා අතුකෝරළ / ඡායාරූප- සජීව ලක්‍ෂාන්.

256362487 182609344070200 5850870314651486073 n

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

අවුල් වගේ !

0

හරි හිනා !

0

හම්මෝ !

0

මාර දුකයි !

0

මලපනිනව !

0

කුජීතයි !

0



Source link