November 27, 2021

Ada Rata

All news in one location

යුරේනස් සහ ක්‍රෝනෝස්



මේ ග්‍රීක මිත්‍යා කතා කොතරම් සංකීර්ණද යත්, ඒවා ගැන ලියැවී තිබෙන අන්දර කල්පනාවෙන් කිව යුතුය. විවිධ පොත් වල විවිධ කරුණු ගැබ්ව ඇත. නමුත් මේ කථාන්තර කියවීමට සිත් දෙන, විචිත්‍ර විස්තරයන්ගෙන් යුතු වේ. හිතා ගන්නට නොහැකි මිනිස් සම්ප්‍රදායයෙන් බැහැර සේ ඒ කතා ගලා යන්නේය. මේ අන්දරයන් පසුබිමේ තාරකා විද්‍යා කරුණු ගැබ් වී ඇත.

තවද මේවා මිත්‍යාවන් යයි මෙයට වසර දෙදහසකට පෙර කීවේ නම්, … මට වන්නේද යුරේනස්ට වූ දෙයමය. එය ඔබට පහත සේ කියැවිය හැක. 

පුරාණ ග්‍රීක ආගමේ ක්‍රෝනොස් කියන ලද දෙවියා, ග්‍රීසියේ වන්දනාමාන කරනු ලැබීය. ඔහු රෝම දෙවි සෙනසුරු හෙවත් සැටර්න් ම වේ. ක්‍රෝනෝස්ගේ කාර්යයන් කෘෂිකර්මාන්තයට සම්බන්ධ විය. ග්‍රීසියේ ඔහුගේ උත්සවය වන “ක්‍රෝනියා” හෙවත් අස්වැන්න සැමරූ උත්සවය විය. රෝමයේ එය “සැටර්නියා” යන උත්සවය විය. චිත්‍ර කලාවේදී ඔහු නිරූපනය කරනු ලැබුවේ වක්‍ර කඩුවක් හෙවත් දෑකත්තක් වැනි ආයුධයක් අතැතිව සිටින මහලු මිනිසෙකු ලෙසය.

ග්‍රීක පුරාවෘත්තයේ ක්‍රෝනස් යනු යුරේනස් (ස්වර්ගය) සහ ගයියා (පෘථිවිය) ගේ පුත්‍රයෙක් විය. ඒ දෙදෙනාගේ පුතුන් “ටයිටන්වරුන්” සේ හැඳින්විණි. පහු ඔහු ඒ ටයිටන් වරු 12 දෙනාගෙන් බාලයා විය. එහෙත් සැටර්න් ඔහුගේ මවගේ උපදෙස් මත ඔහු තම පියාට පහර දුන් අතර, එමඟින් ස්වර්ගය පෘථිවියෙන් වෙන් කළේය. නමුත් එනිසා ඔහු ටයිටන්වරුන්ගේ රජු බවට පත් විය.

ඔහුගේ බිරිඳ වූයේ ඔහුගේම සහෝදරිය වූ “රියා” ය. ඇය ඔහුගෙන් “හෙස්ටියා”, “ඩිමීටර්’, “හේරා”, “හේඩීස්” සහ “පොසෙයිඩන්” බිහි කළාය. නමුත් සැටර්න් දෙවියාව ඝාතනය කරන්නේ ඔහුගේම දරුවන් යයි අනාවැකියක් තිබිණ. එනිසා ඔවුන් සියල්ලන්ම ඔහු ගිල දැමුවේය. කෙසේ වෙතත්, “සියුස්” යන දරුවා උපත ලැබූ විට, රියා ඔහුව ක්‍රීට්හි සැඟවූයේය. “සියුස්” හැදී වැඩී, ඔහුගේ සහෝදර සහෝදරියන් සමඟ එක්ව සැටර්න් සමඟ යුද්ධ කළේය. එහි ප්‍රතිඵලය සේ සැටර්න් පරාජය විය. 

සියුස්ට පරාජය වීමෙන් පසුව, ක්‍රෝනස් හෙවත් සැටර්න් [කතාවේ විවිධ අනුවාදයන්ට වෙනස් වේ.] ටාටරස් හි සිරකරුවෙකු හෝ එලිසියම්හි රජු බවට පත්විය. එනම් ඔහුට ස්වර්ගය හැර දමා පෘතුවියට එන්නට සිදු විය. එහෙත් එක් කතාවකට අනුව, ක්‍රෝනස්ගේ පාලන කාලය මනුෂ්‍යයන් සඳහා ස්වර්ණමය යුගයක් විය.

දැන් මේ ක්‍රෝනස් හෙවත් සැටර්න් ගේ ඉපදීම කෙසේ වුණාදැයි බලමු.  ඔහුගේ පියා වන යුරේනස් ගේ වෘතයත් තරමක් දිග කතාවකි. 

යුරේනස් යනු ග්‍රීක පුරාවෘත්තවල පැරණි දෙවිවරුන්ගෙන් කෙනෙකි.

ඔහු විශ්වය පාලනය කළ අතර ඔහුගේ නම “අහස” හෝ “ස්වර්ගය” යන්නයි. ඔහු වචනාර්ථයෙන් අහසයි, අහස ග්‍රීකවරුන් විසින් තරු වලින් පිරුණු පිත්තලවලින් තැනුණු ගෝලයක් යයි සිතුහ. යුරේනස් ගේ බිරිඳ :ගයියා” [GAIA] විය. ඔහු ඇගේ සැමියා පමණක් නොව ඇගේ පුතාද විය.

සමහර කථා වල සියලුම ජීවීන්ගේ මව වන “ගයියා” විසින්, පියෙකු නොමැතිව යුරේනස්ව ඇයගේ කුසයේ පිළිසිඳ ගත්තේය. මේ කතාව අසන විට තවත් ආගමික කතාවක කන්‍යාවකට දරුවෙක් ලැබුණු බව ඔබට සිහි වනු ඇත. එකම විස්තරයක් පුනරාවර්ථනය වීමක් මෙහි පෙනී යයි. විශේෂයෙන් “හෝරස්” ගේ කතාව බලන්න.

තවත් අන්දරයකට අනුව, යුරේනස්ගේ පියා ඊතර් [Aether] හෝ චාඕස්/ කේඕස් [CHAOS] වේ. යුරේනස් සහ ගයියාට ටයිටන්ස් වරු හැර වෙනත් බොහෝ දරුවන්ද සිටියහ. මේ දරුවන් අතර, එක ඇසක් ඇති යෝධයන්  [CYCLOPES] සහ හිස් පනහක් සහ අත් සියයක් ඇති යෝධයන් [Hecatoncheires,] ද සිටියහ.

ඔහුට අයත් පළමු දරුවන් වූයේ පිරිමි හය දෙනෙක් සහ ගැහැණු ටයිටන්වරු හය දෙනෙකි. පිරිමින් වූයේ Oceanus, CRIUS, Iapetus, Hyperion, CRONUS සහ COEUS ය. දේවතාවියන් වූයේ Theia, RHEA, Themis, Mnemosyne, Phoebe සහ Tethys ය. CYCLOPS හෙවත් එකැස් යෝධයන් යනු Brontes, Steropes සහ Arges විය. Hecatoncheires හෙවත් හිස් පනහක් සහ අත් සියයක් ඇති යෝධයන් නම් Cottus, Briareos සහ Gyges විය. යුරේනස් සෑම රාත්‍රියකම ගයියා වෙත පැමිණියේය.

එහෙත් ඔහු ඒ දරුවන් සියල්ලන්ටම අකමැති වූයේ ඔවුන් තම බලයට තර්ජනයක් ලෙස සැලකීමෙනි.

සැටර්න් හෙවත් ක්‍රෝනෝස් ඇතුළු ඔහුගේ “ටයිටන් දරුවන්” වඩාත් ලස්සන විය. යුරේනස් “හෙකාටන්චෙයර්ස්” [Hecatoncheires,] යෝධයන්ගේ දර්ශනයට  කොතරම් අකමැති වීද යත්,  ඔහු ඔවුන්ව නැවත ගයියාගේ ගර්භාෂයට තල්ලු කිරීමට උත්සාහ කළේය. එය ඇයට දරුණු වේදනාවක් ගෙන දුන්නේය. අවසානයේදී, යුරේනස් විසින්, “සයික්ලොප්ස්” සහ “හෙකැටන්චෙයර්ස්” දරුවන් පෘතුවියේ ටාර්ටරස් හි සිර කරන ලදී.

එය පෘථිවිය හෝ පාතාලය යට පිහිටි අඳුරු ස්ථානයක් විය.

මෙය යුරේනස් කෙරේ ඇති අමනාපය වැඩි වීමට ගයියාට හේතුවක් විය. යුරේනස් අමරණීය වූ අතර ඔහුව මරා දැමිය නොහැකි බැවින්, අඩුම තරමින් ඔහුගේ බලය අඩු කිරීමට ඇය තම ටයිටන් දරුවන් සමඟ කුමන්ත්‍රණය කළාය. මෙන්න මෙතනදී ක්‍රෝනස් හෙවත් සැටර්න් කතාවට නැවත පැමිණේ. එනම් ඔහුගේ පියා වෙනුවට දෙවිවරුන්ගේ නායකයා වීමට ඔහුට අවශ්‍ය වූ හෙයිනි. එනම් ඇගේ බාල පුත් ක්‍රෝනස් මේ කුමන්ත්‍රණයට එකඟ වීම නිසා විය. ඔහුගේ මව වූ ගයියා, ක්‍රෝනස්ට තම පියා වන යුරේනස් ට පහර දීමට දෑකැත්තක් සාදා දුන්නාය.

එක් රාත්‍රියක, යුරේනස් ගයියා වෙත පැමිණි විට, ඔහුගේ පුතුන් ඔහුට පහර දී ඔහුව යටත් කළේය. ගයියා වන ක්‍රෝනස්ගේ මව දුන්  දෑකැත්තෙන් යුරේනස් වඳ කිරීමට ක්‍රෝනස් ක්‍රියා කළේය. ඉන් පසු ඔහු විසින් දෑකැත්ත සහ යුරේනස්ගේ ලිංගික අවයව දෙකම මුහුදට විසි කරන ලදී. ඉන් ඇති වූ රුධිරය පොළොව මතට වැටී “ගිගන්ටස්” [Gigantes, or Giants] හෙවත් යෝධයන් බිහි විය. ඔවුන් “නිම්ෆස්’, ‘මෙලියා” සහ ‘ෆියුරීස්” හෝ “එරිනිස්” ලෙස හැඳින්වේ.

සමහර කතා මගින් පවසන්නේ රෝඩ්ස් දූපතේ පදිංචි වූ ටෙල්චින් දෙවිවරුන් ද මේ කාලයේ එසේ උපත ලැබූ බවයි. APHRODITE දේවතාවිය නැඟී සිටියේ එසේ මුහුදට විසි කරන ලද ලිංගික අවයව වලින් විය.

“ගිගන්ටස්” [Gigantes, or Giants] යෝධයන් විශාල නොවූ නමුත් ඔවුන් ඉතා ආක්‍රමණශීලී වූ අතර ඔලිම්පික් දෙවිවරුන් සමඟ සටන් කළහ.

යුරේනස් යන්න පසුකලෙක තම නම ග්‍රහලෝකයකට ලබාදුන්නේය. එය ටෙලස්කෝප් යන්ත්‍රයක් මගින් සොයාගත් පළමු ග්‍රහලෝකයයි. යුරේනස්, ග්‍රීකයෙකුගේ නමින් හෙවත් රෝම දෙවි කෙනෙක්ගේ නමක් නැතිව නම් කරන ලද එකම ග්‍රහලෝකය වේ.

ක්‍රෝනස් විවාහ වූයේ ඔහුගේම සහෝදරිය වූ රියා සමඟ බවත්, ක්‍රෝනෝස් ඔහුගේ දරුවන්ට අකමැති බවද  ඉහත කියා ඇත. තම පියා වූ යුරේනස් මෙන්ම ක්‍රෝනස්ද තම දරුවන්ට කැමැත්තක් දැක්වූයේ නැත. එසේ හෙයින් ක්‍රෝනස් දරුවන් ගිල දැම්මේය. මේ ගැන රියා බොහෝ අමනාපයෙන් සිටියාය. එනිසා ඔහු සහ රියාගේ පුත් “සියුස්” ව සඟවා දැමීමට රියා කටයුතු කළාය. සඟවන ලද සියුස් [ZEUS] ඇති දැඩි කිරීමට “මෙලියා” යන දේවතාවිය උදව් කරන ලදී.

සඟවා ඇති දැඩි නොකළේ නම්, සියුස්ගේ අනෙකුත් සහෝදරයන් සහ සහෝදරියන් ගිල දැමූ ආකාරයටම ක්‍රෝනස් ඔහුවද ගිල දමන්නට තිබිණි.

Furies සේ කියන දේවතාවියන්, “පළිගැනීමේ දේවතාවියන්” විය. මෙම බියකරු පෙනුමැති ජීවීන්ට තිබුණේ ලේ වැගිරෙන දෑස් වැනි රතු ඇස් ඇති, පිළිකුල් සහගත මහලු කාන්තාවන්ගේ පෙනුමයි. ඔවුන්ගේ හිසකෙස් වෙනුවට සර්පයන් සිටි අතර, පිත්තල කසයෙන් ඔවුන්ගේ ගොදුරු වූවන්ට වධ දුන්හ. ඔවුන් දුටු සැණින් වරදකරු උමතු විය. මේ දේවතාවියන් කී දෙනෙක් සිටියාද යන්න නිසැක නැත.  නමුත් වර්ජිල් නම් කවියා ඔවුන්ගෙන් කීප දෙනෙක් නම් කළේය. ඉඔවුන් නම් Alecto, Megaera, Tisiphone සහ Aphrodite විය. 

එහෙත් මුහුදු පෙණ මත උපන් ඇෆ්‍රොඩයිට් [Aphrodite] ආදරයේ සහ සුන්දරත්වයේ දේවතාවිය වී, ඉතා සුන්දර කෙනෙක් විය. ඇයට රෝමන්වරුන් දුන් නම “වීනස්” විය.

යුරේනස්ගේ ලිංග චේදනය කළ නිසා, ඔහු තම පුතුන්ට වෛර කළේය. විශේෂයෙන් ක්‍රෝනස්ටද ඔහුගේ දරුවන් විසින් පෙරලා පහර දෙනු ඇතැයි අනාවැකි පළ කළේය. සත්‍ය වශයෙන්ම මෙය අවසානයේ සිදු විය. එනම් පසු කලෙකදී “ජුපිටර්” හෙවත් ක්‍රෝනස් ගේ පුතෙක්, ක්‍රෝනස් අල්ලා ඔහුගේද ලිංග චේදනය කරන ලදී.

කතාවේ මුලට ගියොත්,  යුරේනස්ගේ පරාජය සංකේතවත් කරන්නේ පුරාණ දෙවිවරුන් කාලයට පෙර යුගයක පෙරලා දැමීමයි. ඉන් පසු ඒ තැන ක්‍රෝනස් ගනී. මේ මිත්‍යා කතාන්තර වල අවසාන යුගයේ. ක්‍රෝනස්ද පරාජය වී තවත් පියෙක් නැති කන්‍යාවියකගේ කුසයෙන් උපන් වක්තෘ කෙනෙක් පැමිණි බව ඔබ දනී. ක්‍රෝනස්ගේම නාමයෙන් ඇඟවෙන්නේ ඔහු කාලයේ ප්‍රතිමූර්තියක් වූ බවයි. කාලය සියල්ල වෙනස් කරනු ඇත.

අද දින කිසිවෙක් යුරේනස්, ක්‍රෝනස් හෝ ජුපිටර්ව වන්දනා කරන්නේ නැත.  අඩුම තරමේ ඒ පැරණි ග්‍රීක් හෝ රෝමන් පේගන් ආගමවත් ලොව ඇත්තේ නැත. කාලයේ වැලිතලාවෙන් ඒ සියල්ල යටපත් වී ගියේය. හුදෙක් ඒ සමහර නම් තවමත් යුරෝපීය සමාජයේ පවතී. ඊට උදාහරණ කීපයක් නම්, “රියා”, “ෆීබි”සහ “මෙලියා” යන නම් වේ.    

වර්තමානයෙන් පසු එන අනාගතය ?

කාලයේ දේවතාවා වූ ක්‍රෝනස් හැර, වෙන කිසිවෙක් ඒ ගැන නොදනී.

– ‘ජ්‍යෝෆ්‍රී බේකන්’




Source link