November 29, 2021

Ada Rata

All news in one location

යුක්තියේ දෙවඟන වෙසඟනක් කළ – ගාල්ලේ පොල් ගෙඩි තුනේ අවනඩුව



ගාල්ලේ පොල්වතු හිමියා පොල් ගෙඩි තුනක් කැඩූ පොඩි පිරිමි ළමයා අල්ලා ගත්තේ CCTV කැමරා දමා මහ කෙළියක් කරලා ය. ඊටත් වඩා මහා කෙළියක්, එහි නඩුවේදී ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කළේය. ඔහු, නැති බැරි කමට පොල් ගෙඩි තුනක් හොරෙන් කැඩූ පොඩි එකාට සහ ලොකු උන් දෙන්නාට වයස් භේදයකින් තොරව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප බැගින් නියම කළේය. අක්කර එකහමාරක පොල් ඉඩමෙන් පොල් ගෙඩි තුනක් හොරෙන් කැඩූ විට එකාට එක පොල් ගෙඩියක් ගානේ හිමි වේ. එවිට පොල් ගෙඩියක් ලක්ෂ දෙකක් වටියි – බාල වයස්කාර පොඩි එකාගේ ජීවිතය බලු නොවටියි! 

කඩේකින් කෙසෙල් ගෙඩියක් හොරෙන් කා හසුවීම නිසා මුදලාලිගේ සහ විනිසුරුගේ ආනුභාවයෙන් අවුරුදු ගණන් හිරබත් කෑ පොඩි වුන් සිටින රටකි, මේ. උන් හිරෙන් එළියට එන්නේ සමාජ වෛරයෙන් වෙව්ලුම් කමිනි. ඇත්ත!

පොල් ගෙඩි තුනේ නඩු තීන්දුවට දැන් දින තුනකි. දවස් තුන යන විට කිසිවෙකුට විනිසුරුගේ නම මතක නැත. නමුත් ඔහු කළ ‘වීර ක්‍රියාව‘ නම් සදහටම මතක තියේ. ඔහුගේ හත්මුතු පරම්පරාව පවා මින් ඉදිරියට අපේ පරම්පරාව නොයෙක් විට සිහිපත් කරාවි!

ලංකාවේ අපරාධ යුක්තිය හැසිරවූ මහානාම තිලකරත්න හිටපු මහාධිකරණ විනිසුරුවරයාණන් මේ ‘නඩු තීන්දුව‘ නොව ‘අවනඩු තීන්දුව‘ ගැන හූල්ලමින් සහ කම්පා වෙමින් බලා සිටින්නට ඇත. එතුමා, මෙයට අවුරුදු 42කට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියට ආ මෙවැනිම සිද්ධියකදී තීන්දුව දුන් හැටි දනන් තුඩ-තුඩ අදත් රැව් දේ!

මහානාම තිලකරත්න විනිසුරුතුමා නීතීඥ වෘත්තියට බැඳුණේ 1968 වසරේදී ය. ඔහු 1978 වසරේ අධිකරණ සේවයට බැඳී මහේස්ත්‍රාත්වරයෙකු වශයෙන් මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයක සේවය කළේය. ඔහු ඉදිරියේ විභාග කෙරුණු එක් නඩුවක සිද්ධිමය කරුණු, පොල් ගෙඩි තුනේ අවනඩුවට සංකල්පීය වශයෙන් බොහෝ දුරට සමාන ය. 

ගරු මහානාම තිලකරත්න විනිසුරුතුමා 

ගරු මහානාම තිලකරත්න විනිසුරුතුමා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විනිශ්චයාසනාරූඪව සිටියේය. එනම් බඩගින්නට අනුන්ගේ වත්තකින් කොස් ගෙඩියක් කැඩූ ගැමියෙකි. 

‘‘තමුන් මේ වරද කළාද?‘‘

විනිසුරුතුමා ඇසූහ. 

‘‘එහෙමයි ස්වාමීනී, ගේ හරියෙ කන්න දෙයක් නෑ… මගෙ පුංචි ඈයො බඩගින්නේ… කොස් ගෙඩියක් හොරෙන් කැඩුවෙ ඒ නිසා..‘‘ යැයි බැගෑපත් හඬින් දුප්පත් ගැමියා පිළිතුරු දුන්නේය. 

‘‘මේක හොරකමක්! මම තමුන්ව මාස 3 කට හිරේට යවනවා..‘‘ යැයි විනිසුරු කීහ. ‘‘තමුන් ඒකට එකඟද? මම මේ මිනිහව මාස 3 කට හිරේට යවනවා..‘‘ යැයි මහානාම තිලකරත්න විනිසුරු පැමිණිලිකරු වෙත හැරෙමින් ඇසූහ. 

‘‘එහෙයි ස්වාමීනී‘‘ පැමිණිලිකරු පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් පිළිතුරු දුන්නේය. එදා CCTV තිබුණේ නැත. එනිසා පොලිසියේ කරුණු කියාපෑම තීරණාත්මක විය. කොස් ගෙඩිය හොරෙන් කැඩූ මිනිසාව උසාවි දැමීම පිණිස වතු හිමියා පොලිසියට කොස් ගෙඩි දෙක තුනක්වත් දෙන්නට ඇත.  

‘‘හොඳයි..‘‘ මහානාම තිලකරත්න විනිසුරාණෝ කීහ. 

‘‘මම එහෙනං මේ මිනිහව මාස තුනකට හිරේට අරිනවා. තමුන්, ඒ මාස තුන මේ මිනිහගෙ දරු පවුලට කන්න දෙන්න ඕනෙ…! ඒකට අවනත නොවුණොත් මම තමුන්වත් හිරේට අරිනවා..‘‘ 

මහානාම තිලකරත්න විනිසුරාණන්ගේ යුක්තියේ රාවය හඬ උසාවි ශාලාව පුරා එදා ප්‍රතිරාව නැගුවේය. 

එතැනින් එහාට සිදුවූ දේ නොකිව මනා ය. 

මේ නඩු දෙකම දුප්පත්කමේ අවනඩු ය. ගාල්ලේ අවනඩුව මේ අතරිනුත් ප්‍රධාන වන්නේ එකෙක් බාලවයස්කාර පොඩි එකෙක් නිසා ය. නමුත් මහානාම තිලකරත්න විනිසුරාණන්ට තිබූ මානුෂික අධිකරණමය මනස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්ට තිබුණේ නැත.  

විනිසුරෙකුට අධිකරණ ශාලාවක නිර්මාණශීලී වීමට ඉඩක් නැති බවත්, ඔහු තීන්දුව දිය යුත්තේ තමන්ට ඉදිරිපත් වන කරුණු හෙවත් ‘ඉදිරිපත් කරුණු ‘මත පමණක් පිහිටා යැයි බොහෝ අය සිතති. විශේෂයෙන්ම නීතීඥවරු සහ විනිසුරුවරු එසේ සිතති. එයම, නිර්මාණශීලී වන්නට විනිසුරෙකුට නොහැකි බවට ඔවුන් විසින් ඔවුන්ටම දමාගෙන තිබෙන අමනුෂ්‍යත්වයේ යාන්ත්‍රික කඩතුරාව ද වන්නේ ය. 

යුක්තිය යනු මනුෂ්‍යත්වය වෙත සේවය නොකරන හුදු තාක්ෂණික රීති සමුදායක් නොවිය යුත්තේය. යුක්තිය යනු, අධිකරණමය මනස වනාහී ගල් හදවතක් නොවන බවත්, මනුෂ්‍යත්වය වෙනුවෙන් සසල වන පණ ඇති යමක් බවත් විනිසුරු අසුන ඉදිරියට පැමිණෙන අයට හඟවන්නක් විය යුත්තේය. යුක්තිය යනු, නීතීඥ සහාය ලබාගත නොහැකි නිසා නිදහසට කරුණු පණ ඇතිව කීමට වරම් නොලබන අසරණයන් තවත් අනාථ කරන අමානුෂික යමක් නොවිය යුත්තේය. 

ලංකාවෙන් හරි අඩක් අන්ත දුප්පත්කමේ අගාධයේ ගිළෙමින් සිටින යුගයක මහානාම තිලකරත්නයන් වැනි හදවතක් ඇති විනිසුරුවරුන් එදාටත් වඩා අද – මේ රටට අවශ්‍ය වන්නේ එනිසා ය. 

මේ සටහන අප නිමා කරන්නේ පොල් ගෙඩි තුනේ අවනඩුව දා කවියෙකුගේ සසල සිතින් නික්මුණු පැදි පෙළකිනි. 

‘‘ඉනේ සළුවෙන් කොනක් ඉරලා
ඇසේ කළුවර තබා බැන්දා
තරාදිය මගෙ අතේ එල්ලා
උන්ම පඩි දම දමා කිරුවා
කඩුව වැනුවොත් සලුව ඉස්සී
මාව නිරුවත් වෙන්න නෙලුවා
දෙවඟනක් ලෙස වර්ණ ගන්වා
අනේ මා වෙසඟනක් කෙරුවා‘‘

මිනිසෙකු මැරූ වරදට වංගෙඩියක් බෝගම්බර ගිය රටේ, තවත් වතාවක් යුක්තියේ දෙවඟන වෙසඟනක් කළ ගාල්ලේ පොල් ගෙඩි තුනේ අවනඩුව මෙයයි!

  




Source link