October 27, 2021

Ada Rata

All news in one location

මෙරට එන්නත්කරණය ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රසාදයට පත්වෙලා..


September 22, 2021 at 6:20 am | lanka C news

මෙරට එන්නත්කරණය ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රසාදයට පත්වෙලා..

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික අභියෝගයන් කළමනාකරණය කර ගනිමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම මෙන්ම රටේ අත්‍යවශ්‍ය සංවර්ධන කාර්යයන් ඉදිරියට ගෙන යාමට වත්මන් රජය කටයුතු යොදා ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මේ බව සඳහන් කළේ ය.

කොවිඩ් 19 වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරලීමට සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා තිබෙනවා. වසංගතය පාලනය කිරීම සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව සිදු කෙරමින් පවතින අතර එම වැඩපිළිවෙල ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රසාදයට පත්වී ඇත්තේ නිසි ක්‍රමවේදයක් තුළ සිදු කිරීම නිසයි.

අද ලෝකයටම ප්‍රබල අභියෝගයක් වී ඇති කොවිඩ් වසංගතය පාලනය කිරීමට සෑම රටක්ම ප්‍රමුඛතාවය ලබාදෙනවා සේම ජන ජීවිත සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් තිබෙනවා. ඒ අනුව අපේ රට තුළද ආර්ථික, සමාජීය, සංස්කෘතිමය ඇතුළු ඒ ඒ අංශවල බිද වැටීමක් ඇති නොවන පරිදි පවත්වාගෙන යාමට කටයුතු කරමින් තිබෙනවා.

විශේෂයෙන් අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පාසල් විවෘත කිරීමේ ඇති හැකියාව සොයා බලමින් තිබෙනවා. දරුවන්ගේ හා ගුරුවරුන්ගේ අරක්ෂාව ප්‍රධාන කාර්යය සේ සලකමින් පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සෞඛ්‍ය හා අධ්‍යාපන විශේෂඥයින් විසින් අධ්‍යයනය කරමින් තිබෙනවා. මේ සියලු දෑ කළමනාකාරණය කර ගනිමින් දරුවන්ගේ අධ්‍යාපනය යළි ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

විපක්ෂය කොවිඩ් වසංගතය තම දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීමට උත්සහ කරමින් තිබෙනවා. ඔවුන්ගේ හැසිරීම් හා කරන කියන දෙයින් ඒ බව මනාව පැහැදිළි වනවා. වසංගතය ආරම්භයේ සිටම ඔවුනට අවශ්‍ය වූයේ කොවිඩ් වසංගතය අපේ රට තුළ පැතිර යමින් ජන ජීවිත හා රට පරිහානියට යනු දැකීමයි. එවැනි විපක්ෂයක කාර්යභාරය ජනතාව කිසිදු විටක අනුමත නොකරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– media unit

801 views



Source link