October 19, 2021

Ada Rata

All news in one location

මුහුණු ආවරණයක් නොමැතිව සිටි ඕස්ට්‍රේලියාවේ උප අගමැතිට දඩ


ඔස්ට්‍රේලියාවේ උප අගමැතිවරයා වන බානබි ජොයිස් මුහුණු ආවරණ නොපැලඳ ප්‍රසිද්ධ ස්ථානයක ගැවසීම නිසා දඩයක් පනවා ඇති බව වාර්තා වේ. උප අගමැතිවරයා මේ ආකාරයෙන් මුහුණු ආවරණයකින් තොරව ගැවසී ඇත්තේ ඉන්ධන පිරවුම්හලකය. සෞඛ්‍ය සීමාවන් උල්ලංඝනය කිරීමේ වරදට දඬුවම් ලැබූ එරට ඉහළම නිලධාරියා ඔහුය.

ජොයිස් මුහුණු ආවරණයකින් තොරව ඉන්ධන පිරවුම්හලේ සිටිනු දුටු පුද්ගලයකු ඒ ගැන පොලිසියේ විශේෂ අංශයකට දැනුම් දී තිබිණා. පොලිසිය එහි ගොස් කරන ලද පරීක්‍ෂණවලින් පසු මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයකු ඉන්ධන පුරවා ගත් බැව් සනාථ කරගෙන තිබුණා. නමුත් ඒ උප අගමැතිවරයා බව ඔවුන්ගේ නිවේදනයේ සඳහන් කර තිබුණේ නැත.

කෙසේ වෙතත් ඔහුගෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 200ක (ලංකා රුපියල් 30,000ක පමණ) දඩ මුදලක් අය කරගෙන ඇති බව වාර්තා වේ. උප අගමැති ජොයිස් පසුව මාධ්‍ය නාළිකාවක් සමග කළ සාකච්ඡාවකදී මෙම සිද්ධියට අදාළ පුද්ගලයා තමා බව පිළිගෙන ඇත.

එරට ඉහළ පෙළේ දේශපාලනඥයකු සෞඛ්‍ය සීමාවන් උල්ලංඝනය කිරීමේ වරදට දඬුවම් ලැබූ පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය වසරේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇමැතිවරයකු සංචරණ සීමා කඩ කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 1,000ක (ලංකා රුපියල් ලක්‍ෂ එකහමාරක පමණ) දඩයකට යටත් කෙරුණු අතර පසුව ඔහු ධුරයෙන්ද ඉල්ලා අස් වූවා.



Source link