October 20, 2021

Ada Rata

All news in one location

‘‘මියුසික් හරාම්!‘‘ – අන්තවාදී තලෙයිබානය සංගීතය තහනම් කිරීමෙන් නොනැවතී…



මේ ඔබ දකින්නේ සැප්තැම්බර් 5 වැනිදා ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර රෙකෝඩින් ස්ටූඩියෝවකට කඩා වැදුණු තලෙයිබාන් සටන්කාමීන්, එහි තිබූ සංගීත භාණ්ඩ විනාශ කර තිබෙන ආකාරයයි.

සමාජ ජාලවල වේගයෙන් සංසරණය වන මෙම ඡායාරූප, මුලින්ම අන්තර්ජාලයට එක් වූයේ කාබුල් නුවර සිටින අන්තර්ජාතික මාධ්‍ය වේදියෙකු වන ජෙරාම් ස්ටාකි ගේ ට්විටර් සටහන් 2 ක් මගිනි.

දෙවැනි ට්විටර් සටහනෙහි මෙසේ ද දැක්වේ.

‘‘කාබුල් පියානෝවල තවත් ඡායාරූප දෙකක්. තලිබ්ලා (තලෙයිබාන්ලා) තවමත් පණ තිබුණු පියානෝ යතුරු ඔබා බලා නාදයක් අසන්නට ඉතාම උනන්දු බව පෙනුණා. නමුත් මම කැමරාව ඔසවපු ඇසිල්ලේ ඔවුන් සෙවණැලි තුළට පැන ගත්තා. ඔවුන්ට සංගීත භාණ්ඩ එක්ක ඡායාරූපයක්වත් ගන්න අවශ්‍ය නැහැ. මේ ‘නව ඇෆ්ගනිස්ථානය‘ යි.‘‘

සජීවී සංගීතය අගෝස්තු අග සිට තහනම්


Getty Images

තලෙයිබානය විසින් සජීවී සංගීතය මුළු රටටම බලපැවැත්වෙන පරිදි තහනම් කළේ අගෝස්තු අග සතියේ ය. නමුත් නවතම වාර්තා පෙන්වා දෙන්නේ සජීවී සංගීතය පමණක් නොව, සංගීත භාණ්ඩ පවා ඔවුන් විසින් හොය හොයා වනසන බව ය.

තලෙයිබාන් මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහිද් නිව්යෝක් ටයිම්ස් පුවත් පත සමග කීවේ සංගීතය ‘පව්කාර‘ දෙයක් බවයි.

‘‘ඉස්ලාමයේ සංගීතය තහනම්‘‘ යැයි ද ඔහු කීවේය.

මේ අතර, සංස්කෘතික කටයුතු භාරව සිටින අමාත්‍යවරයා, සංගීතය සම්පූර්ණයෙන්ම තහනම් කරන්නට යන බව නිව්ස් වීක් සඟරාව සමග මුල් වරට කියා තිබිණි.

ඒ සමගම ඇතැම් වාර්තාවල සඳහන් වූයේ සංගීතඥයන් සිය සංගීත භාණ්ඩ පුළුස්සමින් සිටින බව ය.

නැවතත් 1996-2001 යුගය වෙත

මීට පෙර තලෙයිබාන් පාලනයක් පැවති 1996-2001 යුගයේදී ද මේ තත්වය මෙසේ ම විය.

තලෙයිබාන් පාලනය ස්ථාපිත වූ වහා, සංගීත භාණ්ඩ පමණක් නොව, කැසට් පට ද විනාශ කිරීමට සිදුවිය. සංගීතඥයන් අපරාධකරුවන් ලෙස සැලකීම ඒ යුගයේ සුලබ දෙයක් විය. බොහෝ දෙනා සැඟවී ජීවත් වූහ.

මේ වන විට 2010 වසරේදී පිහිටවූ ඇෆ්ගනිස්ථානයේ ජාතික සංගීත ආයතනය (ANIM) වසා දමා ඇති අතර, එහි ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් අවසන් දින කිහිපයේ සිය නිවෙස්වලට ගියේ ද ජීවිත අවදානමක් සහිතව ය.

මේ වන විට තලෙයිබානය විසින් සංගීතය පමණක් නොව, කාන්තාවන්ට මාධ්‍ය ආයතන ද තහනම් කරමින් තිබේ. රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකාවලින් කාන්තා කටහඬවල් ඇසීම තහනම් වෙමින් පවතින අතර, එහි පළමු පියවරක් වශයෙන් කන්දහාර් පළාතේ මෙම තහනම දැනට ද ක්‍රියාත්මක ය.

කෙසේ නමුත් පහත දැක්වෙන්නේ 2017 වසරේ පැවති ඩාවෝස් සමුළුවේ අවසානය සනිටුහන් කරමින් ANIM සංගීත පාසලේ ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කළ සුමියුරු වාද්‍ය අංගයයි.

‘‘අනේ අපි කවදාක.. හිනැහෙමුද මේ බිමේ.. ‘‘යැයි මේ ශිෂ්‍යාවන් නිසැකවම අද සිතනවා ඇත.

පසු සටහනක්

පසුගිය වතාවේ ඇෆ්ගනිස්ථානයේ සිට සරණාගත දරුවන් එංගලන්තයට පැමිණි විට තමන් මුහුණ දුන් අත්දැකීමක් එක්සත් රාජධානියේ සංගීත ගුරුවරියක් අප සමග විස්තර කළාය.

‘‘අපි සංගීතය අහමු..‘‘ ඇෆ්ගන් දරුවන්ගේ ආගමික පසුබිම පිළිබඳ එතරම් අවබෝධයක් නොතිබුණු සංගීත ගුරුතුමිය දරුවන් සමග සුපුරුදු පරිදි පන්තිය පටන් ගත්තාය.

එවිට, දරුවෝ ‘‘මියුසික් හරාම්‘‘ යැයි එක හඬින් කියූහ.

‘‘කමක් නෑ.. අපි අහමු..‘‘ යැයි කියමින් ගුරුවරිය සංගීතයට ඔවුන් හුරු කරවීමට වෙහෙස වූවාය.

පළමු දිනයේ දරුවන් සිටියේ කන් වසාගන්නා මට්ටමකිනි.

දින කිහිපයක් ගෙවී ගියේය.

තෙවැනි දිනයේ ගුරුවරියට පංතියට යන්නට මදක් ප්‍රමාද විය.

‘‘ටීච.. අපි මියුසික් අහමු..?‘‘ යැයි දරුවෝ ඇගෙන් පන්තියට ගිය විගස ආදරණීය ඉල්ලීමක් කළහ!

ආගම විසින් මිනිස් නිදහස සීමා කරන්නේ කෙසේද යන්නට මෙයට වඩා උදාහරණයක් අවශ්‍ය නැතැයි සිතමු.

රදිකා ගුණරත්න – අවුට්බවුන්ඩ් ටුඩේ




Source link