October 26, 2021

Ada Rata

All news in one location

මියගිය මුහුදු ජීවීන්ගේ කොටස් සිංගප්පුරුවට


කැස්බෑවුන්, ඩොල්ෆින් මත්ස්‍යයන් ඇතුළු මුහුදු ජීවීන් විශාල වශයෙන් මිය යාමට බලපා ඇත්තේ පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙන් පිට වූ කුමන වර්ගයේ රසායනික ද්‍රව්‍ය නිසාදැයි නිශ්චිතව තීරණය කිරීමට විදෙස් පර් ‍යේෂණාගාරයක සහාය ලබාගැනීම පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අංශ කීපයක අවධානය යොමුවී ඇත.

මෙලෙස මුහුදු ජීවීන් විශාල වශයෙන් මියයාමට බලපාන ලද රසායනික ද්‍රව්‍ය කුමක්දැයි නිශ්චිතව හඳුනාගැනීමට කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සතුව හැකියාවක් නොමැති බවද අනාවරණය වී තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් විසින් කරන ලද මියගිය කැස්බෑවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කීපයකදී අනාවරණය වී ඇත්තේ මාලු දැල්, නයිලෝන් ආදියට කැපී මියගොස් ඇති බවය.

වෙනත් ආකාරවලින් මියගිය මුහුදු ජීවීන්ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා හමුවටත්, රජයේ පශු පර්යේෂණායතනයටත් යවන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරු පවසති.

නමුත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේදී පරීක්ෂා කෙරෙන්නේ සතුන් මියගොස් ඇත්තේ එතනෝල්, නයිට්‍රික් ඇසිඩ් හෝ මයික්‍රෝ ප්ලාස්ටික් නිසාද යන කාරණා පමණක් බවද එම පශු වෛද්‍යවරු සඳහන් කරති. මුහුදු ජීවීන් මියයාමට හේතුව සොයා ගැනීම සඳහා මෙරට පර්යේෂණ ආයතන පුළුල් උනන්දුවක් නොදක්වන බවද ඔවුහු කියති.

මෙලෙස මුහුදු ජීවීන් විශාල ලෙස මියගොස් ඇත්තේ වාරකන් තත්ත්වය නිසා නොව නැවෙන් පිටවූ රසායනික ද්‍රව්‍ය නිසා බවද වනජීවී පශු වෛද්‍යවරුන් සඳහන් කරති.



Source link