October 26, 2021

Ada Rata

All news in one location

මාලන් සැමුවෙල්ස්ට තරග පාවාදීමේ චෝදනා



බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට තරග පාවාදීමේ චෝදනා එල්ල වී තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය මගින් කරුණු හතරක් යටතේ චෝදනා ගොනුකර තිබේ.

දූෂණ විරෝධී ඒකකයේ විමර්ශන සඳහා සහයෝගය ලබා නොදීම, ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තියට පත්කළ හැකි තෑගි, ගෙවීම් හෝ එවැනි වෙනත් ප්‍රතිලාභ සම්බන්ධයෙන් තොරතුරු හෙළි නොකිරීම, විමර්ශන සඳහා බාධා සිදු කිරීම ඇතුළු චෝදනා ඔහුට එල්ල වී ඇත.

2019 වසරේ පැවති අබුඩාබි T10 ලීගයට අදාලවයි මෙම චෝදනා එල්ල කර තිබෙන්නේ. ඔහු එම තරගාවලියේදී කර්නාටක ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කළ නමුත් එකදු තරගයකට හෝ ක්‍රීඩා කළේ නැත.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයටද මෙම චෝදනා සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර එම ආයතනය පවසන්නේ විමර්ශන සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරග 345 කට ක්‍රීඩා කළ සැමුවෙල්ස් පසුගිය වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කළේය. කොදෙව් කණ්ඩායම 20/20 ලෝක කුසලානය දිනාගත් 2012 සහ 2016 තරගාවලිවලදී අවසන් තරගයේ වැඩිම ලකුණුලාභියා වූයේ සැමුවෙල්ස්ය.

UN




Source link