October 28, 2021

Ada Rata

All news in one location

මහ කොමසාරිස්තුමා TNA නියෝජිත පිරිසක් හමු වේ



 

TNA නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආර්. සම්බන්ධන් මහතා ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත TNA නියෝජිත පිරිසක් මහ කොමසාරිස්තුමා හමු විය. කලින් සැලසුම් කළ මෙම හමුව අද දින (2021 ජූනි 17) ඉන්දියා හවුස් හිදී පැවැත්විණ. ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ නායක ගරු මාවයි සේනාධිරාජා මහතා සහ TNA පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන්, ගරු සෙල්වම් අඩෙයිකලනාදන් සහ ගරු එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරු මෙම හමුව සඳහා සහභාගී වූහ. නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා සහ දේශපාලන අංශ ප්‍රධානී භානු ප්‍රකාශ් මහත්මිය ද මහ කොමසාරිස්තුමා සමඟින් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ. 

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සහ පශ්චාත් කොවිඩ් සමය තුළ දෙරට අතර සම්බන්ධකතාවය වැඩි දියුණු කිරීම කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ. උතුරු නැගෙනහිර පළාත් හි ජනතාව ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන්ට සාමයේ ප්‍රතිලාභ භුක්ති විඳීමට අවකාශ සලසාලන නිවාස වැනි සමාජ යටිතල පහසුකම් නිර්මාණය කිරීම වෙනුවෙන් ඉන්දියාවේ දිගුකාලීන කැපවීම මහ කොමසාරිස්තුමා මෙහිදී අවධාරණය කළේය. සම්බන්ධකතාවය, සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රයන් හි පුනර්ජීවනයට සහ සංවර්ධනයට ඉන්දියාවේ සහය එතුමා අවධාරණය කළේය. 
උතුරු නැගෙනහිර පළාත් හි ජනතාවගේ බලය බෙදීමේ සහ සංවර්ධන අභිලාෂයන්හි විවිධ පැතිකඩ සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කරන ලදී. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රමයේ සහ ව්‍යවස්ථාවේ ඉතා වැදගත් කොටසක් වන පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳව TNA නියෝජිත පිරිස මහ කොමසාරිස්තුමා දැනුවත් කළේය. සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ සංහිඳියාව සඳහා දමිළ ජනතාවගේ අභිලාෂයන් හා සමපාත වන සහ ශ්‍රී ලංකාව ශක්තිමත් කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ පදනම යටතේ එක්සත් ශ්‍රී ලංකාවක රාමුව තුළ බලය බෙදීමට ඉන්දියාවේ සහය මහ කොමසාරිස්තුමා අවධාරණය කළේය. 
***
කොළඹ
2021 ජූනි 17




Source link