October 28, 2021

Ada Rata

All news in one location

මම ඔහුට වෛර කළා ඔහු ඉතාම අනතුරුදායකයි



“ඔහු හැමවෙලේම අපට තැලුවා. පිතිකරුවෙක් හැටියට මම ඔහුට වෛර කළා.”

“ඔහු කොච්චර හොඳ ක්‍රීඩකයෙකුද කියලා වාර්තා ඔබට පෙන්වාවි. ක්‍රිකට් ක්‍රීඩකයෙකු හැටියට, තුන් ඉරියව් ක්‍රීඩකයෙකු හැටියට, තානාපතිවරයෙකු හැටියට ලංකාවේ දැවැන්ත පෞර්ෂයක්. ඔහු හැමවෙලේම අපට තැලුවා. මටයි වකාර්ටයි. මට මතකයි අපට එරෙහි ඔහුගේ පළමු ටෙස්ට් තරගය ’89/90 (’91) සියල්කොට්වලදී.”

“ඔහු 80(77) ක් විතර ගැහුවා. ඔහු අංක 6 න් තමයි පිතිකරණයට ආවේ. අපට කියලා තිබුනා මේ හාදයා හොඳ ක්‍රීඩකයෙක් බව. ඔහු මුලින්ම පිතිකරණයට එනවිට අපි බැලුවා ඔහු කොච්චර හොඳ වෙන්න පුළුවන්ද කියලා. මටත් වයස අවුරුදු 24 ක් 25 ක් විතර ඇති. තරුණ කාලේ. සියල්කොට් තණතීරුවේ හොඳට තණකොළ තිබුනා. ස්ලිප්ස් ලා 4කුයි ගලී 2කුයි දැම්මා.”

“ඒත් මේ හාදයා හැමවෙලේම ගලී හරහා ගැහුවා. ගලී-පොයින්ට්-ගලී-පොයින්ට්… පිට ඉන්නෙන් පිටත ඉතාම ශක්තිමත් ක්‍රීඩකයෙක්. ඒ කියන්නෙ පොඩ්ඩක් හරි පන්දුව කෙටි වුනොත්, අඟලක් හරි, අඟලක් හරි පිට ඉන්නෙන් පිටතදී පන්දුව කෙටි වුනොත් ඔහු හැමවෙලේම වෙනස් කලාපයකින් ඔබට ගහනවා. පොයින්ට් වලට ඉස්සරහින්, පොයින්ට්වලට පිටිපස්සෙන්, කවර්වලට ඉස්සරහින්, එක්ස්ට්‍රා කවර්වලින්… ඉතින් ඒකයි ඔහුව අමාරු වුනේ.”

“එක්දින ක්‍රිකට්වලදී ඔහු ඊටත් වඩා දරුණුයි. මං හිතන්නෙ මට හයේ පහරවල් ගහපු පිතිකරුවන් සුළු පිරිසෙන් එක්කෙනක් තමයි ඔහු. මට මතකයි කෙන්යාවේදී පන්දු දෙකකට හයේ දෙකක් ගැහුවා පොයින්ට්වලට උඩින් කට් කරලා. ඒක හරි දුර්ලභයි. පිතිකරුවෙකු හැටියට මම ඔහුට වෛර කළා. ඔහු ඉතාම අනතුරුදායකයි.”

“ඔහුට ඉක්මන් ක්‍රියාකාරීත්වයක් තිබුනා. ඒ අතරේ මම දැනගෙන හිටියා ඔහුව දවාගන්න මට හොඳ අවස්ථාවක් ඇති බව. ඒත් එක්දින ක්‍රිකට් වලදී බවුන්සර් පන්දු දාන්න හැකිවුණේ නැහැ ඔබට මතක නම්… මම එක්දින තරග 360කට විතර ක්‍රීඩා කළා. ඉන් 300ක් විතර ක්‍රීඩා කළේ බවුන්සර් නැතුව විය යුතුයි. ෂාජා වගේ තණතීරු වල. ඒවගේ තැන්වලදී තමයි සනත් දරුණු වුනේ, ඒවගේම ටෙස්ට් ක්‍රිකට් වලදීත් අංක 6 පිතිකරු හැටියට ඔහු අපට එරෙහිව ලකුණු රැස්කළා.”

“ඒත් කාලයක් ගතවෙනකොට ඔහුව කිහිපවරක් අහුකරගන්න මට අවස්ථාව ලැබුනා මං හිතන්නේ. පන්දු විවිධාංගීකරණයක් ඇවිත් තිබුනා. සනත් එනකොට මම හැමවෙලේම හිතුවේ ‘පිට ඉන්නෙන් එළියට නම් පන්දු යවන්න එපා’ කියලයි. පන්දුව යන්න ඕන මැද ඉන්නෙන් පටන්ගෙන ඔහුගෙන් ඉවතට. පොඩ්ඩක් හරි ලයින් එක වැරදුනොත් ඔහු කට් පාරවල් ගහනවා. ඔහු හරිම ශක්තිමත්. වකාර් ඔහුට එරෙහිව හොඳින් පන්දු යැව්වා. අළුත් පන්දුවෙන් වුනත් පිතිකරු තුළට දෝලනය වෙන යෝකර් පන්දු ඔහු යැව්වා. සනත් එච්චර හොඳට ඉදිරිපාදයේ ක්‍රීඩා කළේ නැහැ. ඔහු ගොඩක් වෙලාවට කෙටි පන්දුවක් එනකම් නැවතිලා හිටියේ පසුපාදයේ.”

“මම පන්දු යවන්නෙක් හැටියට අළුත් පන්දුව ඔහුගෙන් ඉවතට දෝලනය කළා. මං හිතන්නේ ඔහු ඒකට ගොඩක් ඇලුම් කළා. (සිනහ). මොකද පීඩනයක් තියෙද්දී ඔබට පන්දුව එකම තැනකට යවන්න අමාරුයි. සනත් වගේ ක්‍රීඩකයෙකු පිතිකරණයේ ඉද්දි… ඔබ වැරදි කරන්න පෙළඹෙනවා. ඔබ වැරද්දක් කරන හැමවෙලාවකදීම ඔහු ඒකෙන් ප්‍රයෝජනය ගත්තා.”

“ඔහුට ඉඩදෙන්න එපා. මැද ඉන්නේ ඉඳන් එළියට පන්දුව දෝලනය කරන්න බලන්න. ඔහුට කට් පාරවල් හෝ පසුපාදයේ ඩ්‍රයිව් පහරවල් ගහන්න අවස්ථාව දෙන්න එපා. මගේ සැලසුම වුනේ ඒකයි. ඒක වැඩකළා, නමුත් ගොඩක් වෙලාවල්වලදී මන්දගාමී තණතීරු මතදී වැඩකළේ නෑ. මම ඔහුව එක්වරක් වේගය අඩාල කරපු පන්දුවකින් දවාගත්තා. ඔහු කට් එකක් ගහන්නයි ගියේ. පන්දුයවන්නෙකු හැටියට ඔබට අවස්ථාවක් ඇති බව ඔබ දැනගෙන හිටියට එක්දින ක්‍රිකට් වලදී අවස්ථාව 80% විතර ඉඳන් 20%ට විතර එනවා. මොකද ඔහු ඉතාම හොඳ රිද්මයක ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්.”

“අපි ශ්‍රී ලංකාවත් එක්ක හැමදාම වගේ ක්‍රීඩා කළා (සිනහ). අවස්ථා 42කින් 9ක් විතරක් සාර්ථක කරගත්තාය කියන්නෙ එතරම් හොඳ ලකුණක් නෙමෙයි (සිනහ)”

මේ අදහස් දැක්වීම වසීම් අක්‍රම් විසින් espncricinfo සඳහා කළේ සනත් ජයසූරිය ගැන.

සනත් ජයසූරිය විසින්ම කියන පරිදි ඔහු ක්‍රීඩා කළ අපහසුම පන්දු යවන්නන්ගෙන් ඉහළින්ම ඉන්න වසීම් අක්‍රම් ඔහුව දැකපු විදිහ තමයි මේ. එක්දින ක්‍රිකට් වලදී සනත් ජයසූරිය පාකිස්තානයට එරෙහිව ඉතාම හොඳින් පිතිකරණයේ යෙදුණු කෙනෙක්. ඒ වෙනකොට පාකිස්තානය සතුවූ වසීම් අක්‍රම්, වකාර් යුනිස්, ආකිබ් ජාවෙඩ්, ෂොයිබ් අක්තාර්, සක්ලේන් මුෂ්ටාක්, මුෂ්ටාක් අහමඩ් වගේ නම් ගත්තහම සනත් ජයසූරිය කියන්නේ කවුද කියලා පැහැදිළියි.

අද සනත් ජයසූරිය මහත්තයගේ උපන් දිනය. ඔහුට දීර්ඝායු වේවා !

– අසංක හදිරම්පෑල

UN




Source link