December 4, 2021

Ada Rata

All news in one location

බිට්කොයින් ගැන මහ බැංකුවෙන් අවවාදයක්!



අවුරුද්ද ඔන්න මෙන්න කියලා තියෙද්දී මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමේ අවදානම් පිළිබඳව මහජනයා දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා. මහ බැංකුව විසින් මෙවැනි නිවේදනයක් නිකුත් කරනු මම දැක්කේ මුල් වරටයි. සමහර විට මේ එවැන්නක් කළ මුල් වතාව නොවෙන්න පුළුවන්. කොහොම වුනත් මේ වෙද්දී බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් මහ බැංකුවටත් හිසරදයක් වී තිබෙන බව පැහැදිලියි.

මීට ආසන්න කාලයේ අපේ ඇතැම් පාඨකයින් විසින්ද බිට්කොයින් ගැන ලියන මෙන් ඉල්ලා සිටියා. මේ ඉල්ලීම අලුත් ඉල්ලීමක්ම නෙමෙයි. පාඨකයින් විසින් කාලයක් තිස්සේ කරන ඉල්ලීමක්. 

බිට්කොයින් ගැන මම හොයන්න පටන් අරන් දැන් අවුරුදු දහයකටත් වඩා වැඩියි. ඒ වෙද්දී බිට්කොයින් එකක මිල ඇමරිකන් ඩොලර් සත ගණනක්. මුලින්ම බිට්කොයින් එකක මිල ඇමරිකන් ඩොලරය පහු කරද්දී මේ ගැන සැලකිය යුතු අවධානයක් යොමු වුනා. ඒ 2011 පමණ කාලයේදී. දැන් බිට්කොයින් එකක් ඩොලර් 55,000ක් පමණ වෙනවා. 

මේක ටිකක් තේරෙන විදිහකට පැහැදිලි කළොත්, අවුරුදු දහයකට කලින් කවුරු හරි රුපියල් සීයක් බිට්කොයින් වල ආයෝජනය කළානම් මේ වෙද්දී ඒ තැනැත්තා කෝටිපතියෙක්. මොකද පහුගිය අවුරුදු දහයක කාලය තුළ රුපියල් සීයේ බිට්කොයින් එකක් රුපියල් මිලියන දහයක් හෙවත් රුපියල් කෝටියක් වෙලා.

කොහොම වුනත් බිට්කොයින් සම්බන්ධව පෞද්ගලිකව මට තිබෙන්නේ මිශ්‍ර හැඟීමක්. මේ ගැන ලියන්න කියා ඉල්ලීම් බොහෝ වර ආවත් එසේ කරන්න උනන්දුවක් ඇති නොවුනේ මේ මිශ්‍ර හැඟීම නිසා. එක පැත්තකින් බිට්කොයින් වගේ අතථ්‍ය මුදල් නිසා ලෝකය පුරා මහ බැංකු විසින් කරන “කැත වැඩේ” කරන්න බැරි වෙනවා. අනෙක් පැත්තෙන් එය වෙන්නේ වෙනත් අය විසින්ද ඒ “කැත වැඩේම” කරන එක හරහා.

පෞද්ගලිකව මට මුදල් වලින් සතුටක් ලැබෙන්නේ ඒ මුදල් නිසාම නෙමෙයි. ලැබෙන මුදලක මම කරන මොකක් හෝ දෙයක වටිනාකම පිළිබිඹු වන නිසා. වෙනත් විදිහකින් කිවුවොත් ආතල් එක තියෙන්නේ සල්ලි හොයන්න ගහන ගේම් එක ඇතුළේ මිසක් සල්ලි වල නෙමෙයි. මේ හේතුව නිසා මම කුඩා කාලයේ ඉඳලම ලොතරැයි මිල දී ගන්නේ නැහැ. බිට්කොයින් වල ආයෝජනය කරලා සල්ලි හොයන්න පුළුවන් බව පැහැදිලි වුනත් මට ඒ වැඩේට හිත යන්නේම නැහැ. 

බිට්කොයින් ජනප්‍රිය වෙන්න හේතු දෙකක් තිබෙනවා. පළමුවැන්න එක විදිහක දේශපාලනික හේතුවක්. ලෝකයේ රටවල් වල ජාතික මුදල් ඒකක වල අගය පාලනය කරන රජයයන් හා මහ බැංකු විසින් ඉතා කැත සූරාකෑමක් කරනවා. එය කරන්නේ සල්ලි අච්චු ගැසීම හරහා. ලංකාවේ රුපියල්, ඇමරිකන් ඩොලර් ඇතුළු බොහෝ ව්‍යවහාර මුදල් ඒකක වලට කිසිදු නෛසර්ගික වටිනාකමක් නැහැ. මේ මුදල් වලට අපි කියන්නේ ආඥාප්ති ව්‍යවහාර මුදල් එහෙමත් නැත්නම් ෆියට් මුදල් කියලා. මුදල් වල වටිනාකම තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මත. මේ ඉල්ලුම යම් ආකාරයක කෘතීම ඉල්ලුමක්.

මහ බැංකුව කියන විදිහට බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීම අවදානම් වැඩක්. ඇත්ත. නමුත් ප්‍රශ්නය මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල් නෝට්ටු ළඟ තබා ගැනීමේ අවදානමක් නැද්ද කියන එකයි. රුපියල් නෝට්ටු වලත් ඒ වගේම අවදානමක් තිබෙනවා. බිට්කොයින් ප්‍රවර්ධකයින්ගේ ප්‍රධානම තර්කයක් වන්නේ මහ බැංකු විසින් කරනවාක් මෙන් ඔවුන් විසින් සීමාවක් නැතුව බිට්කොයින් සැපයුම වැඩි කරන්නේ නැහැ කියන එකයි.

අලුතින් සංසරණයට එකතු වන බිට්කොයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. එහෙම අඩු වෙලා ගිහින් 2040 පමණ වෙද්දී බිට්කොයින් “අච්චු ගැසීම” සම්පූර්ණයෙන්ම නවතිනවා. නමුත් වෙනත් ඕනෑම මුදල් ඒකකයක් අලුතෙන් අච්චු ගැසීම එන්න එන්නම වැඩි වෙනවා වගේම එහි කිසිම සීමාවක් නැහැ. ඒ නිසා වෙනත් මුදල් වලට සාපේක්ෂව බිට්කොයින් වලට උද්ධමනයෙන් ආරක්ෂාවක් තිබෙනවා. 

මේ වෙනස හැර බිට්කොයින් වල අනෙක් මුදල් වලට නැති විශේෂ වටිනාකමක් තියෙනවද? එවැන්නක් නැහැ. බිට්කොයින් කියන්නෙත් ෆියට් මුදල් වර්ගයක්. බිට්කොයින් වලත් කිසිම නෛසර්ගික වටිනාකමක් නැහැ. 

ලොව පුරා අරාජිකවාදීන් අතර බිට්කොයින් ජනප්‍රියයි. මම අරාජිකවාදියෙක් නෙමෙයි. ඉතා පැහැදිලිවම රජය කියන්නේ අකාර්යක්ෂම යාන්ත්‍රනයක්. එසේ වුවත් රජයකින් කළ හැකි යම් කාර්යභාරයක්ද තිබෙනවා කියා මම විශ්වාස කරනවා. පෞද්ගලික සමාගමක් කියා කියන්නේ මිනිස්සු එකතු වී සාමූහිකව හදා ගන්නා යාන්ත්‍රණයක්. එවැන්නක් පවතින එක හොඳනම් මිනිස්සු එකතු වී සාමූහිකව හදා ගන්නා තවත් යාන්ත්‍රණයක් වන රජය මුළුමනින්ම අහෝසි වී යා යුතුයි කියා හිතන්න ලොකු හේතුවක් නැහැ. රජය ප්‍රශ්නයක් වන්නේ රජය සතුව ඕනෑවට වඩා වැඩි අධිකාරී බලයක් ගොනු වී එය තවදුරටත් මිනිසුන්ගේ පොදු හා සාමූහික යාන්ත්‍රණයක් නොවූ විටයි.

මේ වගේම තර්කයක් බිට්කොයින් හා අදාළවත් ගේන්න පුළුවන්. මහ බැංකු සල්ලි අච්චු ගහලා මුදල් උපයනවා වගේම බිට්කොයින් නිකුත් කළ මූලික කණ්ඩායම පැත්තක ඉඳලා බිට්කොයින් වලිනුත් සල්ලි හොයනවා. රජයයන් හා මහ බැංකු විසින් සල්ලි අච්චු ගහලා එකතු කර ගන්නා ධනය යන්නේ යම් සීමිත පිරිසක් අතට වුවත් බිට්කොයින් වලින් පෝසත් වෙන්නේ ඊට වඩා ගොඩක් පොඩි, සමහර විට අතේ ඇඟිලි වලින් ගිනිය හැකි, පිරිසක්. 

බිට්කොයින් සැපයුම සීමිතයි කියන එක ආකර්ශනීය “සටන් පාඨයක්”. එහෙත් බිට්කොයින් වැනි අතථ්‍ය මුදල් පොදුවේ සැලකුවොත් එවැනි සීමාවක් නැහැ. මේ වැඩේ ඕනෑවට වඩා ව්‍යාප්ත වුනොත් පොදුවේ අතථ්‍ය මුදල් තවත් පිරමිඩ් ක්‍රමයක් වගේ වෙනවා. අනෙක් පැත්තෙන් චීනය මුලිනුත්, ඇමරිකාව ඉන් පසුවත් මේ වැඩේට රජයයන් ලෙසම අත ගහන්න යාමත් එක්ක මේ සමීකරණය වෙනත් පැත්තකට හැරෙන්න පුළුවන්. 

ප්‍රාග්ධනය එක්ක බොහෝ විට බලයත් එකට යනවා. ඉතාම දුරස්ථ කාරණාවක් වුවත් යම් හෙයකින් බිට්කොයින් හෝ වෙනත් යම් නිශ්චිත අතථ්‍ය මුදල් ඒකකයක් ලෝක පරිමාණයෙන් ප්‍රධානම මුදල් ඒකකය බවට පත් වෙනවා කියා අපි හිතමු. සෛද්ධාන්තිකව බිට්කොයින් වලට එවැනි තැනකට එන්න බැරිකමක් නැහැ. එවැන්නක් වෙනවා කියා කියන්නේ බිට්කොයින් හඳුන්වා දුන් මූලික කණ්ඩායම අත ලෝකයේ දේශපාලන බලයද කේන්ද්‍රගත වෙනවා කියන එකයි. 

මතක තියා ගන්න බිට්කොයින් හඳුන්වා දුන්නේ කවුරුවත් නමක් ගමක් නොදන්නා ඇනෝ කෙනෙක්. මුලින්ම “කණිනු ලැබූ” බිට්කොයින් විශාල ප්‍රමාණයක් තවමත් තිබෙන්නේ ඔහු සතුවයි. අලුතෙන් සංසරණයට එකතු වන බිට්කොයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙද්දී බිට්කොයින් සැපයුම තීරණය කිරීමේ බලය මේ පුද්ගලයා අතේ කේන්ද්‍රගත වෙනවා. 

බිට්කොයින් හෝ වෙනත් අතථ්‍ය මුදල් වල ආයෝජනය කරන අති මහත් බහුතරය සමපේක්ෂකයින්. ඔවුන් එසේ කරන්නේ ඉක්මණින් පෝසත් වෙන්නයි. ඉතා ඉක්මණින් මේ සමපේක්ෂකයින්ගේ සිහින බිඳ වැටෙන එකක්නම් නැහැ. ලෝකය පුරා මහ බැංකු විසින් විශාල ලෙස සල්ලි අච්චු ගසමින් අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමට මිනිසුන් පොළඹවමින් සිටින අතර ඒ නිසාම තවත් කාලයක් යන තුරු මේ වෙළඳපොළ කඩා වැටෙන එකක් නැහැ.

පළමු වරට පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහ ලොවක මිනිසුන් විසින් හෙලිකොප්ටරයක් පියාසර කළ අද දින වන විට ඇමරිකාවේ ඕනෑම ප්‍රාන්තයකින් වයස අවුරුදු 16 ඉක්මවූ අය‍ට කෝවිඩ් එන්නතක් ලබා ගත හැකියි. මේ වෙද්දී ඇමරිකාවේ ජන ජීවිතය වේගයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. ඒ එක්කම අපටද කාලයක් පැත්තකට දමා සිටි බොහෝ දේවල් ගැන නැවත අවධානය යොමු කරන්න සිදු වෙනවා. බ්ලොග් එක වෙනුවෙන් වැය කළ හැකි කාලය අඩු වෙනවා.

– ඉකොනොමැට්ටා




Source link