October 19, 2021

Ada Rata

All news in one location

බ්‍රැඩ්මන්ගේ ශතකය බේරා දුන් අයන්මොන්ගර්



බර්ට් අයන්මොන්ගර් යනු 1928 -1933 අතර කාලයේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ දක්ෂ වමත් දඟ පන්දු යවන්නෙකි. තමා ක්‍රීඩා කළ ටෙස්ට් තරඟ 14 දී ඔහු කඩුලු 74ක් බිඳ හෙළීමට සමත් විය. ඉනිමක කඩුලු 05 බැගින් අවස්ථා 04ක් ද, තරගයක කඩුලු 10 බැගින් අවස්ථා 02ක් ද වාර්තා කර ඇති ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍යය 17.97කි. හොඳම පන්දු යැවීම ලකුණු 23කට කඩුලු 07කි. මේ කෙටි දත්ත ප්‍රමාණය සළකා බැලීමෙන් පමණක් වුවද ඔහු කොතරම් දක්ෂ පන්දු යවන්නෙක්දැයි වටහා ගන්නට හැකිය.

නමුත් අයන්මොන්ගර් යනු අතිශය දුර්වල පිතිකරුවෙකි. ටෙස්ට් තරග 14ටම ඔහු රැස් කරගෙන ඇත්තේ ලකුණු 42ක් පමණි. ඉනිමක ලැබූ වැඩිම ලකුණු සංඛාව 12කි. පන්දුවට පහර දීමේ සාමාන්‍යය 2.62කි. එය පසුපෙළ පිතිකරුවෙකුට වුවද තරම් නොවන ඉතා පහළ සාමාන්‍යයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඔහු කොතරම් දුර්වල පිතිකරුවෙක්ද යත් කණ්ඩායමේ සාමාජිකයන් අතර ඔහු පිළිබඳ පට බැඳුණු විහිළු කතාවක් ද විය. ඒ කතාවට අනුව එක්තරා තරගයක දී ඔහු පන්දුවට පහර දීමට යද්දී ඔහුගේ බිරිඳ ඔහුට දුරකතනයෙන් ඇමතුවේලු. ඇමතුමට පිළිතුරු දුන් ක්‍රීඩාගාරයේ සිටී ක්‍රීඩකයෙක් අයන්මොන්ගර් මේ දැන් පන්දුවට පහර දීම සඳහා පිටියට යන බව කීවේලු. එය ඇසූ අයන්මොන්ගර් මහත්මිය මෙසේ කීවාලු;

“කමක් නැහැ, මම දුරකතනයේ රැඳී ඉන්නම් !”

කෙසේ වුවත් එක් අවස්ථාවක දී ලෝක පූජිත පිතිකරු ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට ශතකයක් ලබා ගැනීම සඳහා අයන්මොන්ගර් ඉනිමේ අවසාන පිතිකරු ලෙස විශාල සහයෝගයක් ලබා දුන්නේය. එය 1932 වර්ෂයේ දී ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර මෙල්බර්න් ක්‍රීඩා පිටියේ දී පැවති අළු බඳුන තරගයයි. ප්‍රථම ඉනිමේ ලකුණු නොලබා දැවී ගිය බ්‍රැඩ්මන් දෙවැනි ඉනිමේ තමාටම ආවේණික වූ සුවිශේෂී පිතිහරඹයෙන් ශතකය ආසන්නයටම පැමිණියේය. නමුත් අනෙක් පසින් දිගින් දිගටම කඩුලු බිඳ වැටුණි. බ්‍රැඩ්මන් ශතකයට ඔන්න මෙන්න කියා සිටියදී 9 වන කඩුල්ලත් පිටියෙන් ඉවත් විය. අවසන් පිතිකරු ලෙස අයන්මොන්ගර් පිටියට පැමිණියේය. බ්‍රැඩ්මන් අසලට ගිය ඔහු සිය සගයාට මෙසේ කීවේය;

“ඩොන්, බයවෙන්න එපා. මම ඔබ වෙනුවෙන් ඉන්නම්.”

එම ඕවරය අවසන් වීමට තවත් පන්දු දෙකක් ඉතිරිව තිබුණි. ඕස්ට්‍රේලියානු ප්‍රේක්‍ෂකයන්ගේ ඇඟ ලොමුදැහැ ගන්වමින් ඒ පන්දු දෙකම අයන්මොන්ගර්ගේ පිත්තේ ගෑවී නොගෑවී කඩුලු රකින්නා වෙත ඇදී ගියේය. නමුත් හානියක් සිදු නොවීය. ඔහු බ්‍රැඩ්මන්ට පොරොන්දු වූ ලෙසම කෙසේ හෝ සිය අන්තය ආරක්ෂා කර ගැනීමට සමත් විය. ඊළඟ පන්දු වාරයේ  දී බ්‍රැඩ්මන් සිය ශතකය ලබා ගත්තේය. එදින ක්‍රීඩාගාරයේ රැඳී සිටී 68000 පමණ වූ ප්‍රේක්ෂකයෝ අත්පොළොසන් නද දෙමින් එය සැමරූහ.

එසේ පිත්තෙන් සිය කණ්ඩායමට දායකත්වය සැපයූ අයන්මොන්ගර් ඉන්පසු තමාට සුපුරුදු පන්දු යැවීමෙන් ද දක්ෂතා දක්වමින් එංගලන්ත ඉනිම බිඳ දැමීමට දායක විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියාව එම තරගයෙන් ලකුණු 111ක පහසු ජයක් ලබා ගත්තේය. එදා අයන්මොන්ගර්, බ්‍රැඩ්මන්ට ලබා දුන් සහය අදටත් අළු බඳුන ඉතිහාසයේ රසවත් මතකයකි.

(මූලාශ්‍ර – ප්‍රේමසර ඈපාසිංහගේ ‘බ්‍රැඩ්මන් යුගය’ කෘතියෙන් සහ අන්තර්ජාලයෙන්.)

– KS –




Source link