November 29, 2021

Ada Rata

All news in one location

බහුරූ කෝළං පාලනය ඇති – විමලනාත් වීරරත්න



2022 සඳහා අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමේදී එහි වදන් අතර ඉහළම නැඹුරුවක් දක්නට ලැබුණේ ග්‍රාමීය ආර්ථිකය නැංවීම කෙරෙහිය. පාරම්පරික හා සාම්ප්‍රදායික කලා ශිල්ප දියුණු කර ඊට වෙළඳපොළක් නිර්මාණය කිරීමේ සිට පශු සම්පත් නිෂ්පාදනය වර්ධනය කිරීම දක්වා දේවල් ඒ අතර විය. එහෙත් බරපතළම ප්‍රශ්නය වන්නේ එම ග්‍රාමීය ආර්ථික උපාය මාර්ග ජාතික ආර්ථිකයට බද්ධ කර ගැනීමත් ඉන් නොනැවතී ගෝලීය ආර්ථිකයට බද්ධ කර ගැනීමත් පිළිබඳ උපායමාර්ග නොතිබීමය.

අද වනවිට සජබ, ජාජබ වැනි පක්ෂ ගම දෙසට නැඹුරු වීමම පොජපෙ අයවැයේ දිස්වෙයි. වෙනස ඇත්තේ සජබ හා ජාජබ හිස් අතින් ගම් බලා යාමත් පොජපෙ තුට්ටු දෙකක් ගම දෙසට වීසි කරන බව කීමත් අතරය. පොජපෙට ආණ්ඩු බලය තිබෙන නිසා තුට්ටු දෙකක් ගමට වීසිකර සංදර්ශනයක් පෙන්වා ගැලවෙමින් තිබෙන ඡන්ද ටික ඊළඟ මැතිවරණයේදී ඩැහැ ගැනීමට යත්න දරයි. මෙවර එය සැලසුම් කරන පරිදි ම සාර්ථක වනු ඇද්දැයි කිව නොහැක්කේ වී ගොවියාගේ හා හේන් ගොවියාගේ ප්‍රශ්න ගැන ආණ්ඩුව සංදර්ශනාත්මක අරුතින් වත් සංවේදී වී නැති නිසාය. පොහොර ප්‍රශ්නයට වී විකුණා ගැනීමේ ප්‍රශ්නයට මෙන්ම වන අලි හා වගා හානි ප්‍රශ්නයට ආණ්ඩුවට කිසිම පිළිතුරක් නැත.

ග්‍රාමීය ආර්ථිකය නැංවීම

වේවැල්, මැටි, පිත්තල, ලාක්ෂා, වෙස්මුහුණු, පොල්කටු නිර්මාණ, ගල් කැටයම් හා දුම්බර රටා වැනි පාරම්පරික නිෂ්පාදන වැඩි දියුණු කිරීමට විසර්ජන පනත මගින් යෝජනා කළ මුදලට අතිරේකව රුපියල් මිලියන දහසක් වෙන් කරන බව මුදල් ඇමැති කීවේය. මේ කිසිදු නිර්මාණයක් ජාතික ආර්ථිකයට ගැට ගැසිය නොහැකි මට්ටමකට මේ වනවිට පත්ව ඇත. ජාතික ආර්ථිකය නැංවීම තබා එම කර්මාන්ත වල නියුතු වූවෝ දෛනික ආදායම වත් උපයා ගත නොහැකි අසරණ තත්ත්වයට පත්ව සිටිති. නිදසුනකට දුම්බර පැදුරු කර්මාන්තය ගතහොත් මේ වන විට එම කර්මාන්තය අභාවයට ගොස් තිබේ. විශේෂයෙන්ම තරුණ පරම්පරාව කුරුපාව මත පන් කොළය සවිකොට පැදුරු වියන එම මනරම් කර්මාන්තය අතහැරියේ මීට වසර පහළොවකට පමණ පෙර සිටය. ඒ බව නොදන්නා මුදල් ඇමති දුම්බර රටා වර්ධනය කරන බව කියයි. මෙම සමහර පාරම්පරික කර්මාන්ත වලට කුල සාධකය ද බලපෑවේය. ආර්ථික අහේනියෙන් මෙන්ම කුල සාධකයෙන් ද බැට කන විට එම පරම්පරාවන්හි වර්තමාන සාමාජිකයෝ දෙවරක් නොසිතා කර්මාන්තය අත් හළහ. ලාක්ෂා සහ වෙස්මුහුණු කර්මාන්තයටත් විශේෂයෙන්ම ආර්ථිකයේ විතැන්වීම බලපෑවේය. අත් යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනය ජාතික ආර්ථිකයට ශක්තියක් ලබාදිය හැකි නිෂ්පාදන ක්‍රියාවලියක් යැයි කිව නොහැකිය. එම නිෂ්පාදන වලට නිසි වෙළඳ පලක් නැත. බතික් වලටත් බලහත්කාරයෙන් වෙළඳපලක් ගොඩනැඟිය නොහැකිය. වර්තමාන තරුණ පරපුර බතික් අඳින්නේම නැත. විෂය භාර ඇමති දයාසිරි වැනි තරුණයකු වුව අදින්නේ ඉදහිට ය. එමෙන්ම ආනයනික රෙදිපිළි ඊට වඩා අඩු මිලට ගත හැකිය. අත් යන්ත්‍ර සඳහා යටිතල මෙවලම්වල මිල ගණන් ඉහළ ගිය තත්ත්වයක් තුළ එම කර්මාන්තයට වෙළඳපළක් සකස් කිරීම උගහටය.

කෘෂිකාර්මික නිෂ්පාදන වලින් විදේශ විනිමය ඉපැයිය හැකිය. එහෙත් ඒවාට අවශ්‍ය පොහොර පිළිබඳ අර්බුදයක් තිබියදී ඉන් නිසි ප්‍රතිඵල ගත නොහැකිය. මල් හා පත්‍ර වගා ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමුකර ඇතත් ඒවා ගැන රජයට නිසි තක්සේරුවක් තිබේද යන්න සැක සහිතය. මන්ද රටෙහි ආර්ථික මාවත රජය සකසන බව පෙනෙන්නේ නිෂ්පාදනයට බර තබා නොවේ. සේවා ආර්ථිකය කෙරෙහි ඔවුන්ට යම් නැඹුරුවක් තිබෙන මුත් නිෂ්පාදන ආර්ථිකයක් ගැන ගැඹුරු අදහසක් නැත. ඉහත ක්‍රියාමාර්ග මගින් ග්‍රාමීය ආර්ථිකය නැංවුණත් නැතත් ඔවුන්ට ගමෙහි හා අර්ධ නාගරික ජනයාගේ අවධානය දිනා ගැනීමට අවශ්‍යව ඇත. ඒ මැතිවරණ දිනීම සඳහාය. අයවැය ප්‍රධාන වශයෙන් ආර්ථික සංවර්ධන උපාය මාර්ග හා ඉලක්ක තේමා  කර ගැනීම වෙනුවට සියලු ප්‍රදේශ වදන් හරඹයකින්  ආවරණය කැරෙන මැතිවරණ ලියැවිල්ලක ස්වරූපය ගෙන තිබීමෙන් ඒ බව ප්‍රත්‍යක්ෂ වෙයි. උක්ත ග්‍රාමීය ආර්ථික උපාය මාර්ග ආචීර්ණ කල්පික ය. ඒවායින් ගාමීය ආර්ථිකය පණ ගැන්විය නොහැකිය. ඒ සඳහා නිෂ්පාදන ආර්ථිකයක් දෙසට රට යොමු කළ යුතුය. අයවැයට පෙර, සාමාන්‍යයෙන් අයවැයේදී කරන මිල වැඩි කිරීම් ආණ්ඩුව සිදුකර තිබුණි. අයවැයේදී කිරීමට ඉතිරිව තිබුණේ මෙවැනි ප්‍රබන්ධමය කුල්මත් කිරීමක් මතුවන ලියවිල්ලක් ඉදිරිපත් කිරීම පමණි. අයවැයෙන් වක්‍ර බදු වැඩිකර සිගරැට් රුපියල් 5 කින් හා ගල් අරක්කු රුපියල් 200 කින් වැඩි කළ අතර ග්‍රාමීය ජනයා තුළ, විශේෂයෙන් කාන්තාවන් තුළ එමඟින් විරෝධයක් පැන නො නගී. එහෙත් සිගරැට් හා අරක්කු මිල වැඩිවීම නිසා යළි පහර වදින්නේ නිවසක බත් පතට ම ය.  ඒ කෙසේ හෝ ගෙදර පිරිමියා හම්බකරන මුදලින් සැලකිය යුතු කොටසක් අරක්කු වලට වැය කරන නිසාය. අරක්කු කෙතරම් මිල වුවත් ඇඟේ මහන්සියට බාංවැල්ගැට නොබොන නිසාය.

රාජ්‍ය සේවය හා වැය බර

මුදල් ඇමැති යෝජනා කළ යුතුව තිබුණේ විශ්‍රාම යන වයස 65 බවට පත් කිරීම නොව ඔවුන් සාමාන්‍ය පරිදි විශ්‍රාම ගිය පසු උගත් තරුණයින් රාජ්‍ය සේවයට බඳවාගෙන අකාර්යක්ෂම රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට පියවර ගැනීම ය. අනෙක් අතට ජනාධිපතිවරයා සිය දේශපාලන පොරොන්දුවක් ලෙස රජයේ රැකියා සඳහා 150000 ක් බඳවා ගත්තේය. ඒ ඔවුන්ගෙන් රාජ්‍ය සේවයට උපරිම ප්‍රයෝජනයක් ගත හැකි ක්‍රමවේද සකසා නොවේ. අපොස සාපෙල අසමත් පනස්දහසකට නිසි වෘත්තීය පුහුණුවක් නොලැබුණි.ඔවුන් කකාස වැනි තනතුරුවලට පත් කළ හැකි බව ජනපති වේලාසනම කීවේය. කළ යුතුව තිබුණේ අපොස අසමත් එම පිරිස අදාළ ක්ෂේත්‍රයන්හි වෘත්තීය පුහුණුවකට යොමු කර එම තරුණයින්ගේ මැදිහත්වීමෙන් ඉපැයීම් කළ හැකි වෘත්තීය පසුබිමක් නිර්මාණය කිරීමය. මාධ්‍ය හමුවකදී මේ බව මම ජනපතිට කීවෙමි.ඒ 150000 බඳවා ගැනීමට ආසන්න වකවානුවෙහිය. ජනපති එම අදහස පිළිගත්තත් ක්‍රියාත්මක නොකළේය. ඔහු දේශපාලන පොරොන්දු ඉටු කිරීම වැදගත්ය.  එහෙත් පොරොන්දු විය යුත්තේ හා ඒවා ඉටු කළ යුත්තේ රටට ප්‍රයෝජනයක් වන ආකාරයටය. ලංකාවේ දේශපාලන නායකයන්ට නැත්තේ එම සංස්කෘතිය ය. උපාධිධාරීන් ලක්ෂයක් දෙනාටත් රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පුහුණුව නොලැබුණි. ඒ අනුව රාජ්‍ය සේවය තවදුරටත් බරක් බවට පත්කළේ ජනපතිය. රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවිය යුතුය. එහෙත් ඒ රාජ්‍ය සේවයට දරා ගත නොහැකි බරක් නොවන පරිදි  උපරිම සඵලතාව ද එම පත් කිරීම් වලින් ලැබෙන පරිදිය.

මෙම කිසිදු තීරණයකදී ආණ්ඩුව දුරදිග බලා නැති බව පැහැදිලිය. විශ්‍රාම යන වයස 65 බවට පත්කළේ විශ්‍රාම යන පිරිසට කළ යුතු ගෙවීම් කිරීමට ආණ්ඩුවට මුදල් නැති නිසා ය. එමෙන්ම අර්ථසාධක අරමුදල තව වසර 5-10 ක් හැසිරවීමට ඉඩ ලබා ගැනීමට ය. විශ්‍රාම යන වයසක් තීරණය වී ඇත්තේ ශාරීරික හා මානසික යන ද්වි කාරණා මුල්කරගෙනය. වියපත් ඇතැමුන්ට තීරණ ගැනීම අපහසුය. ප්‍රධානියා නිසා ගන්නා ඕනෑම තීරණයක් ඔහු යටතේ සිටින අය ක්‍රියාත්මක කිරීමට යාම සියල්ලටම වඩා භයානක ප්‍රතිඵල ගෙන දෙන්නකි. විශේෂයෙන්ම රට ගැන තීරණ ගත යුත්තේ නිරෝගී මානසික හා ශාරීරික තත්ත්වයක සිටින දැනුවත් පුරවැසියන්ය. උගත් තරුණ පිරිසක් රාජ්‍ය සේවයට අවශ්‍ය ඒ නිසාය. එමෙන්ම රටේ පාලනයටත් එම කරුණ අදාළ විය යුතුය. රාජ්‍ය සේවයේ වයස 65 සලකා බැලුවත් ජනපතිත් අගමැතිත් සිටිනුයේ විශ්‍රාම යන වයසටත් වඩා වසර දහයක් පමණ පසුකරය. බෙල්ලෙන් අල්ලලා කාබනික පොහොර වලට යොමු කරනවා වැනි  කතාවක් ජනපති කියා තිබුණේ මානසික පසුබෑම නිසා විය හැකිය. මෙම ක්‍රමය නිසා රටෙහි වැඩ කළ හැකි තරුණ පරපුරට එම අවස්ථා අහිමි වී යයි. ඉන්සිදුවන්නේ රට තව පස්සට යාම බව සිතීමට තරම් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සැලසුම් කරුවන්ට දැක්මක් නැත. එම තීරණය ජනපති, අගමැති හෝ මුදල් ඇමති ගත්තත් තීරණය වැරදි බව කිව යුතුය. සියලු තීරණ දේශපාලන කෝණයෙන් හා අටුව කඩා පුටුව හදන න්‍යායෙන් බලා, ගැනීමෙන් රටට සිදුවන්නේ විපරීතමය හානියකි.

ඉපැයීම් නැත

අය වැය මගින් විශාල වැය කිරීම් දක්වා ඇතත් ඉපැයීම් හා අයවැය හිඟය පියවන ආකාරය යෝජනාවන්හි පැහැදිලි නැත.වසරකට රු. මි 2000 ට ඉපැයීම් සහිත සමාගම් වලින්  සියයට 25 ක එක් වරක් පමණක් අය කරන බද්ද ප්‍රධාන අය බව කියැවෙයි. එවැනි ආයතන විශාල ප්‍රමාණයක් රටේ නැත. එමෙන්ම ආයතන ඇත්ත විගණන වාර්තා හෙළි නොකරයි. බදු වංචා කරයි. ඒ අනුව මුදල් ඇමතිගේ ඉලක්කය සපුරා ගත හැකිද යන්න ප්‍රශ්නයකි.එමෙන්ම පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයෙන් මුදල් අය කර ගැනීම සිදුවෙයිද?

ඒවා සිදු වුවහොත් පමණක් පිළිගත හැකිය. රිය අනතුරුවලදී වරදකරුට දඩ ගැසීම වක්‍ර බදු තවත් වැඩි කිරීමකි. මේ අනුව ඇතැම් විටෙක අනතුරට පාත්‍ර රියදුරන් දෙදෙනාම  වරදකරුවන් විය හැකිය. එහිදී දඩ මුදල අය කර ගන්නේ රක්ෂණ සමාගමෙනි. එසේ  නම් වාහන හිමියන්ගේ රක්ෂණ වාරිකය ඒ අනුව වැඩි විය යුතුය. එවිට අමාරුවෙන් වාහනයක් මිලදී ඉගෙන ලීසිං අවසන්වනතුරු පූර්ණ රක්ෂණාවරණ නඩත්තු කරන පිරිසට මෙය තවත් බර පැටවීම කි. මේවා වක්‍ර බදු පැනවීම් නොවේනම් වෙන මොනවාද.

ඇත්ත ප්‍රශ්න යට දැමීම

සිහින ජයගත හැක්කේ යථාර්ථයට මුහුණ දීමෙනි. ජනපති, මුදල් ඇමැති ප්‍රමුඛ ආණ්ඩුව රට පිළිබඳ සිහින දකිනවාට වඩා තමන්ගේ පටු දේශපාලන ලෝකයක අභිවෘද්ධිය සඳහා ක්‍රියා කරන බව පෙනේ. එසේ නැතහොත් ඔවුන්ට රාජ්‍ය පාලනය පිළිබඳ වග විභාගයක් නැති බව ගන්නා ක්‍රියාමාර්ගවලින් දිස්වෙයි. පොහොර ප්‍රශ්නය උඩුදුවා ඇති විටෙක ඊට විසඳුමක් නො සොයා කාබනික ගොවිතැන ගැන සිහින ලෝකයක පසුවෙයි. ආණ්ඩුවට වන අලි ප්‍රශ්නයට විසඳුමක් නැත. එහෙත් පරිසරය හා වනජීවීන් රකින බව කියයි. සහල්  මාෆියාවට ඉඩ දී බලා සිටින රජයක් සෞභාග්‍යවත් රටක් ගැන කෙප්ප හළයි. හෙළ වෙදකම ප්‍රවර්ධනය කරනවා වැනි යෝජනා අතරින් පතර කරයි. අයවැය පරස්පරය. ඉලක්ක වලට පදනමක් නැත. පරස්පරතාව ට හොඳම උදාහරණය රාජ්‍ය සේවය රටට බරක් බව ප්‍රකාශ කරමින් විශ්‍රාම වයස 65 කිරීමය. මේ බහුරූ කෝළං පාලනය වෙනුවට ප්‍රකෘතියෙන් වැඩ කරන පාලනයක් රටට බිහි කර ගන්නේ කෙසේද. විශේෂයෙන් ම රටෙහි උගතුන් බුද්ධිමතුන් ඊළඟ පොදු අපේක්ෂකයා සොයනවාට වඩා රට වෙනුවෙන් ඉදිරි දැක්මක් සහිත වැඩසටහනක් සම්පාදනය කර ගැනීමෙහි ව්‍යාවෘත විය යුතුය. මෙතෙක් අප පළමුවෙන් කරන ලද්දේ පුද්ගලයකු තේරීම ය. පුද්ගලයකු මත යැපෙන්නට බැලීමය. එම ක්‍රමය මුළුමනින්ම අසාර්ථක විය. මෛත්‍රිත් ගෝඨාභයත් ඒ අසාර්ථක බවට හොඳම නිදසුන්ය. මෙතැන් සිට වැඩසටහනක් සම්පාදනය කොට එය ක්‍රියාත්මක කිරීමට ශක්‍යතාව ඇති නායකයකු තේරීම දක්වා පාලනය වෙනස් කරන උපාය මාර්ගය විතැන් කළ නොහැකි ද?




Source link