October 25, 2021

Ada Rata

All news in one location

බස්නාහිර පළාත තුළ රාජ්‍ය සේවකයන් කැඳවීම ගැන උපදෙස් මාලාවක්


සංචරණ සීමා ලිහිල් කෙරෙන අවස්ථාවලදී බස්නාහිර පළාත තුළ අත්‍යවශ්‍ය සේවාවලට අයත් සියළු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින් කැඳවීමේදී අනුගමනය කළයුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අද නිකුත් කළා.

ඒ අනුව එම ආයතනවල ප්‍රධානියාට අවශ්‍ය ප්‍රමාණයට පමණක් නිලධාරීන් සහ සේවකයින් සේවයට ගෙන්වා ගත හැකියි. අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන සියළු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවයේ නිරත සේවකයින් සේවා ස්ථානයට කැදවිය හැක්කේ සතියකට උපරිම දින 2 ක් පමණක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශමාලාවේ දැක්වෙන්නේ.

එයද සිදුකළ හැක්කේ අදාළ නිලධාරියාට හෝ සේවකයාට අයත් රාජකාරිය සිය නිවසේ සිට සිදු කිරීමට නොහැකි අවස්ථාවලදී පමණයි. පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් වෙන්කර ඇති බැවින් එලෙස සේවා ස්ථානයට ගෙන්වන සේවකයින්ට සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව නිවසේ සිට සිය කාර්යාල වෙත අවශ්‍ය පරිදි ප්‍රවාහන පහසුකම් සලසා දිය යුතු වනවා.

පෞද්ගලික අංශයේ කාර්යාල අවශ්‍ය අවම කාර්ය මණ්ඩල සමග කටයුතු කළයුතු අතර හැකි සෑම විටම නිවසේ සිට රාජකාරී කිරීමට උනන්දු කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශමාලාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.



Source link