October 20, 2021

Ada Rata

All news in one location

පොහොර බෙදා හැරීම පිළිබඳ රජයේ දත්ත 96%ක් වැරදියි…


September 14, 2021 at 8:02 am | lanka C news

පොහොර බෙදා හැරීම පිළිබඳ රජයේ දත්ත 96%ක් වැරදියි…

ඉකුත් කාල සීමාවේදී ගොවීන්ට රසායනික පොහොර බෙදා දීම සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ දත්ත පදනම් කර ගනිමින් සිදු කළ නියැදි සමීක්ෂණයේදී ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ දත්ත 96%ක් වැරදි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය (13) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ හෙළි කළේය.

අමාත්‍යවරයා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරයේෂණ ආයතනයේ කටයුතු නිරීක්ෂණය සඳහා එහි ගිය අවස්ථාවේ පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කළේය.

මෙම සමීක්ෂණ වාර්තාව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවද කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය අමාත්‍යවරයාට දැනුම් දුන්නේය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යා පීඨයේ නුවරඑළිය ප්‍රදේශයේ පොහොර භාවිතය සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණයකදී හෙළි වී ඇත්තේ වසර දෙකක් ගතවන තුරු නුවරඑළිය ගොවීන්ට සිය වගාව සඳහා  පොහොර භාවිත කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. එම සමීක්ෂණ වාර්තාව මේ දක්වා ප්‍රකාශයට පත්කර නැති බවද අමාත්‍යවරයා කීය.

“ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය රජයේ  අපේක්ෂිත කරුණු ඉටු කරමින් සිටින නමුත් මේ මොහොතේ ඉතා වැදගත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා සකස් කළ යුතුව තිබුණ ද ඒ කිසිවක් සම්බන්ධයෙන් ආයතනය අවධානය යොමුකර නැති බවද අමාත්‍යවරයා පැවසීය. ලෝකයේ බොහෝ රටවල් දියර කිරි භාවිතයට හුරු වී සිටියදීත් අපේ රටේ ජනතාව පිටිකිරි මිලදී ගැනීමට පෝළිම්වල කාලය ගත කරන්නේ ඇයිද යන්න පිළිබඳව සමීක්ෂණය කර රජයට වාර්තාවක් ලබා දීම මෙම ආයතනයේ වගකීමක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන් බීජ ආනයනය සඳහා වැයවන මුදල ඉතිරි කරගෙන මෙරට බීජ නිෂ්පාදනය කළ නොහැකිද යන්න පිළිබඳ සමීක්ෂණයක් නොකළේ ඇයි ද යන්න අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර හා බෙහෙත් ආනයනය තහනම් කර කාබනික පොහොර හා බෙහෙත් සඳහා ගොවි ජනතාව උනන්දු කරවීමට පියවර රැසක් ගෙන තිබියදී මෙරටේ කාබනික ගොවිතැන පිළිබඳ ජනතාව දක්වන අදහස් හා ඔවුන්ගේ ආකල්ප පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීමට ගොවි පර්යේෂණ හා පුහුණු කිරිමේ ආයතනය අවධානය යොමු කළ යුතු  බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විදෙස් රටවල කුඹුරු හෙක්ටයාර් 01කින් වී මෙට්‍රික් ටොන් 10ක 12ක අස්වැන්නක් ලබන නමුත් මෙරටේ කුඹුරු හෙක්ටයාර් 01කින් වී මෙට්‍රික් ටොන් 4.6 කට වඩා අස්වැන්නක් ලබාගත නොහැකි වුවද ඊට හේතු සොයා බැලීමට හෝ ඒ පිළිබඳ සමීක්ෂණයක් කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක් බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මාෆියා 04ක් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම මාෆියාවන් නිසා ගොවියාට හා පාරිභෝගික ජනතාවට අත් විඳින්නට සිදුව ඇති දුෂ්කරතා මඟ හැර වඩා කාර්යක්ෂම විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳව කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයෙන් රජයට උපදෙස් ලබා දිය හැකි මට්ටමක පවතින නමුත් ඒ සඳහා ආයතනයේ උනන්දුව  ප්‍රමාණවත් නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.”

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

3,637 views



Source link