October 18, 2021

Ada Rata

All news in one location

පොතක අන්තර්ගතය කොතරම් සාරවත් වුණත්, ආකර්ෂණීය කවරයක් නැතිනම් ඒ පොතේ පෞරුෂය හීනයි



විකුම් ජිතේන්ද්‍රව කලා ක්ෂේත්‍රය හඳුනාගන්නේ, ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු, සිනමා විචාරකයෙකු, ඡායාරූප කලාවේ නියැලෙන්නෙකු, කවියෙකු මෙන්ම, ඒ සියලු භූමිකාවලට වඩා පොත් කවර නිර්මාණ ශිල්පියෙකු වශයෙනි. විවිධ ශානරවල සාහිත්‍ය ග්‍රන්ථ වෙනුවෙන් කලාත්මක කංචුක නිර්මාණය කිරීමේදී ඔහු කලෙක පටන් ස්වීය අනන්‍යතාව එහිලා පළ කර ඇත. ‘රති මල් කෙමි කවි වංශය’ කෘතියේ සංස්කාරක ද වන ඔහු,  ‘හද සෛල සහ ඩයිනමයිට්’ යනුවෙන් කාව්‍ය සංග්‍රහයක් මීට වසර 9කට ඉහතදී පළ කර තිබේ. 

පොත් කවර කලාවේ ඇරඹුම්, හැරවුම්, නිමැවුම් සම්බන්ධයෙන් මෑතකදී ඔහු සමඟ කළ සංවාද සටහනක් මතු දැක්වේ.

පොත් කවර නිර්මාණය පැමිණි ගමන්මග පිළිබඳව අවලෝකනයකට ගියොත්, මොන වගේ සංධිස්ථාන ද මේ දක්වා කාලය තුළ හමුවෙන්නේ?

ලංකාවේ පුස්කොළපොත් ලියවෙන කාලයේත් පුස්කොළවලට උඩින් ලී පතුරුවලින් සකස් කරගත්ත ආවරණයක් තිබුණා. අද තියෙන කවර වගේ නැතත්, එහි පාරම්පරික මෝස්තර සහ ලියවැල් ඇඳලා, සමහර වෙලාවට ඇත්දත්වලින් කැටයම් කරලා තිබුණේ. පොත් කවරයකට වඩා එහි පළමු අරමුණ වුණේ, පුස්කොළ ටික එකට බැඳලා තියලා ආරක්ෂා කරගැනීමයි. කවරයේ අලංකාරය තිබුණේ එහි අතුරු කාරණයක් විදියට. ලෝකෙ පොත් කවර බිහිවීමේ මූලාරම්භය ගත්තත්, පොතේ ආරක්ෂාව තමයි පළමු කරුණ වුණේ. පස්සෙ තමයි ඒක කලාවක් බවට පත්වෙන්නෙ.

ලංකාවේ ගත්තොත්, ප්‍රථම සිංහල නවකතාව වන සයිමන් ද සිල්වාගේ ‘මීනා’ පළවන 1905 වගේ යුගයකට පවා පෙරාතුව පටන්  සිංහල පොත් පළවෙමින් තිබුණත්, අපි අහලා තියෙන විධියට 1950 දශකයෙදියි පොත් ප්‍රකාශනය යම් ව්‍යාපාරිකමය ආකාරයකට ආයතන මට්ටමින් ව්‍යුහගත වෙන්නෙ. ඔය කාලෙවෙද්දි ලංකාවේ ජනප්‍රිය සාහිත්‍ය කියන දේ ඇරඹිලා. අසූව දශකයේ  අග පටන් වගේ කියවීම පටන් ගත්ත මගේ ඇහැට මුලින්ම  වැටෙන්නේ ඊට බොහෝ කලට පෙර මුද්‍රණය වුණු, හැට හෝ හැත්තෑව  දශකයේ ජනප්‍රිය, එහෙමත් නැත්නම් සමහරුන්ට අනුව අවර ගණයේ කියල පට්ට ගහපු  ඩීමන් ආනන්ද, වැලිහිඳ මුනිරත්න වගේ කතුවරුන්ගේ පොත් කවර.  ඒවා නැඹුරු වෙලා තිබ්බෙ  වාණිජ ආකර්ෂණය වැඩිපැත්තට. ඒකාලේ ඕෆ්සෙට් ක්‍රමය  පැමිණ නොතිබුණ නිසා පොත ඇතුළ මුද්‍රණය වෙලා  තිබුණේ ලෙටර්ප්‍රෙස්වලින්. බ්ලොක් මගින් තමයි වර්ණ කවර පළ කරල තිබුණේ. හැබැයි ඔෆ්සෙට්වලට නොදෙවෙනිව විචිත්‍රයි.  ඒ කවරවල තිබුණේ බටහිර තාත්වික චිත්‍ර කලාවට කිට්ටු වෙන චිත්‍ර. ඒවා ඒකාලේ හොලිවුඩ්  සිනමා පෝස්ටර්ව ආරට බොහොම සමීපයි.  

මේ කවර අතර  හිටියා ‘අබේසිංහ’ නමින් අත්සන දාපු කවර නිර්මාණ ශිල්පියෙක්. ඔහු ගැන මම කිසිම තැනක විස්තරයක් දැකලා නැහැ. වාණිජ මට්ටමේ අතීත චිත්‍ර ශිල්පීන් පිළිබඳ සිහිකෙරෙන තැන්වල සඳහන් වෙන්නෙත් නෑ.  ඡායාරූප කලාවට ළංවුණු තාත්වික ආරක්  ඔහුට තිබුණා. ඒක ගොඩක් වෙලාවට එයා අරගෙන තිබුණේ ‘ඩ්‍රැකියුලා’, ‘ජේම්ස් බොන්ඩ්’, ‘ඇල්කැපෝන්’, ‘ෆ්‍රැන්කන්ස්ටීන්’ වගේ චිත්‍රපට පෝස්ටර්වල ආභාසයෙන්. ඊට අමතරව සරාගී නාරි රූපත් ඔහුගේ භාවිතාව තුළ තිබුණා මතකයි. 

ඊට අමතරව මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්ලිව්.ඒ. සිල්වා වැනි ලේඛකයින්ගේ පොත් වැසුම් ජී.එස්. ප්‍රනාන්දු වගේ චිත්‍ර  ශිල්පීන් විසින් නිර්මාණය කර තිබුණා. ඒවා අර තරම් වාණිජකරණයට ලක්වෙලා තිබුණේ නැහැ. ඔහු සහ මොටාගෙදර වනිගරත්න, ජී. එල්. ගෞතමදාස වගේ පිරිස කළ කවර වෙන ම විදියෙ කලාත්මක ප්‍රකාශන විදියට හඳුනා ගත හැකියි.  මේවායිනුත් බොහෝ විට බහුලව උත්සාහ කරලා තිබුණෙ නවකතාවක් නම් එහි අවස්ථාවක් නිරූපණයට යි. මේ අතුරින් ජී.එස්. ප්‍රනාන්දු වගේ කෙනෙක් අමූර්ත ආකාරයට ළං වුණු අවස්ථා තිබුණත් ඒවා බොහොම සුළු වශයෙන් දකින්න ලැබෙන්නෙ. නමුත් පසුකාලීනව මහගමසේකර සහ සිරි ගුණසිංහ ඔවුන්ගේ ම  පොත්වලට කවර කරන්න පටන්ගත්තාම ඒවා කලාත්මක වගේම  අන්තර්ගතයේ සාරය  සංකේතාත්මකව සන්නිවේදනය කරන ආකාරයකට නිර්මාණය කළා. ඒක යම් හැරවුමක්.

තවත් ඉදිරියට එන විට ඒ. ඩී. රංජිත් කුමාර, සෝමසිරි හේරත්, දී. ග. සෝමපාල, කේ. එම්. අයි. ස්වර්ණසිංහ, ඉන්ද්‍රනාථ තේනුවර, ශාන්ත කේ. හේරත්, විනී හෙට්ටිගොඩ, සිසිර විජේතුංග වැනි ශිල්පීන් තමන්ගේ භාවිතාවේ සුවිශේෂ අනන්‍යතා තුළින් පොත් කවර කලාව පෝෂණය කරමින් සලකුණු තබා තියෙනවා. ඕෆ්සෙට් ආගමනයෙන් පසුව කළ වර්ධනය කිරීම් පමණක් නොව ඊට පෙරාතුව සූක්ෂ්ම තාක්ෂණ පහසුකම් නොමැති පරිසරයක පවා ඔවුන් කළ අත්හදා බැලීම් හා නිර්මාණ කටයුතු විශිෂ්ට බවයි මගේ හැඟීම. මට අමතක වුණු සහ මම නොදන්නා තවත් බොහෝ ශිල්පීන් මේ නාමාවලියට අයත් වෙනවා.

ඔබ කිව්වා ‘පොත් කවර කලාව’ කියලා. පොත් කවර නිර්මාණය හඳුනාගත යුත්තේ වෙනම කලාවක් ලෙසද නැතිනම් ප්‍රධාන කලා ධාරාවේ අනුශංගික අංගයක් ලෙස ද? 

ව්‍යවහාරයේ දී එසේ කීවත් මෙය ශුද්ධ කලාවක් නොව ‘සංශ්ලේෂී කලා භාවිතයක්’ යැයි හැඳින්වීම වඩාත් සුදුසු ය යන්නයි මේ වන විට මගේ පෞද්ගලික මතය. මුද්‍රණ ශිල්පයේ දියුණුවත් සමග චිත්‍ර කලාව, ඡායාරූප කලාව හා ග්‍රැෆික් ශිල්පය එකට අත්වැල් බැඳුණු ස්වභාවයක් අද මේ තුළ දක්නට ලැබීමයි ඊට හේතුව. පොත් කවරයක් යන්න තනි තනිව මේ එකක්වත් නොවේ. චිත්‍ර ශිල්පියාට කැන්වසයේ දී ලැබෙන පූර්ණ නිදහස කවර නිර්මාණකරුවාට නැහැ. නමුත් මේ කලාවන්හි සංරචන මූලධර්ම, වර්ණ, න්‍යායන් හා සමග පොත් කවරය අඩු-වැඩි වශයෙන් සහ සම්බන්ධ වෙනවා. අනික් අතට පොත වෙළඳ භාණ්ඩයක්.  ඊට උචිත ලෙස තමයි කවර නිර්මාණයක් කළමනාකරණය කෙරෙන්නේ. ඒනිසා යම් ආකෘතිගතවීමකට ලක්වෙන්න සිද්ධවෙනවා. ඉතා සූක්ෂ්මව ඒ රාමු තුළම කොටු නොවෙමින් ආකෘතිය වෙනස් කරමින් නව ආකර්ෂණයක් උත්පාදනය කර ගැනීම තරමක අභියෝගයක්. දිනිදු ප්‍රසාද් සිරිවර්ධන කියන්නෙ ඒ අභියෝගය ජය ගනිමින් අලුත් ආකෘති බිහිකරපු කවර නිර්මාණ කරුවෙකුට මෑතකාලීන පුරෝගාමී උදාහරණයක්.

පොත් කවරයකට භාවිත කරන විවිධ අකුරු රූප, නැතිනම් ෆොනු රූවලින් කවර කලාවට වන දායකත්වය මොනවගේද?

ප්‍රධානම දේ තමයි කවරයට යම් අනන්‍යතාවක් නිර්මාණය කර ගැනීම. පොතේ නම කවරයට යොදන්න වුවමනා වෙලාවට, අතින් ඇඳපු අකුරක් භාවිත කරන්න පුලුවන් නම්, සමහරවිට ඒ අකුර ඇඳපු ශෛලියෙන් ම අපිට යම් අර්ථයක් සංකේතාත්මකව දනවන්න පුළුවන්. මමත් අතින් ඇඳපු අකුරු පාවිච්චි කරනවා. ග්‍රන්ථ නාමයට සාමාන්‍යයෙන් පරිගණකයේ පාවිච්චි කරන අකුරුවලට අමතරව අතින් ඇඳපු අකුරක් වුවමනා නම් මමමයි අඳින්නේ. එයින් කවරයට යම් පෙනුමක් සහ ස්වීයත්වයක් වගේම, කලාත්මක ගුණයකුත් ලැබෙනවා. ඒ වගේම අනෙකුත් විස්තරාත්මක කාරණා දක්වන්න සහ පොත් ඇතුළත සැලසුම්කරණයේ දී අපි තවමත් බහුලව භාවිත කරන්නේ පුෂ්පානන්ද ඒකනායක මහත්තයගේ අකුරු. ඒවා ගොඩක් ම පිළිවෙළයි සහ ගුණාත්මකයි. ඊට අමතරව දමිත් වැලිකල, පැතුම් එගොඩවත්ත, ලලිත් රත්නායක ආදී අලුතෙන් ෆොනුරූ නිර්මාණය කරන පිරිසකුත් බිහිවෙමින් සිටීමත් ධනාත්මක කරුණක්. 


 
ඇතැම් පාඨකයන්, ‘පොතක් ගන්න කවරය වැදගත් ම නැහැ, ඇතුළත හරවත් නම් කවරයේ කලාව අදාළ නැහැ’ යි කියනවා. ඔබ මෙයට එකඟ ද?

මම හිතන්නෙ පොතක කවරය අනිවාර්යෙන් වැදගත් කියලයි. පොතක අන්තර්ගතය කොපමණ සාරාත්මක වුවත්,  ආකර්ෂණීය කවරයක් නැතිනම් ඒ පොතේ පෞරුෂය හීනයි. එහෙම නැතුව, ඒක මොනතරම් හොඳ පොතක් වුණත්, අපේ ඇහැට ඒක ලක්වෙන්නෙ නැත්නම් වෙළඳ භාණ්ඩයක් කියන තැනදි යම්කිසි අසමත්කමක් දක්වන්න පුලුවන්. පොත්හලක රාක්කයක තියෙද්දි හෝ ඔන්ලයින් පොත් මිලදීගන්න වෙබ් අඩවියකට පිවිසුණා වුණත් කෙනෙකුට අතට අරගෙන හෝ ක්ලික් කරලා බලන්න හිතෙන්න, කුතුහලයක් මතුවෙන්න කවරය වැදගත් වෙනවා. ඒනිසා පොත මොනතරම් විශිෂ්ට වුණත්, හොඳ කවරයක් නැත්නම් ඒක වෙළඳපොළ තරගයේදී එය යම් පසුබෑමකට ලක් වෙනවා. ඇතැම් පාඨකයෙකුට පොතේ ප්‍රවර්ගය ගැන හොඳින් දැනුවත්ව, කවරය ගැන නොසිතා පොත හොයාගන්න හැකිවෙනවා වෙන්නත් පුලුවන්. මම පවා මට වැදගත් වන ඇතැම් පොත් කවරය ගැන නොසිතා මිලදීගන්නා අවස්ථා තියෙනවා. ඒත්, මම ඒ පොත ගන්නේ හොඳට කරුණු හොයලා බලලා දැනගෙන උපයෝගීතාවක් තියෙනවා නම් විතරයි. නමුත් පාඨකයා කලින් සැලසුම් කරලා, මිලදී ගන්න බලාගෙන එන පොතට අමතරව තවත් පොතක් ගන්න පොළඹවන්න පොත් කවරවලින් කරන්න පුලුවන් නම්, කවර නිර්මාණ ශිල්පියෝ හැටියට අපි පාඨකයන්ට අලුත් යෝජනාවක් කරන පිරිසක් වෙනවා.  “කවර නිර්මාණ ශිල්පියෙකු ලෙස ඔබට යම් පොතක් අතට අරන් බලන්න කෙනෙකුව පොළඹවන්න පුලුවන් නම්, ඒක ඔබේ දක්ෂකමක්, ඒවගේම එතනින් එහාට එය අලෙවි වීමට හෝ නොවීමට බලපාන්නේ පොතේ අන්තර්ගතය යි” කියලා පොත් කවර පිළිබඳ කතා කරන වෙබ් අඩියක තිබුණ සඳහනක් මෙතනදි මට මතක් වෙනවා. 

පොතකට කංචුකයක් නිර්මාණය කරද්දි, පටන්ගත් තැන සිට අවසානය දක්වා මොනවගේ කරුණු ගැන ද සලකා බලන්නේ?

පොත සම්පූර්ණයෙන් කියවා හෝ සාරාංශයක් කියවා එහි ආත්මය වටහාගෙන කවරය හදන පියවරට යන්න පුළුවන්. සමහර පොත්වල නමෙන් පවා කිසියම් හැඟීමක් නිර්මාණය වෙනවා. සමහර විට ඉක්මන් උත්තේජනයක්, එහෙම නැත්නම් යම් කිසි මොහොතක් දක්වා පැසවීමකින් පසුව අදහසක් එනවා. ඒ අනුවයි කරන්නේ කෙසේ ද යන්න තීරණය වෙන්නේ. විශේෂයෙන් සලකා බලන කරුණු කියලා දෙයක් නැහැ.  කවරයක සෝදුපතක් එළියට දෙන්නෙ වඩාත්ම උචිත වර්ණ තානයන් එක්ක, ඒවායේ උචිතානුතිත භාවයන් එක්ක බොහෝ අභ්‍යාස කරලා සහ යම් පදනමක් එක්කයි. ඒක වෙනම මානසික ශ්‍රමයක්. සංකීර්ණ තත්ත්වයක්. ඒ වගේම අපි තෝරගන්න පොත අනුවයි, කරන කවරයේ ශෛලිය, ආකෘතිය, වර්ණ පරාස ආදිය තීරණය වෙන්නේ

දේශීය මෙන් ම විදේශීය වශයෙන් ඔබ වඩාත් ම තෘප්තිමත් වුණ පොත් කවර මොනවාද? 

බොහෝ කවර තියෙනවා එක් එක් කාලවල එක් එක් ශිල්පීන් කළ. ඒ අතුරින් එදිරිවීර සරච්චන්ද්‍රගේ  ‘මළවුන්ගේ අවුරුදු දා’  අකුරු විතරක් තියෙන පැරණි මුද්‍රණයේ කවරයට මම ආසයි. ශිල්පියාගේ නම මේ මොහොතේ හරියට මතකයක් නෑ. දිනිදු ප්‍රසාද් සිරිවර්ධන කළ ගුණසිරි සිල්වාගේ ‘පිහාටු පෑන’ කෘතියේ කවරයත් මම කැමති ම එකක්.  ටී. පී. ජී. අමරජීව, සංජය ඈපා සෙනෙවිරත්න, ප්‍රගීත් රත්නායක, මො.ළ. සෙනෙවිරත්න සහ සෞම්‍ය සඳරුවන්ගෙත් කවරවලට මම ප්‍රියකරනවා. 

විදෙස් කවර විශාල ගණනක් තිනෙවා. භාවිතාවන්ගේ විවිධ අනන්‍යතා සහිත. ඇතැම් ඒවා අල්පෝක්තිවාදී ලක්ෂණ සහිතයි. ඇතැම් ඒවා අමූර්ත ලක්ෂණ සහිතයි. ඇතැම් ඒවා සාම්ප්‍රදායික බටහිර ගෘහ නිර්මාණාශ්‍රිත සිතුවම් ලක්ෂණ සහිතයි. තවත් සමහර ඒවා පශ්චාත් නූතන ලක්ෂණ සහිතයි. ඒ අතරින් කැමති ඒවා තෝරන්න කිව්වොත් ඒක කැමති සිංදු තෝරන තරම් සරල නෑ. කෙසේ නමුත් කෆ්කාගේ ‘මෙටර්මොපොසිස්’ කෘතියේ නව මුද්‍රණයේ කවරය ක්ෂණිකව මතක් වුණා. එම කවරය කළු-සුදු අමූර්ත ගණයට දැමිය හැකි ඡායාරූපයක් සහිත එකක්. එය කෆ්කාගේ ආඛ්‍යාන ස්වරූපය එක්ක මනාව පෑහෙනවා. ඒ එක්කම මේ දවස්වල මම දිමිත්‍රි ඉවානිච්කොව් කියල ඡායරූප, චිත්‍ර සහ ග්‍රැෆික් කලාවේ නිපුණ ශිල්පියෙකුගේ කවර අධ්‍යයනය කරමින් ඉන්නවා. ඔහු අල්පෝක්තිවාදී රේඛා චිත්‍ර සහ ශීත වර්ණ ආශ්‍රයෙන් පොත් පිටකවර සහ ඇතුළත සැලසුම් කරන්නෙක්.  

ඇතැම් පොත්වල කවර දෙවනි මුද්‍රණවලට යද්දි සහ පසුකාලීනව ප්‍රකාශකයෝ හෝ ලේඛකයෝ වෙනස් කරනවා. පසු මුද්‍රණය පෙර කවරයට වඩා හොඳ වෙන්නත් පුලුවන්. නමුත් සමහර අවස්ථාවලදී, පසු මුද්‍රණවලදී එන කවරය නිසා කොතරම් හොඳ පොතක් වුණත් මිලදී ගන්න නොපෙළඹෙන අවස්ථා පාඨක ලෝකයේ අහන්න දකින්න තියෙනවා. මේ  ගැන මොකක්ද ඔබ දරන අදහස?

වැදගත් සංධිස්ථානමය පොතක් නම්, ඒ පොත් කවරයත් එක්කම තමයි අපිට මතක හිටින්නේ, ඒක හරි. ඊළඟ මුද්‍රණයකදි එය මිලදී  ගන්නේ කලින් මිලදී ගත් පරම්පරාව ම නොවිය හැකියි. එහෙත් සදාකාලයට ම අසුවල් කවරය තිබිය යුතුයි කියල නීතියක් නැහැ. පොතක් දෙවන, තෙවන වරට මුද්‍රණය වෙද්දි, එය කරන්නේ මුල් ප්‍රකාශකයා නොවෙන්න පුලුවන්. එතකොට කවරය නොවෙනස්ව තියෙන්න ඕනෙ ද නැද්ද කියන එක ඔහුගේ සහ අදාළ කතුවරයාගේ තීරණයක්. මොන විදියට කවරය කෙරුණත් පොතට කවරයෙන් සාධාරණයෙක් වෙනවද කියන එකයි සැලකිය යුත්තේ කියන එකයි මගේ අදහස.

ඇතැම් කංචුක නිර්මාණකරුවන් ප්‍රකාශන ආයතන සමඟ නිල වශයෙන් සේවය කරනවා. ඇතැම් ලේඛකයන් යටතේ වෙන ම කවර නිර්මාණකරුවන් ඉන්නවා. මේ කවර ආකාරයෙන් ගත්තත්, පොදුවේ බලද්දී ලංකාවේ කංචුක නිර්මාණකරුවන් වෘත්තීය අතින් ස්ථාවර මට්ටමක ඉන්නවා ද?

ආයතනගතව ඉන්න කංචුක නිර්මාණකරුවන්ට පවතින්න පුලුවන් යම් තෘප්තිමත් වැඩපිළිවෙළක් ඇති. තවත් පිරිසක් ඉන්නවා,  ග්‍රැෆික් ක්ෂේත්‍රයේ ම වෙනත් රැකියාවල යෙදෙන අතරතුර පොත් කවරත් නිර්මාණය කරන. මම වගේ. මම දන්න විදියට ඇතැම් ප්‍රකාශන ආයතන තියෙනවා, ඒ ආයතනය ඇතුළේ නිල වශයෙන් ඔහු වැඩකරන්නේ නැහැ, ඒත් ආයතනය විසින් නිතරම තෝරාගන්නේ ඔහුව. ඒ වගේම ආයතනික අනන්‍යතා එක්ක බැඳුණු බාහිර කවර නිර්මාණ ශිල්පියෝ ඉන්නවා. සමහර කර්තෘවරුන්ට තමන්ගේ ආකල්ප සහ මානයන් එක්ක හරියටම ගැටගැහෙන්න පුලුවන් කෙනා කවුද කියලා කාලයක් තිස්සේ හැදුණු විශ්වාසයන් තියෙන්න පුලුවන්. නමුත්, පොත්කවර විතරක් කරලා වෘත්තීමය පොත්කවර ශිල්පියෙක් විදියට මම හිතන්නෙ නෑ පවතින්න පුලුවන් කියලා. එහෙම නම් කවර විශාල ප්‍රමාණයක් කරන්න වෙනවා. තමන්ගේ නිර්මාණශීලී ගුණයත් රැකගෙන, යැපෙන්න වුවමනා පරිද්දෙන් කවර නිර්මාණය ලේසියි කියලා මම හිතන්නේ නැහැ. පෞද්ගලිකව මම ගත්තොත් වැඩ ගොඩාක් බදා ගන්න කැමති නැහැ. එක අතකින් සාහිත්‍ය පොතපත විශාල ප්‍රමාණයක් බිහිවෙනවා තමයි. නමුත්, වෘත්තිමය වශයෙන් පවතින්න නම්, එක්කෝ මාසයකට කවර විශාල ප්‍රමාණයක් කරන්න වෙනවා. නිර්මාණශීලි වැඩක් එහෙම කරන්න බැහැ. ඒ වගේම කවරයකට නිසි වටිනාකම දෙන ආයතන තිබෙනවා වගේම,  විවිධාකාර හේතු දක්වමින් මුදල අඩුකරන්න බැරිද? අහන ආයතනත් එමටයි. ඉතින් අපිට අපේ පරිගණකයෙන්, ශ්‍රමය වගුරුවන මනසෙන්, කාලයෙන් හෝ විදුලියෙන් ඉල්ලන්න පුළුවන්කමක් නෑ ඔයාලා මේ වැඩේ වෙනුවෙන් අඩුවෙන් ක්ෂය වෙන්න කියලා.

පොත් කවර නිර්මාණය සඳහා සිතුවම් ඇඳීම, ඡායාරූප ගැනීම සහ ග්‍රැෆික් තාක්ෂණය යොදාගනිමින් පැමිණි ගමනක් තියෙනවා. අනාගතයේ මේ කලාව කොයිවිදියෙ පැත්තකට හැරෙයිද?

මේ මොකක් තිබුණත්, අද පොත් කවරයක් මුද්‍රණයට පිළියෙළ කරද්දි අනිවාර්යෙන් තාක්ෂණික සහයෝගය ලබාගන්න ඕනෙ.  ඊට අමතරව, පරිගණකය එක්ක වැඩකරද්දි කාරණා දෙකක් තියෙනවා. එකක් නිර්මාණාත්මක පැත්ත කළමනාකරණය කරන්න ඕනෙ. අනික, මුද්‍රණයට අවශ්‍ය තාක්ෂණික සූදානම් කිරීම. එතකොට ඉහත කියපු කුමන මාධ්‍යයෙන් කවරය කළත්, පරිගණකයෙන් මිදිලා නිර්මාණය කරන්න අමාරුයි. කවර ශිල්පියෙක් කවරයට ගෙනෙන භාවිතාවේ සාරය මත තමයි හොඳ කවරයක් පවතින්නේ.  පොත් මුද්‍රණයේදී  තාක්ෂණික ශිල්ප භාවිතාවන්  විවිධ ලෙස සිද්ධ වෙනවා. ඒ මොකක් වුණත්, එක මූලයක් මේකට එදා ඉඳන් සම්බන්ධයි. ඒ තමයි සංරචනය කියන එක. ඒ කියන්නේ, අතින් ඇන්දත්, ඡායාරූප සහ ග්‍රාෆික යෙදවුම් භාවිතා කළත්  යම් කිසි දෘශ්‍ය සංඥා පද්ධතියක් යම් ආකාරකට සංවිධානය කිරීම තමයි  අපි කරන්නෙ. අනාගතයේ කවර කළත්, ඒ දේ තමයි වෙන්නෙ. තාක්ෂණික රූපාකාර, මුද්‍රණ භාවිතාවන් ආදියෙහි වෙනස්කම් වෙන්න පුලුවන්. නමුත්, මූලිකව කෙරෙන දේ එකයි කියල මං හිතන්නේ. 

පොත් කවර නිර්මාණ ශිල්පියෙකු වෙන්න බලාපොරොත්තු වන කෙනෙකු තමන් සතුකරගන්න ඕනෙ ලක්ෂණ මොනවා කියලාද ඔබ හිතන්නේ?

කවර නිර්මාණ ශිල්පියාගේ කාර්යය වෙන්නෙ, කතුවරයාගේ වියමන දෘශ්‍ය පර්යාවලෝකනයකින් දැක, එය සංකේතාත්මක ලෙස කවරය නම් වූ අවකාශය තුළ වෙළෙඳපොළ ආරාධනාවක් සේ පෙළගැස්වීම. මේ වෙළෙඳමය කාරණාවෙදි කවරය කියන දේ කලාවෙන් බාල වෙන්න බැහැ. එතන ඉඳලයි ඔය ගැන හිතන්න වෙන්නෙ. දැනට  ලංකාවේ ආකර්ෂණීය පොත් කවර නිර්මාණය කරමින් ඉන්න පිරිස අතරින් සෑහෙන දෙනෙක් දියුණු සාහිත්‍ය ප්‍රේමියෝ. නිරන්තරයෙන් පොත් ගැන උනන්දුවක් දක්වන, වෙනත් ක්ෂේත්‍රවල නිර්මාණ හැකියා පවා තියෙන, වෙනත් කලා ශානරත් ඇසුරු කරන පිරිසක්. පෞද්ගලිකව ඔවුන්ව හමුවෙන නිසා ඒ බව දන්නවා. ඉතින් ග්‍රැෆික් මෘදුකාංගයක නිපුණයෙකු වූ පමණින් ම පොත් කවර කරන්න බෑ කියලයි මට හිතෙන්නේ. ඒකට උනන්දු අය කරන්න ඕන හොඳ ම දේ තමයි ලංකාවේ සහ විදෙස් පොත් කවර ගැන හොයා බලන එක.  තමන්ව හොයාගන්න සහ තමන්ගේ ප්‍රවිශ්ටය මොකක්ද කියලා තීරණය කරගන්නත් වෙනවා. ඒ එක්ක දෘශ්‍ය කලාවේ තියෙන මූලික රීති, සහ න්‍යායන් හදාරනවා නම් ඉතා වැදගත්. ඉතින් මමත් අන්න ඒ ආරම්භක අවධියේ ඉන්නේ. චිත්‍ර කලාව, ඡායාරූප කලාව, සිනමාව වගේ දේවල ආශ්‍රිතයෙක් වෙමින් යම් හැදෑරීමකට යෑමත් ප්‍රයෝජනයි.   ඒ වගේම උණුසුම් වර්ණ සහ සුලභ භාවිතාවන්ගේ වසඟයෙන් ඔබ්බට දැකිය හැකි හොඳ ඇහැක් හදා ගැනීමේ අභියෝගය භාර ගැනීමටත් සූදානම් විය යුතුයි.

සංවාදය – ඩිල්ෂානි චතුරිකා දාබරේ

 

 




Source link