December 5, 2021

Ada Rata

All news in one location

පියුමිලාගේ බස් රථය ආපසු හරවාගෙන එන්නැයි කොළඹ ප්‍රබල ඇමති පොලිසියට බලපෑම් කරලා



නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු පිරිසක් නිරෝධායනය සඳහා පස්සර බලා බස් රථයකින් රැගෙන යද්දී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයකු එම බස් රථයේ සිටි පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් අමතමින් එම බස් රථය ආපසු හරවාගෙන එන්නැයි නියෝග කර ඇති බව හිරු රූපවාහිනී නාලිකාව අනාවරණය කරයි.

එම ප්‍රබල අමාත්‍යවරයා පියුමි හංසමාලිගේ දුරකථනය හරහාම මෙසේ පොලිස් නිලධාරීන්ව අමතා ඇති බවයි එම රූපවාහිනී නාලිකාව පැවසුවේ.  

“දැන් අපි නීතිය එකයි වුණාට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවානෙ. පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනයට අරගෙන ගියා. අරගෙන ගිය විදිය ඔබ දකින්නට ඇති සමාජ මාධ්‍ය ඔස්සේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් වුණා. මේ කතාව මම ඔබට කියන්නෙ එක රටක එක නීතියක් තියෙන ඕනෑයි කියන එක අපි නිකම් කටින් කියලා වැඩක් නෑ. ඒක පාලකයින්ගෙ ඔළුවට යන්න ඕනෙ නිසා තමයි අපි මේ කතාව මෙතන ඉඳන් කල්පනා කරේ. 

ඒ නිරෝධායනයට අරන් යනකොට අපේ රටේ ප්‍රබල අමාත්‍යවරයෙක්, මේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරිලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රබල අමාත්‍ය ධුරයක් දරණ කෙනෙක් දුරකථන ඇමතුමක් දෙනවා පියුමි හංසමාලිගේ දුරකථනය හරහා බස් එකේ හිටපු පොලිස් නිලධාරීන්ට. ඒ දුරකථන ඇමතුමෙන් මොකද්ද කියන්නෙ ? මේ නිරෝධායනයට යන බස් එක ආපහු හරවන් එන්න කියලා. එතකොට ඒ පොලිස් නිලධාරියා කියනවා “ඒක කරන්න බෑ සර්, මේක මේ රටේ ඉහළම පුද්ගලයෙක්ගෙනුත් මේකට නියෝග ඇවිල්ලා තියෙනවා මේ අය නිරෝධායනය කරන්න අරගෙන යන්න” කියලා. ලැජ්ජයි ! ලැජ්ජයි !!

කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් තේරිපත් වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ප්‍රබල අමාත්‍ය ධුරයක් දරණ පුද්ගලයෙක් මුළු රටටම කිය කියා නීතිය එකවගේ තියෙන්න ඕනෙ කියලා මේ වගේ නීතිය කඩන්න මැදිහත් වෙනවා නම් අපට කියන්න තියෙන්නෙ ලැජ්ජයි කියලා. ප්‍රබල ඇමතිවරුන් ලැජ්ජා නැතුව මේවාට මැදිහත් වීම කොයිතරම් නින්දිතද කියලා තමයි අපට අහන්න තියෙන්නෙ” යනුවෙන් අද (04) උදෑසන හිරු නාලිකාවේ පත්තරේ විස්තරේ වැඩසටහන ඉදිරිපත් කරන මාධ්‍යවේදියා ප්‍රකාශ කළේය. 

අදාළ අමාත්‍යවරයා කවුරුන්දැයි හිරු නාලිකාව හෙළිදරව් නොකළ අතර වත්මන් රජයෙහි කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරුන් වන්නේ සරත් වීරසේකර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, බන්ධුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන සහ ගාමිණී ලොකුගේ යන මහත්වරුන් ය. 

 

RN




Source link