October 19, 2021

Ada Rata

All news in one location

පාතාල නායක ඝාතන සහ පොලිස් කතා දෙකක්



තවත් පාතාල නායකයෙකු පොලිස් වෙඩි පහරින් එලොව ගොස් තිබේ. මේ මොහොත වනවිට සමාජයේ විවිධ පාර්ශව අතර ඒ පිළිබඳ උණුසුම් සංවාදයක් පැන නැගී ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ සැකකරු විශේෂ මෙහෙයුමක් සඳහා මීරිගම රේන්දපොළ ප්‍රදේශයට රැගෙන ගිය බවත්, එහිදී ඇතිවූ සිද්ධියකදී පොලිස් වෙඩි තැබීමක් සිදුවූ බවත්, තුවාලකරු මීරිගම රෝහලට ඇතුලු කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්වූ බවත්ය.

‘විශේෂ මෙහෙයුම’ සහ එහිදී ඇතිවූ ‘සිද්ධිය’ කුමක්ද යන්න කිසිවෙකුටත් අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ‘හොඳ වැඩේ’ කියා එක් පිරිසකුත් ‘වැඩේ වැරදියි’ කියා තව පිරිසකුත් දෙකට බෙදී සංවාද කරන මේ මොහොතේ අප හිතවත් පොලිස් මිත්‍රයෙකු කලකට ඉහත දී අප සමඟ බෙදාගත් ඔහුගේ අත්දැකීම් දෙකක් සිහිපත් විය. වෘත්තියෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු වන ඔහුගේ එම අත්දැකීම් දෙක හුදී ජන පහන් සංවේගය පිණිස මෙතැන ලියා දක්වන්නට අපි කල්පනා කළෙමු. ඔහුගේම වචන දැන් අපට මතක ඇති හැටියට මෙබඳු ය. වචන එහෙ මෙහෙ විය හැකි නමුත් කතාවෙහි අන්තර්ගතය එයම ය.

පළමු අත්දැකීම

ඒ කාලෙ මං වැඩ කළේ දකුණු පළාතෙ පොලිස්ථානෙක. දවසක් පැමිණිල්ලක් ලැබුණ රත්තරං මාලයක් කඩපු සිද්ධියක් ගැන. ගෑනු කෙනෙක් තමයි ඇවිත් පැමිණිල්ල කළේ, මිනිහෙක් තමන්ගෙ මාලෙ කඩාගෙන ගියා කියල. කොහොම හරි පැමිණිල්ලට අනුව පරීක්‍ෂණේ කරල අපිට පුළුවන් වුණා හොරා අල්ලගන්න. පොලීසියට අරගෙන ඇවිත් හතරක් පහක් ඇනපු ගමන් මිනිහ ඔක්කොම කතාව එළියට දැම්ම. මාලෙ තියෙන තැනත් කිව්ව. ඉතින් අපි මාලෙ හොයාගෙන අර පැමිණිල්ල කරපු ගෑනු කෙනාට පණිවිඩයක් යැව්ව මාලෙ හම්බ වුණා පොලීසියට එන්න කියල. ඒ ගෑනු කෙනා ඇවිත් අපිට නොසෑහෙන්න ස්තුති කරල මාලෙ අරන් ගියා. යන්න කලින් එයා අපිට මෙන්න මෙහෙම කතාවකුත් කිව්ව.

“මහත්තයො, ආපහු මේ වගේ වැඩ නොකරන්න ඕකගෙ අත පය හතර කඩල හොඳ සම්බුවක් දෙන්න.”

දෙවැනි අත්දැකීම

එතකොට මං වැඩ කළේ කොළඹ පොලිස්ථානෙක. දවසක් ස්වීඩන් කාන්තාවක් පැමිණිල්ලක් අරගෙන ආව. එයා නිවාඩුවකට මෙහේ සංචාරය කරන්න ආපු කෙනෙක්. මොකෙක් හරි මේ ගෑනිගෙ බෑග් එක උස්සල. සල්ලි, ලියැවිලි, ෆෝන් එක ඔක්කොම ඒක ඇතුළෙ. ගෑනි හද්ද අනාථ වෙලා හිටියෙ. අපි පැමිණිල්ල බාරගෙන පරීක්ෂණේ කළා. අන්තිමට කොහොම හරි හොරා අල්ලගන්න පුළුවන් වුණා. අර වගේම ඌවත් අරගෙන ඇවිත් හොඳ සංග්‍රහයක් කළාම ඔක්කොම වැමෑරුව. සුද්දිගෙ බෑග් එකයි, බඩුත් ඔක්කොම වගෙයි හොයාගන්න පුළුවන් වුණා. ඉතින් අපි එයාට පණිවිඩයක් යැව්ව පොලීසියට එන්න කියල. එයා ආවම අපි හොරාව එයාට පෙන්නුවෙ ‘කොහොමද අපේ වැඩ’ කියල ආඩම්බරේ පෙන්නන්නත් එක්ක. හැබැයි ඌව දැකපු ගමන් ගෑනි පරල වෙලා වගේ මෙන්න බොලේ අපිට ඉංග්‍රීසියෙන් බැණගෙන බැණගෙන ගියා.

“මේ මනුස්සයට හොඳටම ගහල නේද? ඔයාල කොහොමද එහෙම මිනිහෙකුට ගහන්නෙ? ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. හරි නම් ඔයාල හැමෝටම විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.”

අපිට තේරුණ විදියට ඔන්න ඔහොම තමයි බැන්නෙ. අපි ඔක්කොම තක්බීර් වෙලා බලන් හිටිය. ඇයි අපි හිතුවෙ ගෑනිට හෙන සතුටු හිතිල අපිට ප්‍රශංසා කරයි කියලනෙ. කොහොම හරි පස්සෙ අපි දන්න ඉංග්‍රීසියෙන් ගෑනිව ශේප් කරල, බෑග් එකයි බඩු ටිකයි දීල පිටත් කළා. යද්දිත් අපිට බැණ බැණ ගියේ. තව පොඩ්ඩෙන් මාර මරාලයක් තමයි පාත් වෙන්නෙ.

ප:ලි: අප පොලිස් මිත්‍රයාගේ අත්දැකීම් දෙක එබඳු ය. සමහර විට මේ මියගොස් ඇති පාතාල නායකයා අර සොරුන් දෙදෙනාගෙන් එකෙකු වන්නටද බැරි කමක් නැත. දේවල් සිද්ධ වන්නේ එහෙම ය. ඇත්තටම රටක් සහ සමාජයක් ලෙස අපට ශිෂ්ටත්වය තව කොච්චරක් නම් දුරද? මෙච්චරක් කියා නිශ්චිතව කියන්නට නොහැකි වුවද ඇතැම් විට ඒ දුර මැනිය හැකි වන්නේ ආලෝක වර්ෂවලින් පමණක් වන්නටද පුළුවන.

– සිහින විමුක්ති රණවීර




Source link