October 28, 2021

Ada Rata

All news in one location

ධනවත් රටවල කෝවිඩ් එන්නත් මිලියන 250 ක අතිරික්තයක්



ලබන සැප්තැම්බරය වන විට සිය රටේ ජනතාවගෙන් 70%ක්වත් වැක්සින්කරණයට පුර්ණ වශයෙන් ලක් කර අවසන් කරන්නැයි ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ඉල්ලා තිබේ.නමුත් ඇත්ත කතාව, ඇමරිකාව ප්‍රමුඛ ලෝකයේ ධනවත් රටවල වැක්සින් අතිරික්තයක් ඇත. ඒවායින් වැඩි කොටස ඉක්මනින්ම ඉවත දැමීමට ද සිදුවනවා ඇත. වැක්සින් අතිරික්තය දුප්පත් රටවලට ලබාදීම වෙනුවට ඔවුන් මේ කරන්නේ කුමක්ද?

මේ ගිම්හානයේදී ඇමරිකාවේ ජීවත් වන බහාර්, ඉරානයට ගියේ වසර 4කට පසු සිය පියාව දැකබලා ගැනීම සඳහා ය.

මාරක කෝවිඩ් රැල්ලට ඉරානය නතු වී තිබෙන්නේ කොතරම් නරක අන්දමින් දැයි එහි පය තබන තෙක්ම ඇයට වැටහීමක් තිබුණේ නැත. මුලින් පවුලේ මිතුරියකද, පසුව ඇගේ පියාගේ මාමාද, ඉන්පසුව වියපත් නැන්දණියක ද කෝවිඩ් හේතුවෙන් මරණයට පත්ව තිබිණි. එක් වැක්සින් මාත්‍රාවක් පමණක් ගෙන තිබූ සිය මිත්තණියගේ ඉරණම ගැන බහාර් බෙහෙවින් දුක් වූවාය.

බහාර් 20 හැවිරිදි ය. ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ඇය, පසුගිය අප්‍රේල් මාසයේදී සිය දෙවැනි එන්නත ද ලබාගත්තාය. නමුත් ඉරානයේ සිටින ඇගේ පවුලෙන් එන්නත් ලබාගැනීමට සමත් ව තිබුණේ කිහිප දෙනෙක් පමණි.

ආපසු ඇමරිකාව බලා ගිය පසුව ඇයට දැනගන්නට ලැබුණේ ඇගේ පියා රෝගාතුර වී ඇති බවයි. ඇය භීතියට පත් වූවාය. තමන් විශාල වරදක් කර ඇති බව ඇයට හැඟිණි. ‘‘මම ඉරානයට ගියේ ෆයිසර් එන්නත් දෙකම ලබාගෙන සම්පූර්ණයෙන්ම හොඳින්..‘‘ යැයි ඇය කීවාය. නමුත් ඉරානයේ සිට පැමිණි පසු ඇගේ මානසික සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම පිරිහී තිබිණි. ඇගේ පියා මද කලකින් සුවය ලැබූ නමුත් පවුලේ වැඩිමල් ඥාතීන් කිහිපදෙනෙක්ම වසංගතයෙන් මරුමුවට පත්වූහ.

* * *

මේ වැක්සින් සැපයුම්වල ධ්‍රැවීකරණය නිල දත්තවලට ද සැඟවිය නොහැකි කාලයක් උදා වෙමින් තිබේ. ලෝකයෙන් භාගයක් තවමත් පසුවන්නේ අවම වශයෙන් එක් කෝවිඩ්-19 එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත නොහැකි තත්වයක ය.

හියුමන් රයිට්ස් වොච් සංවිධානයට අනුව, ලෝකයේ කෝවිඩ් වැක්සින්වලින් 75%ක්ම රටවල් 10 ක් අතර පමණක් බෙදී ගොස් තිබේ. The Economist Intelligence Unit මගින් පෙන්වා දෙන්නේ එමගින් ආවරණය වන්නේ ලෝක ජනගහනයෙන් 15%ක් පමණක් වන බවයි. ඒ අනුව, ලෝකයේ ධනවත් රටවල්, දුප්පත් රටවල් මෙන් 100 වතාවක් වැඩිපුර එන්නත් මාත්‍රාවන් ලබාගෙන තිබේ.

ජූනි මස පැවති G7 රැස්වීමේදී කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල්, ලබන වසර තුළ වැක්සින් බිලියන 1 ක් දුප්පත් රටවලට පරිත්‍යාග කිරීමට එකඟ වූහ. The Economist Intelligence Unit හි ගෝලීය වැක්සින් සැපයුම පිළිබඳ අනාවරණ සහිත පර්යේෂණයක් සිදුකළ එහි කතුවරිය වන ඇගතා ඩෙමරයිස් මෙසේ කීවාය. ‘‘ඒක දැක්කාම මට හිනා ගියා..‘‘ ඇය තවදුරටත් මෙසේ ද කියයි. ‘‘මම මේක ගොඩක් දැකල තියෙනවා. මේක සිද්ධ නොවෙන දෙයක් කියල අපි හැමෝම දන්නවා..‘‘

එක්සත් රාජධානිය මෙම ප්‍රතිඥාව තුළ පළමු අදියර වශයෙන් වැක්සින් මිලියන 100 ක් පරිත්‍යාග කිරීමට එකඟ විය. නමුත් මේ දක්වා පරිත්‍යාග කර තිබෙන්නේ එයින් වැක්සින් මිලියන 9 ක් පමණි. ජෝ බයිඩන් ජනපතිවරයා ලබාදුන් වැක්සින් මිලියන 580 පොරොන්දුවෙන් ඉටු කර තිබෙන්නේ වැක්සින් මිලියන 140 කි. මේ අතර, මේ වසර අග වන විට වැක්සින් මිලියන 250 ක් ලබාදීමට යුරෝපා සංගමය එකඟ වූ අතර, මේ දක්වා ලබා දී තිබෙන්නේ එයින් 8%ක් පමණි.

බොහෝ මැදි ආදායම් රටවල් මෙන්ම ඉරානය ද කෝවැක්ස් ගෝලීය ක්‍රමය යටතේ වැක්සිනය මිලදී ගත්තේය.

පහත දැක්වෙන්නේ දුප්පත් රටවලට පරිත්‍යාග කිරීමට පොරොන්දු වූ වැක්සින් ප්‍රමාණයන් සහ, ඒවායින් දැනට ඉටු කර ඇති පොරොන්දුවේ ප්‍රමාණය (කහ පැහැයෙන්) ය.

කෝවැක්ස් අර්බුදය

කෝවැක්ස් හෙවත් COVID-19 Vaccines Global Access යනු, කෝවිඩ්-19 ගෝලීය වැක්සින් ප්‍රවේශය හඳුන්වන කෙටි නාමයයි.

කෝවැක්ස්, 2021 මැයි මාසයේ පමණ ප්‍රධාන සැපයුම් ප්‍රශ්නයකට මුහුණ දුන්නේ ය. 2021 වසර තුළදී ඒවායින් මාත්‍රා බිලියන 2 ක් ලොව පුරා බෙදා හැරීමට නියමිත ව තිබුණේ ඉන්දියාවේ නිෂ්පාදන කර්මාන්තශාලා තුළිනි. නමුත් මැයි මාසයේදී දෙවන කෝවිඩ් රැල්ලේ පැමිණීමත් සමග ඉන්දියාවේ සැපයුම් සම්පූරණයෙන්ම නතර කර දැමුණේ අපනයන තහනමක් ද ක්‍රියාවට නංවමිනි.

කෝවැක්ස් ක්‍රමය ප්‍රධාන වශයෙන්ම රඳා පවතින්නේ ධනවත් රටවල් විසිින් සිදුකරන වැක්සින් පරිත්‍යාග මත ය. සැපයුම අඩාල වීමේ ප්‍රතිඵලය වූයේ සිය ජනහනයන්ගෙන් 2%ක් පමණක් එන්නත්කරණයට ලක් කිරීමට සිදුවීමයි.

මසකට ලෝකයේ එන්නත් නිෂ්පාදනය මාත්‍රා බිලියන 1.5 ක්!

ගෝලීය වැක්සින් සැපයුම පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂණ ආයතනයක් වන Airfinity විසින් පෙන්වා දෙන පරිදි ලෝකයේ දැන් සෑම මාසකයම එන්නත් මාත්‍රා බිලියන 1.5 ක් නිෂ්පාදනය කරයි. ඒ අනුව 2021 වසර අග වන විට එන්නත් මාත්‍රා බිලියන 11 ක් නිෂ්පාදනය වනු ඇත. ගතවූ මාස 3-4 ඇතුළත මෙම නිෂ්පාදන ධාරිතාවය විශාල වශයෙන් ඉහළ දමා තිබේ.

මේ වන විට ලෝකයේ ධනවත් රටවල් සතුව, ඔවුන්ට උවමනා නැති එන්නත් මාත්‍රා බිලියන 1.2 ක් තිබේ. ඉදිරියේදී බුස්ටර් ලබාදීමෙන් පසුව පවා මෙම අතිරික්තයේ වැඩි වෙනසක් සිදුනොවනු ඇත.

මේ අතර, මෙම මාත්‍රාවලින් කාලක් පමණ, එනම් එන්නත් මාත්‍රා මිලියන 250ක් පමණ, ඉක්මනින් පරිත්‍යාග නොකරන්නේ නම් කුණු කූඩයට විසි කරන්නට සිදු වේ යැයි Airfinity හි ප්‍රධාන පර්යේෂක වෛද්‍ය ලින්ලේ පවසයි.

එහි තේරුම වන්නේ, මෙම එන්නත් දුප්පත් රටවලට පාවිච්චි කිරීමට හැකි වීමට නම්, අවම වශයෙන් කල් ඉකුත් වන දිනයට මාස 2 කට වත් පෙර, ඒවා එම රටවල් වෙතට ළඟා විය යුතු බවයි.

Airfinity පර්යේෂකයන් මෙසේ ද කියති.

‘‘ධනවත් රටවල්වල එන්නත් අතිරික්තයට හේතුව ඔවුන්ගේ කෑදර කමක් කියා අප සිත්න්නේ නැහැ. තමන්ගේ රට වැසියන්ට ලබාදිය යුතු හොඳම වැක්සිනය මොකක්ද කියන එක නොදැන, ඔවුන් වර්ග කිහිපයක වැක්සින් අධි මාත්‍රාවලින් මිලදී ගෙන තිබෙනවා.‘‘

නමුත් ඔවුන්, තමන් සතු අතිරික්තය දැන්වත් දුප්පත් රටවලට පරිත්‍යාග නොකරන්නේ නම්, එය කෑදර කමක් නොවේද…?

මූලාශ්‍රය – BBC – Are 250m vaccine doses about to go to waste?

ප්‍රධාන ඡායාරූපය – © Getty Images

 

අමාලි ජයවීර https://outboundtoday.com




Source link