October 18, 2021

Ada Rata

All news in one location

තොටලඟ එල්ලේ ක්‍රීඩකයා ඝාතනය සැළසුම් සහගතව කළ අපරාධයක්



තොටලඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායක අකිල සම්පත් නමැති 37 හැවිරිදි තිදරු පියාගේ ඝාතනය සැළසුම් සහගතව සිදුකළ අපරාධයක් බව මේ වනවිට විමර්ශන කණ්ඩායම් හෙලිදරව් කරගෙන තිබෙනවා. මෙම අපරාධය සඳහා මෝදර යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ හමුදා බුද්ධි අංශ නිලධාරීන් 08 දෙනෙකු සම්බන්ධ බවට තොරතුරු හෙලි වී තිබෙනවා.

අකිල සම්පත් නමැත්තා පසුගිය 17 වැනිදා යතුරුපැදියෙන් සිය නිවස බලා ගමන් කරමින් සිටියදී මාදම්පේ ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඇති අතර ඒ සඳහා යුද හමුදාවට අයත් බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් භාවිතා කර තිබෙනවා.

මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින හමුදා බුද්ධි නිළධාරීන්ගෙන් ලද තොරතුරු මත, පැහැරගන්නා විට අකිල සම්පත් ගමන් ගනිමින් සිටි යතුරුපැදියේ කොටස්ද සොයාගෙන තිබේ. අදාල යතුරපැදිය කොටස් කර මට්ටක්කුලිය යුද හමුදා කඳවුර පිටුපස කැලණි ගඟට දැමීමට ඝාතනයට සම්බන්ධ හමුදා නිළධාරීන් කටයුතු කර තිබෙනවා.

අකිල සම්පත්ගේ බිරිඳ සමිට්පුර ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිණිය ලෙස සේවය කරන අතර ඇය මෝදර යුද හමුදා කඳවුරේ කෝප්‍රල්වරයෙකු සමග අනියම් සබඳතාවයක් පවත්වා තිබෙනවා. මෙම සබඳතාවය පිළිබඳ තොරතුරු අකිල සම්පත්ට හසුවී ඇති අතර ඔහු සිය බිරිඳට පහර දී මෙම සබඳතාවය නතර කරන ලෙසට තර්ජනය කර තිබෙනවා. අනියම් සබඳතාවය සැමියාට අනාවරණය වීම මෙම ඝාතනයට හේතුව වී තිබෙනවා.

අදාල කෝප්‍රල්වරයා සහ ග්‍රාම නිළධාරිනියද මේ වනවිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.

ග්‍රාම නිළධාරිනියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා තිබෙන්නේ තම සැමියා ඝාතනය කිරීම සඳහා තමන් කිසිවිටෙකත් අනුබල නොදුන් බවයි. සැමියාට පහරදී තර්ජනය කර අතහැර දමන බව මේජර්වරයා තමාට දැන්වූ බවද ඇය පවසා තිබෙනවා.

කෙසේ නමුත් අකිල සම්පත් ඝාතනය කර සේදවත්ත ප්‍රදේශයෙන් කැලණි ගඟට දමා ඇති අතර පසුව මළසිරුර කාකදූපත ප්‍රදේශයට ගොඩගසා තිබිණි.

UN




Source link