October 17, 2021

Ada Rata

All news in one location

තරුණ ගැහැණියක් ලෝකය ජයගනිද්දී වයසක පිරිමියෙක් රටක් වනසන හැටි


“ජෙසින්ඩා ආර්ඩන්” ඇය ලෝකයට ම ආදර්ශයකි.නවසීලන්තයේ ලක්ෂ 50 ට ආසන්න ජනතාව ඇයට හදවතින් ම ආදරය කරති.ඒ  ඇයගේ අව්‍යාජ බවට ය.නවසීලන්තයේ 3 වන කාන්තා  අගමැතිනිය ඇය යි. මේ වනවිට 40 වන වියේ පසුවන ඇය  “බෙනාසීර් භුතෝ “ගෙන් පසු තනතුරේ සිටිය දී දරුවකු ප්‍රසුත  කළ දෙවන අගමැතිනිය  බවට ද පත්ව තිබෙනවා.ඇය ගැන මේ සටහන තබන්නේ ශ්‍රී ලංකාව වැනි රාජ්‍යක ට එවැනි නායිකාවකගෙන් උගත යුතු පාඩම් සහ දේශපාලන නායකයෙක් යනු කවරෙක් දැ’යි වටහා  ගැනීමට ය.
කොවිඩ් වසංගතය පාලනය කිරීම පැත්තෙන් නවසීලන්තයේ අද වන විට ජන සමාජය තුළින් එක රෝගියෙක් හෝ  වාර්තා වන්නේ නැත.එය අදහා ගත නොහැකි කරුණක් වන්නේ බොහෝ රටවල් එහි උච්චස්ථානය ට පැමිණ  තිබෙන මොහොතක නවසින්තය ,ඔස්ට්‍රේලියාව සමඟ  නිරෝධායන නොමැති සංචරණ ජීව බුබුලක් නිර්මාණය කර තිබීම ය.ඒ තුළින් නවසීලන්තය වෛරසය පරාජය කර ඇති බව ලෝකයට ප්‍රදර්ශනය කර හමාර ය.

කොවිඩ් 19 වෛරසයෙන් චීනයෙන්  මෙ පිට මිය ගිය පළමු මරණය ලෙස පිලිපීන ජාතිකයෙකු මියයන විට එදිනට පසුදින නවසිලන්තය චීනය හරහා පැමිණෙන කිසිවෙක් තම රටට ඇතුල් කර නොගැනීම ට තීරණය කළා.ඒ මොහොතේ නවසීලන්තය තුළ කිසිදු රෝගියෙක් වාර්තා වී තිබුණේ නැහැ එවන් මොහොතක එවැනි තිරණයක්  ගැනීමට තරම් අගමැති ජෙසින්ඩා සහ එම රජය කෙතරම් සංවිධානාත්මක විය යතු ද?එඩිතර විය යුතු ද?දුර දක්නා නුවණ සහ ජනතාව වෙනුවෙන් ඔවුන්ට ඇති වගකීම කිසිවෙකුත් ඔවුන්ට මතක් කර දිය යුතු වුනේ නැහැ.

විශ්‍රාමික හමුද නිලධරයෙක්,වසර 30 ක යුද්ධයක් නිමා  කිරීමේ ගෞරවය මතින් බලයට පැමිණ,ජනතා ආරක්ෂාව ගැන වග කියන්නට ඉදිරියට පැමිණි නායකයෙක්,පළමුව   රට ගැන හිතන “සුදානම් නොවී නොසිටිනු” ඉදිරියෙන් තබා ජනතාවට වග කියන නායකයෙක් සිටින මේ දිවයිනේ අපේ තත්වය කෙබදු ද ?

ජෙසින්ඩා ඉපදෙන්නේ සාමාන්‍ය පවුලක ය.  ඇගේ පියා  පොලිස් නිලධාරියෙක්,මව අවන්හල් සේවිකාවක්,ඇය  ජිවත් වූයේ ග්‍රාමීය පරිසරයක පයට පාවහන් නොමැති දරුවන් ගේ වේදනාවන් සහ මාඕරි ප්‍රජාවගේ ජිවිතයට බොහෝ සමිපව ය. උසස් පාසලේ දී වයස 17 වන විටම ඇය ලේබර් පක්ෂයට බැදී කටයුතු කරයි.එසේ ම  දේශපාලන විද්‍යාව සහ මහජන සම්බන්ධතාඩා  පිලිබඳ උපාධිධාරිනියක් වන ඇය 2007 වසරේ ජාත්‍යන්තර සමාජවාදී තරුණ සංගමයේ සභාපති ධුරයට පත් වෙයි.බ්‍රිතාන්‍ය සහ නවසීලන්තයේ ප්‍රමුඛ දේශපාලකයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් සමඟ කටයුතු කර ඇති ඇය පසුගිය මැතිවරණයෙන් ලේබර් පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙයවමින් දෙවන් වරටත් අගමැති ධුරයට පත් වුණා.

ජනතවට අවශ්‍ය වන්නේ තම නායකයා තමන් වෙනුවෙන් අවශ්‍ය විට දී නිවැරදි තීරණ ගැනීමය.අප මුහුණ දෙමින් සිටින්නේ නායකයින් නඩත්තු කිරීමේ අභියෝගයකට ය.ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ය.ජනතාව දුක් විදින විට නායකයා රැක ගැනීමට ය.මහන්තත්වය පෙරටු ගෙන තමන්ගේ තීරණ වෙනස් නොකරන,ඩීල් වලින් පාලනය ගෙනියන්නට වෙර දරණ යුද මානසිකත්වයෙන් ජන මනස වියවුල් කර,ආගම,ජාතිවාදය තමන්ගේ පාලන මුහණත බවට පත් කරගත් නායකයින් ය.ජනතාව සතුටින් තියන්නට ඔවුන්ට හැකි වන්නේ කවදද?

ජෙසින්ඩා අගමැතිනිය අගේ වසර තුනක පළමු පාලන කාලයේ “ක්‍රයිස්චර්ච්”  ඝාතන සිදුවීම තුලින්   කැළඹී ගිය නවසිලන්ත ජනතාවගේ  ජන මනස සකස් කළ ආකාරය විශිෂ්ඨ ය.ඒ තුළින් ඇය තම දේශපාලනය ගොඩනගා නොගත්තාය.තම රටේ ජනතාවගේ ජිවිත උඩින් ඇය දේශපාලන මාවතක් විවර කොට නොගත්තා ය.එයට  ත්‍රස්තවාදය මිස,වෙනත් නමක් භාවිත  නොකළා ය.ඇය ඉන් දින 10 ට  පසුව ආයුධ වෙළදාම පිලිබඳ නවසීලන්ත නිතිය වෙනස් කරමින් අර්ධ ස්වයංක්‍රිය යුද ආයුධ භාවිතය තහනම් කළාය .එපමණක්  නොව ඇය අයිති වූ මොර්මොන් ආගමික පල්ලිය විවේචනය කරමින් එයින් ඉවත් වීමට තරම් ය නිර්භීත විය.ඒ සෑම අවස්ථාවකම ඇය නවසිලන්ත ජනතාව වෙනුවෙන් සිටියාය.

අප තෝරා ගත් නායකයා ත්‍රස්තවාදය මතින් පාලනය ලබා ගෙන,නැවත වසංගතය හමුවේ ජනතාව මරණය දෙසට යනතෙක් බලා සිටියි.ජනතාව වියරුවෙන් මෙන් රුපියල හොයන්නට දිවගොස්  බඩුමිළ,වසංගතය,නිදහස යන ත්‍රිවිධ බාධක තුළින් ගොඩ වන්නට වෙර දරයි.ජිවත් වනවාට ජිවත් වන මිනිසුන් අද අප රටේ බහුල ය.තීරණ ජනතා හිතවාදී නොවන විට ,දිනෙන් දින මරණය ළඟා වන විට ඒ රාජ්‍යයේ පාලකයාගෙන් තවත් කුමක් බලාපොරොත්තු වන්නද?මිනිස්කම හැම දෙයටම වඩා ඉදිරියෙන් තිබිය යුතු ය.තිබෙන සල්ලියක් වියදම් කර ජනතාව රැක ගැනීම මුලින් කළ යුතුය. වයස,අත්දැකීම් වලට වඩා ජනතාවට් ආදරය කළ හැකි නායකයෙක් අවශ්‍ය වන්නේ එබැවිනි.

නවසීලන්තයේ සෞඛ්‍ය ඇමති නිරෝධායන නීති කඩමින් තම පවුල සමඟ මුහුදු වෙරළ ට ගිය විට,ඔහු ඉල්ලා අස්විය.ජෙසින්දා ඉතා වැදගත් කරුණක් එම ඉල්ලා අස්වීම බාර  ගනිමින් ප්‍රකාශ කළා ය .

“මේ මොහොතේ  සෞඛ්‍ය මෙහෙයවන  නායකයාගේ හැසිරීම ජනතාව  මෙහෙයවයි.එ නිසාවෙන් මෙය සිදු විය යුතුය.ජනතාව බලාපොරොත්තුවන්නේ එයයි.”

ශ්‍රිලංකාවේ නායකයා ට සෞඛ්‍ය ඇමතිනිය මොන පිස්සුවක් නැටුව ද නොපෙනෙයි.එක්කෝ රාජ්‍ය නිලධාරීන් දඩු කදේ ගසයි.
සෞඛ්‍ය අංශ ප්‍රදේශ “ලොක් ඩවුන්”  දමන විට,වහපු ඒවා අරින ඇමතිලා පිස්සුවෙන් දොඩවන විට.නොපෙනෙයි.විශේෂ ප්‍රකාශ  කරන්නට මාධ්‍යට එයි.ලොකු සින් එකක්  ඔලුවේ තියාගෙන ලෝකයම තමන්ගේ යයි සිතමින්  ජීවත් වෙයි.ආරක්ෂාවට ඉන්න ප්‍රමාණය නඩත්තු කරන්නට ජනතාව තව බදු ගෙවන්නට ද වෙයි.යන්නට එන්නට පාර ඉඩ ඉල්ලයි.වැරදි දෙයක් ලිව්වොත් ජනමාධ්‍යවේදියාට තරවටු කරයි.
ජනතාවෙනි,රටක් නම් මිනිසුන්ට ආදරය කරණ, නවසීලන්තය උදාහරණයකි.නවසීලන්තයේ අවුරුදු 40 යේ තරුණියගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ තිබේ.ඇය වසංගත කාලයේ මුහුණු පොතින් ජනතාව අමතන්නේ නිවසේ තේ බොන ගමන් ය. එම ජනතාවට ඇය මිතුරියක් බඳුය. ජනතාව දිරිමත් කරයි.තනිව වාහනය පදවාගෙන යයි.ආරක්ෂකයින් පිරිවරා ගමන් යන්නේ නැත.මක් නිසාද නවසිලන්ත ජනතාව ඇයට ආදරය කරයි.ඇයව රැක ගැනීම හැර ඝාතනය කරන්නට ඔවුන්ට අවශ්‍ය නැත.වසංගතයෙන් පසු ඉහළ අදායම් ලබන්නගෙන් බදු පනවයි.ඇය  ඇතුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන්  20%ජනතාව වෙනුවෙන් කපා දමයි.UN  මහා සමුළුවට තම කිරිදෙන දරුවා රැගෙන යයි.

“මට ,මගේ දරුවාගේ  වර්ධනය වැදගත්,ඒ වගේම මගේ ජනතාවගේ ප්‍රශ්නත් වැදගත්.වැඩ කරමින් දරුවන් ට කිරිදෙන එකම කාන්තාව මම පමණක් නොවෙයි.
ඇය ලෝකයට එසේ කිය යි.එය ඇය ඉතා සැහැල්ලුවෙන් රට පාලනය  කරයි.ජනතාව වෙනුවෙන් විදි බසියි.ජාතිවාදය යන වචන ය අසන්නටවත් නවසිලන්ත ජනතාවට ඉඩ නොතබ යි.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නවසීලන්තයේ මිනිසුන් ජිවත් වෙයි.
අපි රජ කළ නායකයින් බොරු සාටෝපයේ සළුපිලි උනා දමා අපට සේවය කරන තෙක් අපි තවමත් බලා සිටිමු.එය ඉටු නොවන්නේ ඒ සටකපට නායකයින් පත් කරමින්  ඉක්මනින් මුලාවේ  වැටෙන මේ රටේ මිනිසුන් වන අප ගේ වරදිනි.
නායකයා වරද නිවැරදි කර නොගනියි නම්, ජනතාව එය නිවැරදි කළ යුතු ය.ඔබ දුක්විදින්නේ ඔබේ වරදිනි.ඔබේ දරුවා  මිය යන්නේ ඔබේ වරදිනි.එය නිවැරදි කරන්නට ලබා දෙන එකම අවස්ථාව බුද්ධිමත් ලෙස භාවිත නොකිරීමේ  පාපය අප නැවත නැවතත්  අත්  විදිය යුතුව ඇත.





Source link