October 19, 2021

Ada Rata

All news in one location

‘ඩාලි පාරේ ඉඩම සහ දුමින්ද සිල්වාගේ නිවාස අධිකාරිය‘



මතකය අමතක යැයි කී දුමින්ද සිල්වා සභාපතිකම දරන නිවාස සංවර්ධන අධිකාරිය, බොරැල්ල පොලිසිය සහ මැරයන් සමග එක්ව කොළඹ ටී.බී. ජයා මාවතේ හෙවත් ඩාලි පාරේ පිහිටි ඉඩමක් බලහත්කාරයෙන් අල්ලාගැනීමේ කතාව පසුගිය දිනෙක අපි ඔබ වෙත ගෙන ආවෙමු. 

මේ වන විට මේ නාටකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය සාකච්ඡා සහ පාර්ලිමේන්තු සභා ගර්භය උණුසුම් කරන කතා බහක් දක්වාම දුර දිග ගොස් තිබේ. 

‘‘ආයෝජකයො එන්නෙ නෑ.. නෑ.. නෑ. කුහක වෙන්න එපා කියල නහයෙන් අඬනවා. කොහේ ආයෝජකයො එන්නද?‘‘

‘‘ආයෝජකයො එන්නෙ නෑ.. නෑ.. නෑ. කුහක වෙන්න එපා කියල නහයෙන් අඬනවා. කොහේ ආයෝජකයො එන්නද? ‘‘ පාර්ලිමේන්තුවේදී එසේ විමසුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ය. 

ඩොලර් මිලියන 400 කට වැඩි ආයෝජනයක් එනම් විදේශීය ආයෝජනයක් ඉදිරි දිනවලදී ලංකාවට ගෙන එන බව පසුගියදා කියා තිබුණේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වත්මන් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ය. නමුත් නිවාස සංවර්ධන අධිකාරිය විසින් ම ලබාදුන්- ඔවුන් විසින්ම පසුව නීති විරෝධී හා අයථා ලෙස කොල්ල කා තිබෙන්නේ රු. මිලියන 712 කින් ඇරඹුණු ආයෝජනයකි. දේශීය ආයෝජකයන්ට රට තුළ ආයෝජන ව්‍යාපෘතිවල නියැළීමට කිසිදු ආරක්ෂාවක් නැති බව සනාථ කරමින් නිවාස සංවර්ධන අධිකාරියම පොලිසිය සහ මැරයන් කැටුව පැමිණ ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් ව්‍යාපෘති සිදුකළ ඉඩම් මහදවාලේ කොල්ල කයි නම්, විදේශීය කෙසේ වෙතත් දේශීය ආයෝජකයන්වත් ලංකාවේ ආයෝජනය කරාවිද?

විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාට අනුව එම ආයෝජන ව්‍යාපෘතියේ වටිනාකම රු. මිලියන 712 ක් විය. ව්‍යාපෘතිය සඳහා අදාළ පුද්ගලික සමාගම විසින් මූලිකව කළ ආයෝජනය රු. මිලියන 100 ක් විය. පසුව විදේශ ආයෝජකයන් හරහා ඇමරිකානු ඩොලර් මිලියන 3.9 ක් ද, විදේශ සෘජු ආයෝජන හරහා බ්‍රිතාන්‍ය  පවුම් මිලියන 2 ක් යනාදී වශයෙන් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන්, අද වන විට ඕක් ස්ට්‍රීට් (පුද්) සමාගම  යනුවෙන් හැඳින්වෙන පුද්ගලික සමාගම තමන්ගේ පාර්ශවයෙන් අති දැවැන්ත ආයෝජන සිදුකර තිබේ. නමුත් ව්‍යාපෘතිය සිදුවුණේ නැත. පසුව නිවාස සංවර්ධන අධිකාරිය එවකට නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා යටතේ පැවති සමයේදී ව්‍යාපෘතිය සක්‍රිය විය. නිවාස සංවර්ධන අධිකාරිය පසුව මෙම ප්‍රශ්නගත ඉඩම අදාළ පුද්ගලික සමාගම වෙත විකුණා දමන්නේ රු. කෝටි 81කට ය. මේ වන විට මේ ව්‍යාපෘතිය වෙනුවෙන් අදාළ පුද්ගලික සමාගම විසින් සිදුකර ඇති දැවැන්ත ආයෝජනය බිලියන 1.8කට අධික ය. නිවාස අධිකාරිය මහදවාලේ කොල්ල කන්නේ එම ඉඩම ය. 

එනිසා, දුමින්ද සිල්වාගේ නිවාස සංවර්ධන අධිකාරිය දැන්, දේශීය ආයෝජකයන් පවා ලංකාව තුළ ආයෝජනය කරන්නට මැලිවන්නේ මන්ද කියා කදිම පැහැදිලි කිරීමක් නිදසුන් සහිතව ලබා දී තිබේ. ඒ ‘කුහක කමක්‘ නිසා නම් නොව, මහ දවාලේ පොලිසියත් සමග පැමිණ එම දේපළ කොල්ල කාවි යැයි බිය නිසා ය. උසාවි නියෝග, නීතිපති අවසර කිසිවක්ම නැතිව කැලෑ නීතිය ආයෝජකයන්ට එරෙහිව රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙන නිසා ය! 

දුමින්ද සිල්වාට මතකය නැවත ලැබී ඇති බවට දැන් බි ඳ හෙළිය නොහැකි සාක්ෂි 2 ක් ද මේ සමග ලැබී තිබේ. 

  1. වසර 14 ක් පුද්ගලික ආයෝජන සමාගමක් සතුව තිබූ ඉඩමක් ගැන දුමින්ද සිල්වාට මතක් වී ඇත. 
  2. එය නීතිපති හෝ අධිකරණ අවසරයකින් තොරව  එනම්, මැර බලය යොදා කොල්ල කෑ හැකි බව ද ඔහුට මතක් වී තිබේ. 

ඒ අනුව සසර පුරුද්ද මතු වී මතකය නැවත ලැබෙන හැටි ගැන කියන නූතන ජාතක කතාව ‘ඩාලි පාරේ ඉඩම සහ දුමින්ද සිල්වාගේ නිවාස අධිකාරිය‘ නම් වේ!

කොළඹ ඩාලි පාරේ පිහිටා ඇති මෙම ඉඩමට ආයෝජකයන් සඳහා බැහැර කිරීමට පළමු කැබිනට් අනුමැතිය ලබාගත්තේ හිටපු අමාත්‍යවරියක වන ෆෙරියල් අෂ්රොෆ් විසින් බවද මෙයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් බව ද මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.  

2021.09.30 දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අපූරු කතාවක් ද කීවේය. ඒ, දුමින්ද සිල්වාගේ සහෝදරයාගේ නාලිකාවේ මෙම ඩාලි පාරේ ඉඩම කොල්ල කෑම ගැන ප්‍රවෘත්තිය නම් විකාශය නොවනු ඇති බවයි. 

ඒ බව සනාථ කරමින්, රෙනෝ ද සිල්වාගේ හිමිකාරිත්වය යටතේ පවතින හිරු නාලිකාවට ඩාලි පාරේ ඉඩම ගැන පුවත ‘අමතක‘ වී තිබේ. 

රජයේ බලධාරීන් විසින් සිදුකළ මෙම නීතිවිරෝධී සහ අත්තනෝමතික ක්‍රියාව හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට නියමිත ව තිබෙන්නේ තව දින 8 කිනි. එනම්, ඔක්තෝබර් 15 වැනිදාට ය. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ එහි සභාපති දුමින්ද සිල්වා මහතා සහ එහි නිලධාරීන් කිහිප දෙනෙකුට, පොලිස්පතිවරයාට, බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මරදාන පොලිස් ස්ථානාධිපති නලින් ජයසූරිය මහතා සහ නීතිපතිවරයාට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබේ. 

බලධාරීන් හා පොලිසිය, නීතිපති හා අධිකරණයත් ඉක්මවා ගොස් බලය අතට ගෙන යකා නැටූ මෙම සිද්ධියේ වගඋත්තකරුවන්ට අවසානයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදුව තිබේ. නාටකයේ ප්‍රධාන සහාය නළුවෙකු වූ බොරැල්ල පොලිසියේ OIC මහතාටද පොලිස්පතිවරයාට සමග 15 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙසට නොතීසි ද නිකුත් කර තිබේ. හෙට දිනයේ (8)පෙත්සම්කාර පාර්ශවය හෙවත් අගතියට පත් පාර්ශවය විසින් මෙයට දින 3කට පෙර වගඋත්තරකාර පාර්ශවය ගොනු කළ විරෝධතාවලට පිළිතුරු ලබාදෙනු ඇත. 

විදේශීය ආයෝජකයන්ගේ දායකත්වය ලබාගනිමින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති සිදුකරන දේශීය ආයෝජකයන්ව අපහසුතාවට පත් කරමින් මහදවාලේ දේපළ මංකොල්ල කන දුමින්ද සිල්වාගේ නිවාස සංවර්ධන අධිකාරියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙන පිළිතුර කුමක්ද..? අපි බලා සිටිමු…

පෙර ලිපිය 

දුමින්ද සිල්වා යටතේ නිවාස සංවර්ධන අධිකාරිය නමෝවිත්තියෙන් වැඩ අල්ලයි – පොලිස් පාට් සමග ඉඩමක් අල්ලාගැනීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ




Source link