December 4, 2021

Ada Rata

All news in one location

ටිම් පේන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙයි



ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ටිම් පේන් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. එංගලන්ත – ඕස්ට්‍රේලියා වාර්ෂික අළුබඳුන කුසලාන ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට සති තුනක් තිබියදී ඔහු නායකත්වයෙන් ඉවත් වීම විශේෂත්වයකි.

පේන් නායකත්වයෙන් සමු ගැනීමට තීරණය කර තිබෙන්නේ මීට වසර හතරකට පමණ පෙර ඔහු සම්බන්ධ සිදුවීමක් හේතුවෙනි. වසර හතකට පසුව 2017 වසරේදී ටිම් පේන් යළි ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමට කැඳවූ අතර ඊට මාසයකට පමණ පෙර ඔහු කාන්තා සේවිකාවකට අසභ්‍ය පණිවුඩ යවා ඇති බවට චෝදනා එල්ල විය.

මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සහ තස්මේනියානු ප්‍රාන්ත ක්‍රිකට් බළධාරීන් පරීක්ෂණ පවත්වා තිබූ අතර එහිදී පේන් නිවැරදිකරු ලෙස ප්‍රකාශයට පත්කර තිබිණි.

අද පෙරවරුවේ හෝබාට්හිදී මාධ්‍ය හමුවක් පවත්වමින් පේන් සඳහන් කළේ නායකත්වයෙන් ඉල්ලා අස්වීම ඇදහිය නොහැකි තරම් දුෂ්කර තීරණයක් බවයි. කෙසේ නමුත් නායකත්වයෙන් ඉවත්වීම සඳහා මෙය හොඳම අවස්ථාව බවත්, එය තමාටත්, තම පවුලටත්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමටත් යහපත් වනු ඇති බවත් ඔහු පවසා තිබෙනවා.

එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් තමා නිදොස් බව පරීක්ෂණවලින් තහවුරු වුවද සිදු වූ සිදුවීම පිළිබඳව දැඩිලෙස කණගාටුව පළකළ බව පේන් පවසනවා. අදද ඒ සම්බන්ධයෙන් කණගාටු වන බවත්, තමාව තනි නොකිරීම පිළිබඳව පවුලේ සාමාජිකයන්ට ස්තුතිවන්ත වන බවත් ඔහු පවසනවා.

නායකත්වයෙන් ඉල්ලා අස් වුවද ඔහු තවදුරටත් ටෙස්ට් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇත.

2018 වසරේද දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර නායක ස්ටීවන් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා මත තරග තහනමක් පැනවීමෙන් පසුව පේන් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්විය.

පේන්ගේ ඉල්ලා අස්වීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් පිළිගෙන ඇති අතර බොහෝදුරට අළුබඳුන තරගාවලියේදී, දැනට උප නායක පැට් කමින්ස් නායකත්වයේ වගකීම දරනු ඇත.

UN




Source link