September 24, 2021

Ada Rata

All news in one location

ජේ ආර් “මළේ” නැත. අදට ද ඔහු ජීවමාන ය.



මිය ගිය, අතීතයට අයත්, අය ගැන කතා කිරීම සමහරු සළකන්නේ කාලය නාස්ති කිරීමක් ලෙස ය. සමරු උත්සවයකට සීමා විය යුතු වැඩක් ලෙස ය. ජීවත් ව සිටින, අතිශයියන් ක්‍රියාකාරී, තීරණාත්මක නායකයින් ඉන්නා සමයක, ඔවුන් ගැන කතා කිරිම පැත්තකින් තබා, මැරුණු, කල්ඉකුත් වී ගිය, කෙනෙකු ගැන කතා කිරීම කාලෝචිත වැඩක් නොවේ යැයි ද කෙනෙකුට තර්ක කළ හැකි ය. එයින් අවධානය අවශ්‍ය කාරණා වලින් ඔබ්බට යන බවට චෝදනාවක් ද කළ හැකි ය. මේ සටහන ලියන්නේ ඒ හැම දෙයක් ම දැන ගෙන ය. ඒවා ගැන අවබෝධයක් ඇතුව ය.

“ජේ ආර් මරමු”. මේ 88-89 යුගයේ තාප්ප වල ලියවුනු ජනප්‍රිය සටන් පාඨයකි. එහෙත් ජේ ආර් මරන්නට කිසිවෙකුට බැරි විය. පසු කලෙක ඔහු ශාරීරිකව මිය ගිය ද අදට ද ඔහු දේශපාලනිකව “මරන්නට” හැකි ජගතෙක් අපේ රටේ නැත. ඔහුගේ අවතාරය තවමත් අපේ දේශපාලනය ලෝකයේ හොල්මන් කරන්නේ ය. ඇතැමුන්ට එ් හොල්මන වැහී ඔවුන් ආතුර වී ඇත්තේ ය.

පුදුමයකට මෙන් එසේ වී ඇත්තේ ඔහු ඇසුරු කළ උදවියට හා ඒ අය අයත් කඳවුරටත් වඩා ප්‍රතිවාදී කඳවුරට වීම එක් අතකින් උත්ප්‍රාස ජනක ය. අනෙත් අතට ඒ නිසා ම මේ අවතාරය පිළිබඳ ව ප්‍රවේසමෙන් සොයා බැලිය යුතු යයි අපට බල කෙරෙන්නේ ය.

ජේ ආර් විසින් දයාද කළ බොහෝ දේ විවේචනය වුව ද ඒවා වෙනස් වෙන, වෙනස් කරන, ලකුණු අහල මායිමක නැත. ඒ වෙනුවට ඇත්තේ ඒවා වඩාත් දැඩි ව ක්‍රියාත්මක කරන ලකුණු ය. ඒ නිසා ද ජේ ආර් නැවත කියවිය යුතු චරිතයකි.

බහුභූත ව්‍යවස්ථාව

ජේආර් කළ අදටත් ආපස්සට කැරකිය නොහැකි එක් වැඩක් නම් විධායක ජනාධිපති පදවිය ඇති කිරීම ය. එය ඉවත් කරන්නට සපථ කළ කිසිවෙක් එය වෙනස් කළේ නැත. ඒ ලයිස්තුවට වසර දහය බැගින් රට පාලනය කළ චන්ද්‍රිකා ජනපතිනිය හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද ඇතුළත් ය. ඔවුන්ට ඒවා වෙනස් කිරීමට බලයක් තිබිය දී පවා ඒ සඳහා ඇති තරම් කාලයක් තිබිය දී පවා එසේ කරන්නට ඔවුන් උනන්දුවක් දැක්වූයේ නැත. මහින්ද රාජපක්ෂ මහතා ඒ වෙනුවට කළේ 18 වෙනි සංශෝධනය හරහා වඩාත් බලතල පවරා ගැනීමත් ජේආර් පැනවූ වාර දෙකේ සීමාව පවා ඉවත් කර ගෙන තවදුරටත් ජනාධිපති තනතුර ශක්තිමත් කිරීමත් ය. ජේආර්ගේ බහුභූත ව්‍යවස්ථාව තවත් බහුභූත කිරීම ය.

ජනාධිපති පදවිය තාවකාලිකව දුර්වල කරන ලද එක ම තැනැත්තා, පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් හිමි ව රට ආණ්ඩු කළ, මෛත්‍රීපාල සිරිසේන වීම ව්‍යාතිරේඛයකි. සමහර විට ඊට එකඟ වන්නට ඔහුට සිදු වූයේ ම ඒ සුළුතරය පමණක් ඔහු සතු වූ නිසා වන්නට ද පුළුවන. ඔහු සිටියේ යහපාලන සන්ධානයේ පමණක් නොව, ඔහු පිට පසුව පටවන ලද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද, හිර කරුවෙකු ලෙස ය.

එහෙත් ඒ තත්වය වැඩි කලක් පැවතුනේ නැත. විධායක ව්‍යවස්ථාව පමණක් මදි වී එය දරා සිටීමට හිට්ලර් වැනි ඒකාධිපතියෙකු අවශ්‍ය යැයි, අවාසනාවකට මෛත්‍රිය ම සිය ජීවන මාර්ගය කරගත්, ස්වාමීන් වහන්සේලා පවා කියන්නට ඉදිරිපත් වන තැනට පසු කලෙක කටයුතු යෙදුනේ ය. ඒ කතාව අනුමත කරමින් අතිවිශාල ජනවර්මක් ලබා දී වත්මන් පාලකයන් බලයට පත් කිරීමට ජනතාව ද කටයුතු කළ අතර අවසාන ප්‍රතිඵලය වූයේ වඩාත් ශක්තිමත් ජනාධිපති පදවියක් නැවතත් බිහි වීම ය. ඒ දෙකින් ම පෙනී යන්නේ ජේආර් පටන් ගත් දේ, කවුරු මොනවා කිව්වත්, පහසුවෙන් අවසන් වෙන්නේ නැති බව ය. මළ ගිය ජේ ආර්ට හැකි නම් ඔහු සිය සොහොන් ගැබේ සිට අපට සිනා සෙනවා ඇත.

නීතියේ ස්වාධිපත්‍ය විනාශ කිරීම

ජේ ආර් නීතියට ගරු නොකළේ ය. ලාම්පු කළ ගෙඩි සෙල්ලමක් කර තමන්ගේ හයෙන් පහේ බලය නීති විරෝධීව තවත් කාලයක් පවත්වා ගත්තේ ය. උසාවියට තමන්ගේ හෙංචයියලා ලවා ගල් ගස්සවා, ජනතාව සිය විරෝධය පල කරන්නට ඇතැයි කියා, උසාවියට අපහාස ද කළේ ය. අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එමින් තමන් ම සම්පාදනය කළ ව්‍යවස්ථාව යොදා ගෙන අධිකරණය ම ආණ්ඩු මට්ටු කරන්නට කටයුතු කළේ ය.

මෛත්‍රීපාල සිරිසේන ඉදිරියට දමා ගෙන ක්‍රියාත්මක වූ යහපාලන ආණ්ඩුව යන ව්‍යාතිරේඛය හැරුනු කොට ඊට පසු බලයට පත් හැම පාලකයෙකු ම කළේ ඒ සම්බන්ධයෙන් ඔහු අනුගමනය කිරීම ය.

එය චන්ද්‍රිකා සමයේ සිට ම පෙනෙන්නට තිබුණු කාරණයකි. එසමයේ වික්ටර් අයිවන් ඒ අරබයා කළ සටන ගැන බොහෝ දේ ලියැවී ඇති නිසා අවශ්‍ය කෙනෙකුට ඒ විස්තර සොයා ගෙන කියවිය හැකි ය. ශිරාණි බණ්ඩාරනායකව අස්කිරීමෙන් කූටප්‍රාප්තියටපත් මහින්ද සමයේ අධිකරණයට කරන ලද මැදිහත් වීම් තවමත් පරණ වී නැත. ඒ ගැන විස්තර බොහෝ දෙනෙකුට තවමත් මතක ඇතිවාට සැක නැත. ස්වාධීන කොමිසම් සභා අහෝසි කිරීම හරහා අධිකරණයට ද මැදිහත් වීමට අවශ්‍ය බලය, වත්මන් පාලකයන් ද, එක් රැස් කර ගෙන ඇති පසුබිමක, අපට කිව හැක්කේ ජේආර් ඒ අර්ථයෙන් ද මිය ගොස් නැති බව ය.

පාර්ලිමේන්තුව රූකඩයක් බවට පත් කිරීම

මන්ත්‍රීවරන්ගෙන් අස්වීමේ ලිපි ලබා ගෙන පාර්ලිමේන්තුව රූකඩයක් බවට පත් කිරීමට ජේ ආර් කටයුතු කළේ ය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීමට හැකි වනසේ ආණ්ඩුව විසින් අවශ්‍ය නීතිමය පසුබිම සකස් කර ගත් අතර ඒ නිසා තුනෙන් දෙකක් ම හිමි කර ගෙන පාර්ලිමේන්තුව අනියම් අයුරින් රූකඩයක් බවට පත් කර ගැනීමට මහින්දට ද හැකි විය.

නැවත වතාවක් පාර්ලිමේන්තුව බල ගැන්වුනේ මෛත්‍රීපාල සිරිසේන යුගයේ ව්‍යාතිරේඛයක් ලෙස ය. තාවකාලික ව වුව ද එහි බලය, මෛත්‍රීපාල ම පසු කලෙක මැදිහත්ව කළ ආණ්ඩු කුමන්ත්‍රණය ඉදිරියේ අනභිබවනීය ලෙස නැගී සිටියේ ය.

කේන්ද්‍රගත කරන ලද විධායක බලය ඉදිරියේ දැන් පාර්ලිමේන්තුව නැවතත් රූකඩයක් වී තිබේ.

ද්‍රවිඩ ජනයා නොසළකා හැරීම

ද්‍රවිඩ ජනයාගේ බලය විමධ්‍යගත කිරීමේ ඉල්ලීම ජේ ආර් නොසළකා හැරියේ ය. ඔවුන් අවිගත් විට අවියෙන් මර්දනය කරන්නට තැත් කළා විනා ඒ සඳහා දේශපාලන විසඳුමක් දිය යුතු යැයි ඔහු කල්පනා නොකළේ ය. ඒ වෙනුවට ඔහු කළේ යුද්ධය තෝරා ගැනීම ය.

දියාරු කරන ලද දිස්ත්‍රික් සභා දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයෙන් කිසි ලෙසකින් වත් නිරූපනය නොකළේ ය. ඉන්දියාව මැදිහත් නොවන්නට පළාත් සභා වර්ගයේ විසඳුමක් පවා ඇති නොවන්නේ ය. එය පවා නිසි ලෙස ක්‍රියාත්මක කළ නොහැකි සමගාමී ලයිස්තුව වැනි විවිධ බාධක වලින් වට කර ඇත්තේ ය. ඒ තත්වය සමහන් කරන බවට දුන් පොරොන්දු ‌ජේආර් තරමට ම ඔහුගේ අනුප්‍රාප්තිකයෝ ද කඩ කළෝ ය.

ජේ ආර්ගේ දෙමළ විරෝධය වඩාත් ප්‍රකට ව ප්‍රදර්ශනය වූයේ ජූලි කලබල ඇවිල ගිය විට ය. සන්සුන් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු වෙනුවට රාජ්‍ය නායකයා කියා සිටියේ සිංහල ජනයාගේ ඉවසීම සීමාව ඉක්මවා ගොස් ඇති බව ය. එසේ කියමින් අනියමින් ඔහු දෙමළ ජන සංහාරය යුක්ති යුක්ත කළේ ය.

විජය කුමාරතුංගගේ බිරිඳ වූ චන්ද්‍රිකා පවා අන්තිමේ ජේආර් ගිය මග ම ගියේ ය. ඒ පෝලිම අවසන් වූයේ මහින්ද ගෙන් ය. ඒ දෙමළ අරගලය යුද්ධය හරහා සම්පූර්ණයෙන් පාගා දැමීම හරහා ය. යුද්ධය අවසන් වී ත්‍රස්තවාදයට තිතක් තැබීමෙන් පසුව වත් දේශපාලන විසඳුමක් දීමේ අභිලාශයක් මහින්දට නොවී ය. ඒ වෙනුවට යුද්ධය සිය පාලනය දිගින් දිගට ගෙන යා හැකි මහානුභාසම්පන්න යන්ත්‍රයක් ලෙස පවත්වා ගැනීමට ඔහුට ඔ්නෑ විය.

අදට ද දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටින එකම දේශපාලන බලවේගයක් වත් දකුණේ නැත. එජාප ය ප්‍රමුඛ යහපාලන කණ්ඩායම මහින්ද රාජපක්ෂ පරාජය කරනු සඳහා දෙමළ ජාතික සන්ධානය සමග සන්ධානයකට පැමිණිය ද දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම විවිධ හේතු ඉදිරිපත් කරමින් කල් මැරුවේ ය.

මෛත්‍රීපාල එජාපය ප්‍රමුඛ යහපාලන හවුල සුළු කලකට නැවත වතාවක් දෙමළ ජනයාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සහන සලසන ප්‍රවේශයක් අනුගමනය කරමින් ව්‍යාතිරේඛයක් ලෙස පෙනී සිටිය බව ඇත්ත ය. එහෙත් පසුව මෛත්‍රීපාල ම එයින් පැහැදිලිව ම කර හැරියේ ය. ජනතා විමුක්ති පෙරමුණ පවා දෙමළ ජනතාව දෙස වෛරයෙන් නොබැලුව ද සහකම්පනයෙන් බලන බවක් අදටත් පෙනෙන්නට නැත.

දෙමළ ජනයාට එරෙහි ජාතිවාදය සම්බන්ධයෙන් එකිනෙකා අතර වෙනස් කම් තිබුන ද ජේ ආර්ට විකල්ප මතවාදයක් දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සමස්ත දකුණට ම නැත.

වංචාව හා දූෂණය

ජේ ආර් සිය අනුගාමිකයන් නඩත්තු කළේ දූෂණයට ඉඩ හසර සැලසීම හරහා ය. රිසි සේ මත්පැන් බලපත් ඉන්ධන පිරවුම් හල් බලපත් පමණක් නොව රජයේ ඉඩම් ද ඔවුන්ගේ පරිහරණයට මුදා හැරුණේ ය.

ඔහු හොරකම් නොකළා විය හැකි ය. ඒත් ඊට ඉඩ හසර ඔහු සලසා දුන්නේ ය. අඩු වශයෙන් ඒවා ඉදිරියේ අහක බලා ගත්තේ ය. ඔහු පාරම්බෑවේ තමන් සල්ලි හම්බ කර ගන්නට මාර්ග විවෘත කර ඇති බව ය. ඒ නිසා කාට කාටත් හම්බු කර ගත හැකි බව ය.

ඔහුගෙන් පසු පැමිණි පාලකයන් ඒ ප්‍රතිපත්තිය ම අනුගමනය කළා පමණක් නොව එය රටේ සාමාන්‍ය දෙයක් බවට ද පත් කළෝ ය.

ඔවුන්ට සහතික දුන් ඇතැම් සංඝයා වහන්සේලා පවා ඒ බව අනියමින් පිළිගත්තෝ ය. ඒ හොරකම් කළාට රට බේරා ගත්තා නොවේදැයි යනුවෙන් සමාවට කාරණා ඉදිරිපත් කිරීම හරහා ය.

මර්දනය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා කලාපය

මර්දනය ද ජේආර් දායාද කළ උරුමයකි. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, 83 ජාති වාදී කළු ජූලියට කිසිම සම්බන්ධයක් නැති ජනතා විමුක්ති පෙරමුණ හා නව සමසමාජ පක්ෂය ඊට වගකිව යුතු බව කියමින් අසාධාරණ ලෙස තහනම් කිරීම, විජය කුමාරතුංගයන් නක්සලයිට් කාරයෙකු යැයි කියමින් අත් අඩංගුවට ගැනීම ඇතුළු තවත් බොහෝ දේ ජේ ආර් ගේ මර්දන ලයිස්තුවට ඇතුළත් ය.

ඒ මර්දනය විවේචනය කරමින් පසුව ආ අනුප්‍රාප්තිකයන් සැවොම, නැවත වතාවක් මෛත්‍රීපාල ඉදිරියට දමා ගොඩ නැගූ යහපාලන ආණ්ඩුව නම් ව්‍යාතිරේඛය නැතිව, මර්දනය සම්බන්ධයෙන් ජේ ආර් ගේ ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙන ගියේ ය. ඒ ගැන අටුවා ටිකා ලියන්නට ගියොත් මේ ලිපිය තව බොහෝ දික් වන්නේ ය.

එහෙත් කිව යුතු එකක් තිබේ. එය නොලියා ම බැරි ය. ඒ මෙම මර්දනයට අඩු නැතිව හසු වූ ජනතා විමුක්ති පෙරමුණ පවා තමන්ගේ පුංචි ආණ්ඩු පාලනය පැවති කලාපය තුළ නිහීන මර්දනයක් දියත් කරමින් තමන් ද අඩුපාඩු නැතිව ම තමන්ගේ විරුද්ධවාදියා අනුගමනය කළ බව ය. ලිපිය දික් වන නිසා ම ඒ ගැන විස්තර ද අප සඳහන් කරන්නට යන්නේ නැත.

විවෘත ආර්ථිකය

ජේ ආර් ගේ උරුමයේ වැදගත් ම කොටස විවෘත ආර්ථිකය ය. සංවෘත ආර්ථිකයෙන් බැට කා සිටි ජනතාවට එය එක් අතකින් ආකර්ෂණය වූ අතර ඒ හදිසි විපර්යාසයම තව අතකින් ඔවුන්ට මහා තිගැස්මක් ඇති කළේ ය. ඒ නිසා ම ඔවුන් අවුලට පත් විය. භාණ්ඩ සුලබ වන වේගයට මිනිසුන් සතුව ඒවා ගැනීමට මුදල් තිබුනේ නැත. ඒ නිසා මිනිසුන් එකවර ප්‍රීතියටත් කෝපයටත් පත් විය.

සියල්ල මුදලට විකණෙන ක්‍රමයකට මග පෑදුනු නිසා මානුෂීය හැගීම් පවා අතුරුදහන් ව ගියේ ය. එය ක්‍රමික ව සිදු නොවී එක රැයින් සිදු කිරීම හේතුවෙන් බොහෝ දෙනා අතරමං වූ බව පෙනුනේ ය. ඒ අතර උතුරේ ජනතාව ප්‍රමුඛ ය. ඔවුන්ගේ කෘෂි නිශ්පාදනය විවෘත ආර්ථිකය නිසා තරගයට මුහුණ දිය නොහැකිව අනතුරේ වැටුනේ ය.

චන්ද්‍රිකා බලයට එන විට විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙනු විනා විධායක ජනාධිපති පදවිය මෙන් එය නැති කරන්නට සපථ කළේ නැත. මහින්ද හෝ ඔහුගේ මලණුවන් වන ගෝඨාභය පවා එවැන්නක් පිළිබඳ ඉඟියක් වත් පල කළේ නැත.

අදට ද විදේශ විනිමය නැති නිසා හදිසියේ දේශීය ආර්ථිකයක් ගැන කතා කළ ද ප්‍රායෝගිකව සංවෘත ආර්ථිකයකට නැවත යෑමට නොහැකි තරමට අප ගෝලීයකරණය වී තිබේ. ඒ නිසා අද මේ දමන තහංචි ආර්ථිකය නැවත ක්‍රියාත්මක වීමත් සමග ඉවත් කිරීමට නියමිත ඒවා මිසක විවෘත ආර්ථික ක්‍රමය අහෝසි කරන හෝ පාලනය කරන ඒවා නොවේ.

ජේ ආර් වඩාත් දැඩිව විවේචනය කරන ජනතා විමුක්ති පෙරමුණ පවා විවෘත ආර්ථිකයට විකල්පයක් මේ වෙන තෙක් අපට දැන ගන්නට ලැබී ඇති පරිදි යෝජනා කොට නැත.

පුද්ගලීකරණය

අප රටේ ජනසතුවේ ආරම්භය බණ්ඩාරනායක නම් පුද්ගලිකකරණයේ ආරම්භය ජේ ආර් ය. එය විවෘත ආර්ථිකයට පමණක් දෙවැනි වන මැදිහත් වීමකි.

චන්ද්‍රිකා ද එය ඉදිරියට රැගෙන ගියා මිසක ආපස්සට හැරවූයේ නැත. මහින්ද පවා පුද්ගලීකරණය කරන ලද ඒවායින් අතිශය ස්වල්පයක් හැර වෙන කිසිවක් නැවත පවරා ගන්නට ගියේ නැත. එසේ පවරා ගන්නා ලද එකක් නම් ශ්‍රී ලන්කන් ගුවන්‌ සේවය ය. ඒ ද සිදු වූයේ ඔහුගේ ගුවන් ගමනකට සම්බන්ධ පෞද්ගලික අමනාපයක ප්‍රතිඵලයක් නිසා බව කියවේ. රක්ෂණ සංස්ථාව හා ඇපලෝ රෝහල සෙසු ඒවා අතර විය. ඒවා පමණක් නැවත පවරා ගන්නට හේතුව ආණ්ඩුවේ පොදු ප්‍රතිපත්ති තීරණයකට එහා ගිය එකක් බව පෙනෙන්නේ පුද්ගලීකරණය කරන ලද බොහෝ තීරණාත්මක ආයතන තවදුරටත් පුද්ගලික අයිතිය යටතේ පවත්වාගෙන යෑමට ඉඩ සලසා දුන් නිසා ය. ඊට අමතර ව විදේශ ආයෝජකයන්ට කොළඹ වටිනාම ඉඩම් විකිණීම මගින් එම රජය තවදුරටත් කියා සිටියේ පෞද්ගලික අංශයට රජයේ වත්කම් පවරා දීමට තමන්ට පැකිලීමක් නැති බව ය.

වත්මන් පාලනය ද දැනටමත් තමන් පෞද්ගලීකරණය අනුගමනය කරන බව කියා සිටින්නේ ය. ඒ විදුලි බල මධ්‍යස්ථානයක කොටස් ඇමරිකන් සමාගමකට පවරා දීම හරහා ය.

ඊට අමතරව ජේ ආර්ට පසු ඇති වූ කිසිම පාලනයක් රාජ්‍ය ව්‍යවාස අලුතෙන් ඇති කිරීමට පවා තීරණාත්මක යමක් කර නැත. ඒ අය විසින් අතරින් පතර කරන ලද සුළු මැදිහත් වීම් කිසිවක් ආර්ථිකයේ ස්වභාවයේ තීරණාත්මක වෙනසක් කිරීමට තරම් ප්‍රමාණවත් වී නැත.  

ජේ ආර් මැරුනත් තවමත් ඇත්තේ ඔහුගේ පාලනයකි

මේ සියල්ල සළකා බැලූ විට පෙනෙන්නේ කවුරුන් රට පාලනය කළ ද ඒ සියල්ලන් මෙහෙයවන අදෘෂ්‍යමාන නූල වන්නේ ජේආර් බව ය. අඩු වශයෙන් ඔහුගේ අවතාරය බව ය.

ඔහු විසින් දියත් කරන ලද ඉහත සඳහන් කිසිම ප්‍රතිපත්තියකට විකල්පයක් පාලක පක්ෂයේ කිසිදු කණ්ඩායමකට නැති බව ය. පාලක කල්ලියෙන් එලියේ සිටින විකල්ප කණ්ඩායම් තවමත් එහෙමට පාලනයට සම්බන්ධ වී නැති නිසා ඔවුන් ගැන නිශ්චිත අනාවැකියක් කීමට අමාරු ය. එහෙත් ඔවුන්ට පවා යම් බලපෑමක් කළ හැකි තැන්වල හා අවස්ථාවල – විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් අතර හා පුංචි ආණ්ඩුව පැවති කාලවකවානුව තුළ – පල කර ඇත්තේ ජේආර්ගේ හැසිරීම ය.

ජේ ආර් ගෙන් ඉගෙනීම

ජේආර් නැවත කියවිය යුතු වන්නේ ඔහුගෙන් ගත යුත්තේ කුමක් දැයි සොයා බැලීමට ය. දුරු කළ යුත්තේ කුමක් දැයි සොයා බැලීමට ය. අප කල්පනා කරන පරිදි ඔහුගේ ආර්ථික මූල ධර්මයන් බොහෝ දුරට නිවැරදි ය. ඔහුගේ දේශපාලන හැසිරීම පලේ පල් ය.

ඔහු අනුදත් ආර්ථික ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට නොහැකි වූ එක් හේතුවක් නම් ඔහු ඉතිරි කළ දේශපාලන උරුමයේ මඩ ගොහොරුව ය. දියත් කළ ආර්ථිකය, ඔහු විසින් ම මඩ කළ, ඒ මඩ ගොහොරුවේ එරුනේ ය.

ඉදිරි විකල්ප දේශපාලන බලවේගයකට රට ගොඩ ගත හැකි වන්නේ ජේ ආර් හරියකට කියවා ගත්තොත් ය. ‌ජේආර් ගේ නිවැරදි පියවර අනුගමනය කිරීමට බිය නොවීමටත්, ඔහුගේ වැරදි නොකිරීමට වග බලා ගැනීමටත්, හැකි වන්නේ එවිට ය. ජේආර් ළඟින් නැවතුණු රටේ දේශපාලනයට ඉදිරියට යා හැක්කේ එවැනි කියවීමක් හරහා පමණ ය.

– වචන සෙල්ලම්




Source link