November 29, 2021

Ada Rata

All news in one location

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියත් ලියනගේ සමුගෙන වසරක් පිරීම නිමිත්තෙන්…



ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියත් ලියනගේ සැමගෙන් සමුගෙන වසරක් පිරීම නිමිත්තෙන්, ඔහුගේ සමකාලීනයෙකු වන ජාත්‍යන්තර සම්මානලා​භී චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතා සමග ලංකා නිවුස් වෙබ් විසින් Zoom ඔස්සේ පවත්වන ලද අදහස් දැක්වීම පහත පරිදි වේ.

ජීවත් වෙලා ඉන්න කාලය තුළ අප බොහෝවිට මිනිසුන්ව තේරුම්ගන්නෙ හරි අඩුවෙන්. ප්‍රියත් ගැන කථා කරන්න මට ආරාධනා කළාම මං හිතුවා, ඔහු මිය ගිහිල්ල අප අතරින් වෙන් වෙලා අවුරුද්දක් පිරෙන මේ මොහොතේ යුතුකමක් හැටියට ප්‍රියත්ව තේරුම් ගන්න උත්සාහ කරන්න. මම එහෙම කියන්නෙ පිරියතුත් බොහෝ දෙනා විසින් තේරුම් නොගත් මිනිසෙක් හැටියට මියගියයි කියලා මට හිතෙන නිසයි. 

ප්‍රියත් ලියනගේ කියන්නෙ කවුද? ප්‍රියත් අයිති වෙන්නෙ 80 දශකයේ භද්‍ර යෞවනය පසු කළ පරම්පරාවකට. මෙම භද්‍ර යෞවනය පසු කළ පරම්පරාව විශාල සමාජ වෙනස්වීමක් 1970 ඉදන් 1980 වෙනකොට දැක්කා. ඒ දැකපු දේ තමයි සුභ සාධක රාජ්‍යක් ව පැවති රාජය මත යැපුණු රාජයක් විවෘත ආර්ථික ක්‍රමයකට යොමු වුණා. එතනදී වටිනාකම් ඇගයුම් වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ වගේම තමයි අනික් පැත්තෙන්, අපි කියනවා ඒක ව්‍යවස්ථානුකූල බලය සහිතව රාජය බලය තම වෙත ගොනු කරගන්නාවූ ජනාධිපතිවරයෙක් මේ රටේ බිහි වුණා. කොටින්ම කියනවා නම් උතුමාණන් කෙනෙක් බිහිවුණා. ඒ ජනාධිපති වරයා හැදින්වුයේ උතුමාණන් නමින්. දැන් ප්‍රියත් ඒ එක්කම දකිනවා 80 වෙනකොට කම්කරු පන්තිය නැඟිටලා ඉන්න කොට 80 වැඩ වර්ජනයේදී එය විශාල පරාජයකට ලක් වෙනවා. බොහෝ දෙනක් එම පරාජය ඉවසා දරාගත නොහැකිව සියදිවි හානි කරගත්තා. සමහර අය ඉතාම සාර්ථක ව්‍යාපාරිකයන් බවට පත් වුණා. සමහර අයගේ ජීවිත නැවතත් ගොඩනගාගන්න බැරි වුණා. 

අපි හම්බුවෙන්නෙ මෙන්න මේ කාලෙ. අපි දකින්නෙ මෙන්න මේ ලංකාව. 82 වෙනකොට අපි දෙන්නා හම්බෙන්නෙ, අප දෙදෙනාගේම පොදු ගුරුවරයා වූ වසන්ත ඔබේසේකර සිනමාකරුවානන්ගෙන් ඉගෙන ගන්න ගිහිල්ලා. අප දෙදෙනා වාර දෙකකින් ඔහුගෙන් තිර රචනය පිළිබද ඉගෙනුම් ලැබුවේ. නමුත් අපි මිත්‍ර වෙලා එකට චිත්‍රපට බලන්න යනවා. එකට කථා කරන්න පටන් ගන්නවා. මෙන්න මේ  කාලේ තමා 82 මම කිව්ව බල ගොනු කරගැනීම, පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වා ජනමත විචාරණයකට ගිහිල්ලා ජේ.ආර්. ජයවර්ධන, අප ඒ කාලේ කළගෙඩි ලාම්පු සෙල්ලම නමින් හැදින්වූ, එක්තරා ආකාරයකට බලපෑමකින් යුතුව – බලහත්කාරයකින් යුතුව තමන්ගේ බල කාලය දිගු කරගත්තා. 

ඒ වගේම තමයි මේ කලේදි තමයි අපට ආරංචි වෙන්නෙ උතුරේ මර්දනයත්, ඒ මර්දනයත් එක්කම නැඟී සිටින අවි ගත් තරුණ කණ්ඩායමත්. දැන් මේවා තමයි අපි හම්බුනාම කථා කරපු දේවල්. ප්‍රියත්ට ඔහුගේ මුළු ජීවිතකාලය තුළම බලපාපු දේවල් තමා අපි කියන්නෙ formative years, නැත්නම් ඔහුව පසු කාලීනව ඔහු ක්‍රියාකාරී වෙනකොට, නිර්මාණකරුවෙකු ලෙස ඔහු නිර්මාණ කරද්දි බලපෑවේ මෙන්න මේ වැනි ලෝකයක්. එහි කුළුගැන්වීම එන්නෙ 83දී; 83දී ඔහු ජීවත් වුණු බොරැල්ල තට්ටු නිවාසත් – ඒ ගෙයත් ගිනිගන්නවා. ඒ වගේම ඔහු දකිනවා ඒ සිදු කළ අපරාධය. මම විශ්වාස කරනවා ප්‍රියත් මුළු ජීවිතකාලයේම මේ රටේ, ඒ පොදුවේ දකුණේ සිංහල ජනතාවටත් උතුරේ දෙමළ ජනතාවටත් ඒ වගේම පසුකාලීනව LTTE සංවිධානය විසින් මිස්ලිම් ජනටාවටත් එරෙහිව එල්ල කළ තාඩන පීඩන, ඒ පීඩිතයා පහළ හෙළීම, සම්පූර්ණයෙන්ම මනුෂ්‍ය ජීවිතය අවතැන් කිරීමේ කුරුසය කර තබාගත්ත පුද්ගලයෙක් කියලා. ඒ පිළිබද අපි කියන්නෙ majority race එක නැත්තම් බහුතර ජනතාව වන සිංහල ජනතාවගේ සම්භවයකින් පැවත එන, ඒවගේම බෞදධ සම්භවයකින් පැවත එන මොහු, මෙය දැක්කම, කොහේ හෝ, සුළුතරයකින් පැවත එන නැගෙනහිර මුස්ලිම් වෙන්න පුළුවන් දකුණේ දෙමළ වෙන්න පුළුවන්, බලය හෝ පන්තිය අතින් ගත්තම මේ රටේ සාමාන්‍ය ජනතාව වෙන්න පුළුවන්, ඒ තාඩන පීඩන, දැකලා තමයි ඔහු යන්නේ එංගලන්තයට පදිංචියට. 

ඔහු ඊටපස්සේ, එහෙ ගියාට පස්සේ රැකියාවක් කරන තුරු ඒ කාලේ සංදේශයට යොමුවෙලා මේ අර තමන් දකපු දේ, අර ජනතාවගේ, හඬක් නැති අයට ඒ පිළිබදව ලංකාවේ කිසිදු මාධ්‍යක් කථානොකරන වෙලාවක ඔහු වසන්ත රාජා සමඟ එම වැඩසටහන සහය සම්පාදකයෙක් ලෙස එකතු වෙන්නෙ. ඒ වගේම පසු කාලීනව වැඩසටහන් නිෂ්පාදක ලෙසත් ඔහු සම්බන්ධ වෙන්නෙ. ඔහුගේ ජීවිත කාලයයෙන් වැඩි කොටසක් ප්‍රියත් ගත කළේ මෙන්න මේ කාරණය සදහා. ඒ කියන්නේ මේ අවතැන්වූ මනුෂ්‍යත්වයට නිගරු කරපු මොහොතක, ඒ නිග්‍රහය පිළිබදව හෘද කම්පාවකින් යුත් මනුෂ්‍යෙක් හැටියට තමයි ඔහු පසුවුණේ.  

මෙන්න මේක තමයි ඔහු තීන්දුගන්න, ඔහු ක්‍රියා කරන්න හේතුවෙච්ච හේතු සාධකය. ඒකයි මම කිව්වේ ඔහු කුරුසයක් කර තබාගෙන, ජීව්ත කාලයේම මේ ඔහු කළ වර්දකට නෙවේ, කිසි සේත්ම ඔහු නොකළ වරදකට, හැබැයි කුරුසේ ඔහුගේ කරේ තිබුණා. මම උදාහරණයක් කියන්නම්, ඔහුයි මමයි නිර්මාණාත්මකව, අපේ සම්බන්ධතාවය ඉතාමත් දිග එකක් ඒ කියන්නෙ ඔහු එංගලන්තයේ සිට එවන ලද පොතපත, ඒ කරපු දිරි ගැන්වීම් – ඒවා තමයි මට නිර්මාණකරුවෙක් හැටියට පුත්‍ර සමාගම කරන්න බලපෑවේ, ඔහු තමයි හදුන්වලා දුන්නෙ

.

නමුත් අප දෙදෙනා ප්‍රථම වරට වැඩකළේ එකට, ඔහු තිර රචක හැටියට කටයුතු කරපු ඉර මැදියම චිත්‍රපටය ගත්තත් මෙන්න මේ දේමයි තියෙන්නෙ. ඉර මැදියම ප්‍රියත්ගේ ජීවිතය ජීවිත දර්ශනය කැඩපත් කරන්න චිත්‍රපටයක්. මිනිසුන් තවත් මිනිසුන් අතින් පීඩාවට පත්වෙනවා තවත් කණ්ඩායමක් අතින්. හැබැයි ඒ පීඩාවට පත් වෙන මිනිසුන් එකිනෙකා ගැන නොදැන එකම පාරක ගමන් කරනවා. 

ලන්ඩනයේ ඔහු සමග ඒ තිර රචනය ලියපු කාලේ, ප්‍රියත් ඒ තිර රචනයට ඔහුගේ ජීවිතේ සියලු දේම දුන්නා. ඒ විතරක් නෙවේ හැම මොහොතකම කියන දෙයක් තමයි ප්‍රියත්, මචං ලියනකොට බඩේ බිජු තියං ලියන්න බැහැ. මේක අපි ඇත්තම ලියන්න ඕනෙ. අපි බැලුවොත් සමන් ගුණවර්ධන නමින් එන එම පුවත්පත් කලාවේදියාගේ චරිතය – පීටර් අල්මේදා රඟපාන එම චරිතය – එක්තරා ආකාරයකට ප්‍රියත්ගෙම වේෂයක්. ඔහු දකිනව ඔහු සාමය බලාපොරොත්තු වෙනවා, ඔහු බලාපොරොත්තු වෙනවා යහපතක්, නමුත් ඔහුටවත් ඒ සදහා ප්‍රමාණවත් මැදිහත් කිරීමක්,නැතිනම් සාධනීය මැදිහත් වීමකින් තොරව ආපහු යන්න වෙනවා. මේහ මේ සංවේදි පුද්ගලයා විදින අභාග්‍යයක්. ඒක උභතෝකෝටිකයක් ඒකෙන් එළියට එන්න බැරි එක.

ඉතිං ඒ අතරතුර තමයි ප්‍රියත්ට ඕනවුණා – ප්‍රියත්ට ඔහුගේ රෝගී තත්වය ආවම, තව වැඩිකල් නැහැ, ඒ නිසා තව ගොඩක් වැඩකරන්න ඕනෑ කියලා. ඉතිං ඒ වැඩකරන එකේ ප්‍රියත් මට ලිව්ව Synopsis නැතිනම් කථා සාරංශ, ඒ වගේම First Drafts නැතිනම් පරිපූර්ණය නොකරන ලද තිර රචනා එමටයි. ඒ අවසන් කාලේ, අවසන් මාසේ ඔහුට ඉතාමත්ම ඕනෑකමක් තිබුණා කෙසේ හෝ තිර රචනයක් අවසන් කරන්න. ඒ කියන්නෙ හරියට මගේ කාලය දැන් ඉවර වේගෙන එනවා ඊට කලින් මට කියන්න ගොඩක් දේවල් තියනවා කියන හැඟීමෙන් යුතුව තමයි ඔහු අවසන් කාලයේ වැඩකළේ. 

නමුත් අප දෙදෙනාගේම අවාසනාවට ඒවා ඉවර කරගන්න බැරි වුණා. හැබැයි ප්‍රියත්, මම හිතන්නෙ, අප සියලු දෙනාම මේ යුගයේ විදින හෘද සාක්ෂිය පිළිබද ඒ උභතෝකෝටිකය තමයි – තමන් දකින දෙයයි, තමන් පෙනී සිටින දෙයයි, ඒ තියෙන පරතරයයි විදවපු කෙනෙක්. නමුත් ප්‍රියත් ලැබූ වාසනාව තමයි ඔහු ඒ විදවන තවත් සිය දහස් ගණනක් අතුරෙන් එම විදවීම ඔහු නිර්මාණයන් හරහා ප්‍රකාශ කළා. ඔහුගේ හඬ හරහා ඔහු සංදේශය අවදී කළා. ඔහු ලියූ තීරු ලිපි හරහා ඔහු ඔහුගේ හඬ  අවදී කළා. ප්‍රියත් අපට දායාද කරලා දීලා ගිහින් තියෙන්නේ මෙන්න මේ ඔහුගේ හෘද සාක්ෂිය: මම හිතනවා හෘද සාක්ෂිය අවශ්‍ය මේ වගේ යුගයක, ප්‍රියත් ඉතිරි කර ගිය හෘද සාක්ෂිය හරහා ප්‍රියත් ජීවමානයි කියලා. 

ඒ වගේම මම මේ මොහොතේදී ප්‍රියත් වෙනුවෙන් ඉතාම කැපකිරීමක් කරපු ඔහුගේ බිරිඳ දුලාමිණීටත්, ඒ දරුවන් දෙදෙනාටත් මම මේ වේලාවේ, ඔහුගේ වෙන්වීමෙන් වසරක් සමරන මේ මොහොතේ, ඔවුන් ඒ කරන ලද සියලු සත්කාරයන්ට ස්තූතිවන්ත වෙනවා. ප්‍රියත් ඔවුන් සියලු දෙනා ගැනම ආඩම්බරයෙන් කථා කළේ. ප්‍රියත් ඔවුන් සියලු දෙනාම ස්වාධීන පුද්ගලයන් විදිහටයි දැක්කේ. ඒ වගේම ප්‍රියත් කරපු කාර්ය්‍ය තවම ඉවර නැහැ, අපි පහව ගිය ගමන්ම මම බලාපොරොත්තු වෙනවා – මමත් දුලාමණිත් විශේෂයෙන්ම – බලාපොරොත්තු වෙනවා ප්‍රියත් කියපු දෙයක් කරන්න. ඒක තමයි ප්‍රියත්ගේ පොත් ගබඩාවෙන් ලංකාවේ දකුණේ සිට උතුර දක්වා ඒ අවැසි තැන් වලට ඒ පොත් බෙදා හරින්න. මොකද ප්‍රියත් ජීවිත කාලය තුළම කවුරු හරි ලන්ඩනයට ආපුහාම තමන්ගේ පොත් රාක්කෙන් අරගෙන පොතක් දුන්නා. එකම බලාපොරොත්තුවයි තිබුණෙ ප්‍රියත්ට ‘මේක කියවලා මේ මනුස්සයාට මොකක්ම හරි යහපතක් වෙයි.’ කියලා. ඒ නිසා ප්‍රියත් කරපු ඒ කාර්යභාරයේ බලය මම හිතන්නෙ ඉවර නැහැ. ඉදිරියේ, තවත් ඉදිරි පරම්පරාවලටත් එය හිමි වෙයි.

 ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ




Source link