December 5, 2021

Ada Rata

All news in one location

ජනාධිපතිට කැමතිනම් වරාය නගරය පාලනය කරන්න විදේශිකයන් පත් කළ හැකියි – අලි සබ්රි


දැනට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අනුව ජනාධිපතිවරයාට අවශ්‍ය නම් එම කොමිසමේ සාමාජිකයින් වශයෙන් විදෙස් රටවල පුරවැසියන්ව පත්කළ හැකි බවත් ඊට කිසිදු බාධාවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.

“දැන් මේ වරාය නගරයේ තියෙන ආයෝජනවලින් විතරක් අපි බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ නගරය ඉවරවෙලා එනකොට බිලියන 15ක් ඒකෙන් විතරක් එන්න. ඇමරිකන් ඩොලර්ස් බිලියන 15ක් ! 99 අවුරුද්දට වඩා බදු කාලය අඩුකරගන්න තිබුණා නම් හොඳයි, නමුත් ප්‍රායෝගික තත්වය තුළදී ඔවුන් වියදම් කරන මුදල ආපසු තමන්ගෙ ප්‍රතිලාභත් එක්ක නැවත ලබාගැනිමට ඒ කාලය අවශ්‍යයි කියලා ඔවුන් තර්ක කරන්නට ඇති. දෙපැත්තම තර්ක කරලා එකඟ වෙච්ච තැනක් තමයි ඔය අවුරුදු 99”

පනතට අනුව කොමිසමේ සාමාජිකයින් ශ්‍රී ලාංකිකයින් විය යුතුයැයි කොන්දේසියක් නොමැති බැවින් විදේශිකයකු මීට පත්කෙරෙන්නේ නැතැයි දියහැකි සහතිකය කුමක්දැයි විමසීමේදී අලි සබ්‍රි මහතා පැවසුවේ “වැඩිදෙනෙක් ශ්‍රී ලංකාවේ පුරවැසියන් නම් මට ප්‍රශ්නයක් නෑ. නමුත් ඔහු ආයෝජනය ගෙන ඒමට හැකියාව තිබෙන පුද්ගලයෙක් නම් ඔහු විදේශිකයෙක් වුණාට මට කමක් නෑ” යනුවෙනි.

ඊටම එක්වෙමින් ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ “ශ්‍රී ලාංකිකයො විදියට හිටපු තුන්දෙනෙක්ගෙ නම් මට මතක් වෙනවා. ඒගොල්ලො දැනට ලංකාවෙ පුරවැසියො නෙවෙයි, එක්කො ඇමරිකාවෙ නැත්නම් බ්‍රිතාන්‍ය පුරවැසියො. නමුත් ඒගොල්ලන්ට අවශ්‍ය සුදුසුකම් තිබෙනවා” යනුවෙනි.

මෙහිදී බැඳුම්කර වංචාව සහ අර්ජුන් මහේන්ද්‍රන් මහතාව සිහිපත් කරමින් විදේශියකු යම් අකටයුත්තක් කළහොත් ජනාධිපතිවරයා එම වගකීම බාරගනීදැයි මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමකදී අලි සබ්‍රි මහතා පැවසුවේ “ඔබ දකින්නෙ එක්කෙනෙක් විතරයි, මෙවැනි පුද්ගලයින් විශාල වශයෙන් ලංකාවට දායක වෙලා තියෙනවා. මේ නීතිය සංශෝධනය කිරීමක් ගැන අපි කිසිවිටෙක හිතලා නෑ. ජනාධිපතිට ඕනෙ නම් විදේශිකයින්ව කොමිසමේ සාමාජිකයින් හැටියට පත්කරන්න පුළුවන්. කිසිදු බාධාවක් දැනට නෑ” යනුවෙනි.

මොහොමඩ් අලි සබ්‍රි මහතා සහ ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ පෝට්සිටි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

-lnw-





Source link