October 28, 2021

Ada Rata

All news in one location

ජනතාව ආරක්ෂා කරගන්න වෛද්‍යවරුන් ලබාදෙන උපදෙස් පිළිපදින්න – හිටපු අගමැති රජයට කියයි


රටේ ආර්ථිකය ගොඩ නැගීමට පෙර ජන ජීවිත ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.

ඔහු පවසන්නේ, රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව ක්‍රියා කළ යුතුව ඇති බවය.

ඉන්ටර්නෙට් ඔස්සේ රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

“කොවිඩ් 19 වසංගතය ලංකාවේත්, ඉන්දියාවේත්, නේපාලයේත් මේ වනවිට සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනවා. ඒ වගේම ඉන්දියාවේ කොවිඩ් 19 රෝගයට අමතරව කලු දිලීර (Black Fungus) යනුවෙන් තවත් දීලිර රෝගයක් පැතිර යනවා. අප මෙම සෑම රෝගයකින්ම රටේ ජනතාව ආරක්ෂා කර ගත යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය, අපගේ වෛද්‍ය විශේෂඥයින් ගණනාවක් සමග ඉකුත් දිනකදී කළ සාකච්ඡාවන්ගෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනයට අනුව ඉදිරි සති කිහිපය තුළදි කොවිඩ් වසංගතය මෙරට සීඝ්‍රයෙන් පැතිරෙන බවට ඔවුන් පුරෝකතනය කර තිබෙනවා.

අප තව කරුණක් මතක තබාගත යුතුයි. එනම් අප රටේ එන්නත් හිඟයක් තිබෙනවා. ජනතාවගෙන් සෑම කෙනෙකුටම එන්නත ලබාදෙන්න ලබන වසර හෝ මෙම වසරේ අග අතර කාලයක් ගත වීමට පුළුවන්. එම කාලය වෙනතුරු රටේ ජනතාව ආරක්ෂා විය යුතුයි. එම නිසා ආණ්ඩුවේ යුතුකම වන්නේ වෛද්‍ය උපදෙස් අනුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කිරීමයි. වෛද්‍යවරුන්ගේ අදහස වන්නේ රට වැසිය යුතුයි යන්න නම්, එයත් අප ඉටු කළ යුතු වෙනවා.

ඉන් පසුව කොවිඩ් වසංගතය පාලනය වී තිබේදැයි අපට සතියෙන් සතිය වාර්තා ගෙන ප්‍රගතිය පරීක්ෂා කිරීමට පුළුවන්. මෙයට අමතර වෙන විකල්ප තිබෙනවාද කියා මට නම් කීමට බැහැ. කොවිඩ් වසංගතය තවදුරටත් පැතිරීම පවතින දුර්වල ආර්ථිකයට මරු පහරක්. එම නිසා රෝග ව්‍යාප්තිය ඉක්මනින්ම නතර කර ගැනීමට අවශ්‍යයි. එසේ කළහොත් අපට ආර්ථික හානිය අවම කර ගැනීමට පුළුවන්.

ආර්ථිකයට සිදුවන හානිය අපට නැවත ගොඩනගා ගත හැකි නමුත් ජීවිතයට සිදුවන හානිය අපට කිසිදා නැවත යථාතත්ත්වයට පත්කරගත නොහැකියි. එම නිසා රජයේ යුතුකම වන්නේ ජන ජිවිත ආරක්ෂා කරගැනීමයි. එය පරමාර්ථය කර ගනිමින් රටේ ජනතාවගේ ජිවිත බේරාගන්න යැයි කියා මා මෙම අවස්ථාවේදී රජයෙන් ඉල්ලා සිටිනවා.”



Source link